2026 ගුරු සේවයේ III කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අයදුම්පත් කැඳවයි: මාර්ගගතව අයදුම් කිරීමට සැප්තැම්බර් 14 දක්වා කල්
ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහාවන III කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා පැවැත්වීමට නියමිත 2026 III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් කැඳවා තිබේ..
2026 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා වන ගැසට් නිවේදනය 2026.08.21 දින පළ කර තිබුණා.
මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා 2026.08.25 දින සිට 2026.09.14 දින දක්වා අයදුම්පත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකියි.
ශ්‍රී ලංකා ගුරු සේවයේ සහ පළාත් රාජ්‍ය සේවාවල ගුරු සේවයේ 2 පන්තියේ I ශ්‍රේණියට උසස් වී වසර හතරක් (04) ගතවීමට පෙර III වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ කළ යුතුයි.
එම නිලධාරීන්ට අමතරව, 2-I ශ්‍රේණියට උසස්වීම් ලබා වසර 4ක් ඉක්මවා ගියද, 2025.06.30 දිනෙන් පසු I වන ශ්‍රේණි උසස්වීම් යෙදෙන ගුරුවරුන්ද I ශ්‍රේණියට උසස්වීම් ලැබීම සඳහා III වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතු වනවා.
මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ ස්වයං අධ්‍යයන මොඩියුලයන්හි විෂය නිර්දේශය ගැසට් නිවේදනයේ දක්වා ඇති පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ e – thaksalawa නිල වෙබ් අඩවියේ පළ කළා.
මෙම විභාගය සඳහා පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ස්වයං අධ්‍යයන ක්‍රමවේදය නිර්දේශ කරන අතර පහත දැක්වෙන සබැඳිය (Link) මගින් e – thaksalawa වෙබ් අඩවිය වෙත පිවිස එහි III කාර්යක්ෂමතා කඩඉම් විභාගය යටතේ ඉදිරිපත් කර ඇති විෂය කරුණු අධ්‍යයනය කිරීම තුළින් විභාගයට පෙනී සිටීමට දිරිමත් කරනු ලබයි.
