රට ඇද වැටී තිබෙන තත්ත්වය අනුව දේශීය විසඳුමකින් වත්මන් ආර්ථික අර්බුදය කළමනාකරණයට යාම අනුවණ ක්‍රියාවක් – හර්ෂ

COPE සභාපති ධුරය සඳහා හර්ෂ ද සිල්වා යළිත්

COPE සභාපති ධුරය සඳහා හර්ෂ ද සිල්වා යළිත්

ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය පිළිබඳව විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙබරවාරි 25 වනදාට ආර්ටිකල් හතර වාර්තාව එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් මෙරට ජනතාව තව තවත් පීඩාවට පත් නොකොට එම වාර්තාව මෙරට පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර පක්ෂ විපක්ෂ බේදයකින් තොරව රට ගොඩගැනීම සඳහා එම වාර්තාවට අනුව තිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අද වනවිට රට ඇද වැටී තිබෙන තත්ත්වය අනුව දේශීය විසඳුමක් මගින් වත්මන් ආර්ථික අර්බුදය කළමනාකරණය කරගැනීමට යාම අනුවණ ක්‍රියාවක් බවයි. නමුත්, මහ බැංකුවේ අධිපතිවරයා දේශපාලන වුවමනාවන් මත කටයුතු කරමින් දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාගැනීමට හැකියාව තිබෙන විසඳුම පවා ලබාගැනීමට නොහැකි තත්ත්වයක් දිනෙන් දිනම නිර්මාණය වෙමින් පවතින බව මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

“දැන් ඛනිජ තෙල් ප්‍රශ්නය විදුලි බල ප්‍රශ්නයක් බවටත් පත්වෙලා.මෙය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුවල ස්ථායීතාවයට ලොකු ගැටලුවක් ඇතිකර තිබෙනවා. තෙල් සංස්ථාවට ණය දෙන්න එපා කියල, මහජන බැංකුවට සහ ලංකා බැංකුවට මහ බැංකු අධිපතිවරයා උපදෙස් දුන්නා කියල, අද පත්තරවල තියනවා. පේනවනේද ගැටලුවේ බැරෑරුම් කම? මේ බැංකු වලට ප්‍රශ්නයක් වු‍ණොත් අමාරුවේ වැටෙන්නේ සාමාන්‍ය මහජනතාව නේද?“

මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ වාසුදේව අමාත්‍යවරයා කියන ආකාරයට හාල්පොත් සහ තෙල් පොත් ක්‍රමයක් වර්තමාන සමාජ ක්‍රමය තුළ ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

“රාජපක්ෂලාට අපි කියනවා ඔබලා මේ වැඩේ සම්පූර්ණයෙන්ම අනාගත්තා. දැන් යනඑන මං නෑ. නමුත්, ස්වාධීන ආර්ථික විද්‍යාඥයින් සහ විපක්ෂයේ අපි කියන දේවල් ඔබලා අහන්නවත් සූදානම් නෑ. මෙහෙම රටක් කරන්න බෑ. අපි ඔබලාට බල කරනවා, 25 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව ගැන වාර්තාව ඉදිරිපත් වූ විට වහාම එය ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව මේ රටේ ජනතාව බේරා ගැනීමට වැඩපිළිවෙලක් හදන්න කියලා.“ යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *