Type to search

පාස්කු ප්‍රහාරය කාගේද? ශානිගේ පෙත්සමින් තවත් පැහැදිලි වෙයි…!

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

අපිට අද තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පාස්කු ප්‍රහාරය එල්ල කළේ කොහොමද? එයට අණ දුන්නේ, සංවිධානය කළේ කවුද? ඒ කල්ලියට ප්‍රහාරය සඳහා අවශ්‍ය පසුබිම හැදුවේ කවුද කියන දේ. වර්තමාන ආණ්ඩුව සහ එහි නායකයා මේ සම්බන්ධයෙන් ජනතා සැකයට පාත්‍ර වෙලා ඉවරයි. එයට හේතුව ඔවුන් ආණ්ඩුව ගත්තාට පස්සේ මේ ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත්වූවන්ට සාධාරණය ඉටුකරන්න උත්සාහ ගැනීමේ චිත්‍රය ජනතාවට තේරුන් යෑම.

මේ චිත්‍රය තවත් පැහැදිලි කරන අවස්ථාවක් ගැන දැන් සමාජයේ සාකච්ඡාවක් මෝදුවෙලා. මේ සාකච්ඡාවට අවශ්‍ය තොරතුරු මූලාශ්‍යය තමයි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් නීතිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයන් 14 දෙනෙකු වග උත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම. මෙම පෙත්සම පාස්කු ප්‍රහාරයේ අඳුරු ඉසව් ගණනාවකට හොඳ එළියක් විහිදුවනවා.

මේ වෙනවිට මේ පිළිබඳව ‘කලම්බු ටෙලිග්‍රාප්’ වෙබ් අඩවිය වගේ වෙබ් අවකාශයන් කරුණු වාර්තා කරලා තිබෙනවා. ඔබටත් පුලුවන් මෙතනින් https://www.colombotelegraph.com/wp-content/uploads/2022/02/null.pdf මේ පෙත්සම කියවන්න. ඉතිං මේ ලියුම්කරුත් කැමතියි මේ තොරතුරු ආශ්‍රයෙන් කරුණු ටිකක් මතු කරන්න.

සොනික් සොනික්
මුලින්ම අපි සොනික් සොනික් ගෙන් පටන් ගම්මු. පාස්කු ප්‍රහාරය ගැන උනන්දු හැවෝම කවුද මේ සොනික් කියලා හෙව්වා. අපි දැනගෙන හිටියේ සොනික් කියන කාටූන් චරිතය ගැන විතරයි. ශානි අබේසේකර ගැන නැවත නැවතත් කරුණු කියන්න අවශ්‍ය නෑ. ඔහු ගේ 30 වසරක් වුණ ප්‍රශස්ථ පොලිස් ජීවිතයේ අවුරුදු 18ක්ම ගෙවෙන්නේ සීඅයිඩීය අස්සේ. ඒ කාලය අස්සේ සීඅයිඩීය කරපු ප්‍රධාන පරීක්ෂණ ගනනාවක ප්‍රධාන විමර්ශකයා තමයි ඔහු. ඒ පරීක්ෂණ මෙහෙයවීම පිළිබඳ පුදුමය දනවන කතා බොහෝමයක් අපි දන්නවා. රංජන් රාමනායක සිදුවීමට හෝ ඒ හැකියාව ගැන කතාවන් ඒ ඉතිහාසය මකලා දාන්න බෑ. පාස්කු ප්‍රහාරය සිද්ධවුණහම ඒ පිළිබඳ බොහෝ පරීක්ෂණ පටන් ගන්නේ ශානි අබේසේකරගේ මෙහෙයවීමෙන්. එතකොට ඔහු සීඅයිඩීයේ අධ්‍යක්ෂ. ඒ විතරක් නෙවෙයි මේ පෙත්සමෙන් හෙළිවෙනවා සහාරන්ගේ කල්ලිය ගැන මේ ප්‍රහාරයට කළින්ම සිට ශානිගේ ඇස ඇරිලා තිබුණා කියලා. ඒත් ඒ ඇස වසාදැමීමට උනන්දුවූ කුමන්ත්‍රනය ප්‍රභලයි. අවසානයේ ඒ කුමන්ත්‍රනකරුවන්ගේ දක්ෂතාවය නිසා තමයි මේ ප්‍රහාරය සිදුවෙන්නේ. (මේ පෙත්සම කියවූවහම මට හිතෙන දේ)

අපි ආයෙත් සොනික් සොනික් ට යමු. පාස්කු ප්‍රහාරයෙන් පසුව සීඅයිඩීය සිදුකරන විමර්ශන වලදී මාතලේ පදිංචි ‘පොඩි සහරාන්’ නමැති පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා. ඔහු සහරාන්ට සම්බන්ධ ‘තව්හිද් ජමාත්’ සාමාජිකයෙක් කියලා තවුරු වුණා කියලා මේ පෙත්සමේ කරුණු එක්ක අනාවරණය වෙනවා. මේ කියන පොඩි සහරාන් නිතරම සොනික් සොනික් කියලා කෙනෙක් එක්ක දූරකථනයෙන් කතා කරලා තිබෙනවා කියලා සීඅයිඩීය සොයාගන්නවා. ඊට පස්සේ සීඅයිඩීය ‘සොනික් සොනික්’ ගේ අයිපී ඇඩ්‍රස් එක හරහා ඊට අදාළ සිම් එක සොයා ගන්නවා. ඒ සිම් කාඩ් එක ගැන කරුණු සොයනකොට, ඒ සිම් එක කොළඹ ‘සිටී ට්‍රැෆික්’ පොලීසියේ කාන්තා පොලිස් සැරයන්වරියකගේ නමට ගත්ත සිම් පතක් කියලා අනාවරණය වෙනවා. ඊට පස්සේ අනාවරණය වෙන්නේ මේ කාන්තාව මේ සිමෙක (SIS) ජාතික රහස් ඔත්තු සේවයේ වැඩකරපු බණ්ඩාර නමැත්තාට දීලා තියෙනවා කියලා. මේ අනාවරණය වීමත් එක්ක සීඅයිඩීය මේ කියන පුද්ගලයාගෙන් නැත්තං සොනික් සොනික් ගෙන් ප්‍රශ්න කරන්න උත්සාහ කරනවා. ඒ එක්කම මොකද වෙන්නේ? මේ වෙලාවේ (SIS DIG) සම්පත් ලියනගේ ශානි අබේසේකරට කතාකරලා, SI බණ්ඩාර ගෙන් ප්‍රශ්න කිරීම නවත්වන්න කියලා කියනවා. ඒ වෙලාවේ සම්පත් ලියනගේ ශානි අබේසේකරට කියලා තියෙන්නේ, පොඩි සහරාන් සහ බණ්ඩාර අතර ඇති සම්බන්ධය ජාතික ආරක්ෂාව සඳහා වැදගත් කරුණක් කියන දේ. ඒ විදිහට තමයි සීඅයිඩියේන් ‘සොනික් සොනික්’ පැන දුවන්නේ. කාටුන් එකේ සොනික් වේගයෙන් දුවලා අතුරුදන් වුණාට මේ සොනික් කවුද කියලා අද සමාජය දන්නවා.

පාස්කු ප්‍රහාරය, SIS සහ DMI

මෙම පෙත්සම මගින් ජාතික රහස් ඔත්තු සේවය (SIS) සහ හමුදා බුද්ධි අංශය (DMI) පාස්කු ප්‍රහාරය සිදුවන්නට ප්‍රථම සිට එනම් මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ ඉඳලා වැඩකරපු ආකාරය ගැන ගොඩක් කරුණු සම්පින්ඩනය කරලා තියෙනවා. මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරය ගැන දැනට හෙලිදරව් වෙලා තියෙන චිත්‍රය තවත් සොයා පහදාගන්න මේ තොරතුරු වැදගත් වෙයි. මේ කියන තොරතුරු නිව්ස් පීඩියා කියන වෙබ් අඩවිය මෙහෙම වාර්තා කරලා තිබුණා. ඔබට මෙතනින් https://www.facebook.com/Newspedia.lk/posts/169633775393295/ රිංගුවොත් ඒ තොරතුරු හඹාගෙන යන්න පුලුවන්. ඉතිං ඉහත වෙබ් අඩවිය මේ පෙත්සමේ තිබුණ කරුණු සම්පින්ඩනය කරලා තිබුණේ මෙහෙමයි..

“පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තව්හිත් ජමාත් සංවිධානය 2018.11.30 දින වව්නතිව්හි දී ඝාතනය කල පොලිස් නිළධාරීන් දෙදෙනා හිටපු LTTE සාමාජිකයින් දෙදෙනෙකු විසින් ඝාතනය කල බවට වැරදි තොරතුරු සපයමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) නොමග යැවීමට ජාතික රහස් ඔත්තු සේවය (SIS) සහ හමුදා බුද්ධි අංශය (DMI) කටයුතු කල බව, මාවනැල්ල සිදුවීම් පිළිබඳ පරීක්ෂණ කළ CID ය හට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස ඉහත DMI සහ SIS වෙත ඉල්ලීම් කළ අවස්ථාවේ කිසිඳු තොරතුරක් ලබා නොදුන්නද, පාස්කු ප්‍රහාරය සිදුවූ පසුව තොරතුරු ලබා දුන් බව.

වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල් වත්තකින් හමුවූ පුපුරණ ද්‍රව්‍ය සමග සොයාගත් තොරතුරු අනුව සහරාන් විසින් යම් අනතුරක් සිදුකළ හැකි බව එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන්වූ බවත්, ඔහු එය ආරක්ෂක කවුන්සලයට දැන්වීමට පොරොන්දු වූවත් එසේ නොකල බව, වනාතවිල්ලුව සොයාගැනීම සිදු කළ විට, CIDයට නොදන්වාම DMI සහ SIS නිළධාරීන් එහි පැමිණ සිටි බව,

සහරාන් ‘ත්‍රීමා’ නම් අන්තර්ජාල දූරකතන පහසුකමක්/ මෘදුකාංගයක් හරහා සන්නිවේදනය සිදුකර ඇති බව සහ එම දූරකතන දත්ත අදාළ ආයතනය විසින් ලබා නොදුන් බව, CIDය මගින් සහරාන්ගේ බිරිඳගෙන් සහ ඇගේ සොහොයුරාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින්, පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල වැනට් වර්ගයේ වෑන් රථය සොයාගත් බව, 2019.02.27 දින සිට CIDය සහරාන් සොයාගැනීමට සෑම ප්‍රදේශයකම මෙහෙයුම් කළ නමුත්, ඔහු අල්ලාගැනීමට ඉවහල් වන වටිනා තොරතුරු රැසක් DMI විසින් ලබා දුන්නේ පාස්කු ප්‍රහාරය සිදුවූ පසුව බව,

2019.04.16 දින කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ මෝටර් සයිකල් බෝම්බ පිපිරීමේ අදාළ මෝටර් සයිකලයේ ලියාපදිංචි තොරතුරු CIDය විසින් සොයාගත් බව, පාස්කු ප්‍රහාරයෙන් පසුව අල්ලාගත් “ගෆූර් මාමා” ලෙස හඳුන්වන පුද්ගලයාගෙන් ලබාගත් තොරතුරු අනුව, වවුනතිව් ඝාතනය සහරාන් කල්ලිය විසින් කල බව සොයාගත් බව( මෙය DMI සහ SIS විසින් හිතාමතා වසන් කර තිබේ.),

පාස්කු බෝම්බ ප්‍රහාරයට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් ටාජ් සමුද්‍ර බෝම්බය නොපුපුරවා දෙහිවල ලැගුම් හලකට ගොස් තිබේ. එහිදී ඔහු බෝම්බ ජැකට්ටුව ගලවා පල්ලියට ගොස් සිටින අතර සැක සිතූ ආරක්ෂකයින් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. මෙම ප්‍රශ්න කිරීමේදී ඔහු තම බිරිඳගේ දුරකතන අංකය ලබා දී තිබෙන අතර, බිරිඳ විසින් පසුව ගන්නා ලද ඇමතුමකදී, ඒ වන විටත් DMI නිළධාරීන් ලතීෆ්ගේ නිවසට පැමිණ සිටි බව තහවුරු වේ. එනයින්, DMI නිළධාරීන් CIDයට නොකීවද, ලතීෆ් පිළිබඳව දැනුවත්ව සිටි බව,

අන්තර්ජාල IP address සටහන් පරීක්ෂාවෙන්, සහරාන් සමග නිතර දුරකතනයෙන් සම්බන්ධ වූ “පුද්ගලයකු ” ගැන තොරතුරු CIDය සොයා ගත් බව සහ එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹූ බව, කෙසේ වෙතත් අදාල “පුද්ගලයා” මින් ඉදිරියට ප්‍රශ්න කිරීමට ලක් නොකරන ලෙස DMI අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චුලා කොඩිතුවක්කු හරහා උපදෙස් ලැබුනු අතර අදාල “පුද්ගලයා” නිදහස් කල බව, එම “පුද්ගලයා” රහස් හමුදා මෙහෙයුම් වල නිරත වන අයෙක් බව දැන්වූ බව”

මේ උපුටනය කියව්වාම ඔබට මොකද්ද හිතෙන්නේ? රාජ්‍ය පුරවැසියාගෙන් බදු මුදල් එකතු කරමින් නඩත්තු කරන බුද්ධි ජාලයන් මේ ප්‍රහාරයට කළින් වැඩකරලා තියෙන්නේ කොහොමද කියන දේ ගැන පළල් චිත්‍රයක් දැන් අපි ඉස්සරහා තියෙනවා. මේ පෙත්සමේ කරුණු කාරණා වලින් හෙළිවෙන තොරතුරු ඔස්සේ ගියොත් ( අවශ්‍ය නම්) අපිට පාස්කු ප්‍රහාරයේ මහා මොළය සොයා ගැනීම අසීරු වෙන එකක් නෑ. අනික් පැත්තෙන් අපේ බුද්ධි අංශයන් ගැනත් අපිට නැවත මේ හරහා සිතන්න පුලුවන්. බුද්ධි අංශ තිබෙන්නේ රාජ්‍යයේ ආරක්ෂාවට, පුලුල් අර්ථයෙන් පුරවැසියාගේ ආරක්ෂාවට. එවැනි බුද්ධි අංශයක් මෙහෙම වැඩ කළේ ඇයි? ඒ කුමන අරමුනක් වෙනුවෙන්ද කියලා සොයා බැලීම රාජ්‍ය සතු වඟකීම සහ යුතුකම. බුද්ධි අංශ කියන්නේ දෙවියෝ වගේ ප්‍රශ්න කරන්න බැරි ජාතියක්ද? නැහැ.. බුද්ධි අංශය කියලා කියන්නෙත් පුරවැසියාගේම නිර්මානයක්. ඉතිං දැන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පුලුවන් අවශ්‍ය නම් මේ තොරතුරු ඔස්සේ ගිහිං පාස්කු ප්‍රහාරයේ මහා මොළය සොයා ගන්න. එහෙමත් නැත්තං මේවා ගැන හිතේ අමාරුවට ලියන අපි වගේ එවුන් ඉස්සරහට සුදු වෑන් එකක් එවන්න.

 

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *