ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක නැ; වැරැදි දේවල්වලට දරුවන් යොමුවෙනවා. යළි පාසල් වසන්න එපා – කාදිනල් හිමි

ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක නැ; වැරැදි දේවල්වලට දරුවන් යොමුවෙනවා. යළි පාසල් වසන්න එපා - කාදිනල් හිමි

ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය සාර්ථක නැති බවත් වැරැදි දේවල්වලට දරුවන් යොමුවීම සිදුවන බවත් එබැවින් යළි පාසල් වසා තබන්න එපා කියලා ඉල්ලා සිටින බවත් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහ විද්‍යාලයට වසර 112ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී පැවැසූහ.

උන් වහන්සේ මෙසේ කීහ.
‘අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක පොතක් පෙරළාගෙන විෂයක් ඉගැන්වීමම නෙමේ. ශාන්ත ජෝශප් විද්‍යාලය මේ ප්‍රදේශයේ ඇති ප්‍රධාන පෙළේ පාසලක්. මගේ ජීවිතයේදී හුඟක් දුරට ආශ්‍රය කළේ බෞද්ධ දරුවන් හා ඉස්ලාම් දරුවන්. අපි එදා එකට සෙල්ලම් කළා, බැන ගත්තා, ගහ ගත්තා, දිව්වා පැන්නා. ඒ හින්දා හැම පැත්තෙන්ම මගේ පෞරුෂත්වය වැඩි වුණා. දරුවන්ගේ ලෝකයට මවුපියන් හැටියට සීමා පනවන්න හොඳ නෑ.

මවුපියෝ බලන්නේ නිතරම දරුවා විභාගවලින් පාස් කරගන්න විතරයි. දරුවන් අමතර පන්ති යවලා විභාගය පාස් වෙන්න ඕනෑ කිව්වට මදි. විභාගය ඉහළින් සමත් වෙන්න පුළුවන්. නමුත් පෞරුෂත්වය වර්ධනය නොකරන අධ්‍යාපනයෙන් වැඩක් නෑ. අනාගතයේදීද මුහුණදීමට සිදුවන ප්‍රශ්නවලට ඔරොත්තු දෙන ශක්තිමත් දරුවෙක් බිහි කරන්නේ පාසලෙන්.

මමත් ශාන්ත තෝමස් විද්‍යාලයේ අවුරුදු එකහමාරක පමණ කාලයක් ගුරුවරයෙක් විදියට දරුවන්ට ඉගැන්නුවා. සෙනසුරාදා දවස්වලට මම අමතර පන්ති තියලා දරුවන්ට දිරිගැන්නුවා. ඊට අවුරුදු ගාණකට පස්සේ දවසක් මම කඩේකට ගිහින් කෑම කන කොට තරුණයකු මා දිහා බලාගෙන ඉන්නවා දැක්කා. මම පස්සේ ඇහුවා ඔයා කවුද කියලා. සර්ට මාව මතක නැද්ද කියලා ඇහුවා. මම කිව්වා මතක නෑ කියලා. මම තමයි එදා පන්තියේදී සර්ට කොළ ගුළියකින් ගැහුවේ කියලා. සර්ට එදා කොළ ගුළියකින් ගහලා පඩමක් ඉගෙන ගෙන අද මේ තත්ත්වයේ ඉන්නවා කියලා කිව්වා. ඇත්තටම ගුරු වෘත්තීය දේව වෘත්තියක් හා සමානයි. දරුවෝ කියන්නේ ලොකු වස්තුවක්. මගේම දරුවෙක් කියලා හිතාගෙන ඒ දරුවන් ආදරයෙන් බලාගෙන යහමඟ පෙන්වලා හදා ගන්න එක තරම් ගුරුවරයකුට ජීවිතේ වටිනා වෙන දෙයක් නෑ කියලා මම හිතනවා. ඒ නිසා තමයි කතෝලික සභාව අධ්‍යාපනයට මුල්තැන දෙන්නේ.

ආත්මාර්ථකාමී නොවන යුක්තිගරුක සාධාරණ පුරවැසියන් බිහි කරන්න පුළුවන් එකම තැන පාසලයි. ගුරුවරුන් තමයි පළමු කොටස්කරුවෝ. ආණ්ඩුව නෙමේ. ගුරුවරුත් ඔවුන්ගේ ගෞරවය ආරක්‍ෂා කරගන්නට දැන ගන්න ඕනෑ. ගුරුවරයකුට සරිලන වැටුපක් ලබාදීම පවතින රජයේ වගකීමක්. මොකද ගුරුවරයා කරන්නේ අනාගත පරම්පරාව යහමඟ යැවීමේ මෙහෙවරයි.

පොතක් බලාගෙන හරි විෂයක් විස්තර කරදීම ගුරුවරයකුගේ වැඩකොටසක්. ගුරුවරයකුගේ පළමු වගකීම ඊට වඩා වෙනස්. ගුරුවරයාට ලැබෙන ආදායමට වඩා දරුවා ගැන හිතලා කටයුතු කළොත් මේ පුංචි රට හදා ගන්න පුළුවන්. බැරි වෙන එකක් නෑ.‘

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *