රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී සම්මතයි

කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන

කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජූනි (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව ජූනි (08) විවාදයට ගැනීමෙන් අනතුරුව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

2022 වර්ෂයේදී ආර්ථිකයේ ඇති වූ අයහපත් තත්ත්වයන් හේතුවෙන් පීඩනයට පත්වූ සමාජයේ විවිධ කොටස් සඳහා සහන සැලසීමට සහ උද්ධමනය හේතුවෙන් සැපයුම්වල වියදම් ඉහළ යාම ආවරණය කිරීමට අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා මෙම පරිපූරක ඇස්‍තමේන්තුව ඉදිරිපත් කර තිබිණි.

2022 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට ගෙවනු ලබන රුපියල් 5,000ක මාසික දීමනාවක් තවදුරට ත් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 87,000ක් ද 2022 ජනවාරි මාසයේ සිට විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන රුපියල් 5000ක මාසික දීමනාව තවදුරටත් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 40,000ක් ද 2022 ජනවාරි මාසයේ සිට සමෘද්ධිලාභීන්ට ගෙවනු ලබන රුපියල් 1000ක අමතර දීමනාව තවදුරටත් කියවීම වෙනුවෙන් රුපියල් මිලියන 15,000ක් ද මෙම ඇස්මේන්තුවට අනුව වෙන් කර ඇත.

තවද බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 50,000ක මුදලක්ද හරිත කෘෂිකර්මාන්තයේ යෙදවුම් භාවිතා කිරීම වෙනුවෙන් ඇගයීම් දිරිගැන්වීම් සඳහා රුපියල් මිලියන 12,000ක මුදලක්ද පොහොර සහනාධාරය සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 50,000ක මුදලක්ද පරිපූරක ඇස්තමේන්තුව මගින් වෙන් කර තිබේ.

මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ආරක්ෂක අංශ රෝහල් හා බන්ධනාගාරය වැනි ආයතනවල ආහාර හා අනෙකුත් සැපයීම්වල ඇති විය හැකි හිඟ ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් මිලියන 25,000ක්ද මිල ඉහළ යාම හේතුවෙන් ගෙවීමට සිදුවිය හැකි වෙනත් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් මිලියන 4,500ක්ද ණය පොලී ගෙවීම් සදහා රුපියල් බිලියන 21500ක්ද මේ අතර වේ.

එසේම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඉන්දියානු ණය වැඩසටහන යටතේ ලද ණය මුදල උපයෝජනය/ ගිණුම්ගත කිරීම සදහා රුපියල් මිලියන 250,000ක් ද දුෂ්කර ආර්ථික තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාව, සමෘද්ධි ප්‍රතිලාභීන් හා දැනට එවැනි යම් ප්‍රතිලාභයක් සඳහා සුදුසුකම් ලබා ඇති පොරොත්තු ලේඛනගතව සිටි ප්‍රතිලාභීන් සඳහා උචිත සහන උපයෝජනය සදහා ලෝක බැංකුව සලසා දෙනු ලබන මිලියන 140,000ක මුදලක්ද මෙම ඇස්තමේන්තුවට අයත් වේ.

මේ අනුව, ලෝක බැංකුව හා ඉන්දියන් රජය විසින් සපයනු ලබන අරමුදල් හැර අනෙකුත් මුදල වන රුපියල් මිලියන 305,000ක් සඳහා දේශීය අරමුදල් සලසා ගත යුතුව පවතී. තවද 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය යටතේ සාදන ලද නියමයන්ද විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීම සිදු විය.

2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වන වගන්තියට අනුව අදාළ වර්ෂයේදී උද්ගත වන අවශ්‍යතා සලකාබලා විසර්ජන පනත යටතේ ලබා දී තිබූ අත්තිකාරම් ගිණුම් සීමා සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යවරයා සතු බලතල අනුව මෙම නියම පනවා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *