අප සමාජයක් ලෙස වෛද්‍ය සාෆිගෙන් සමාව ගත යුතුය – Dr Najith Indika

පහත දැක්වෙන ලිපිය අද දැකගන්න ලැබුණා. ඒක දැක්කම මුලින්ම හිතට ආවෙ සතුටක්. ඒ, මුලු රටක් එකතුවෙලා මිනිහෙක්ට කරන්න පුලුවන් කැතම කැත වැඩක් කරලා අවුරුදු ගාණක් ගියාට පස්සෙ හරි ඒ මනුස්සයට යම් “සාධාරණයක්” ඉෂ්ට වීමක් නිසා.

ඊළඟට ආවෙ තරහක් සහ කළකිරීමක්. මතක් කරල බලන්න මීට අවුරුදු දෙක තුනකට කලින් ඒ සිද්ධිය සිදුවුණ විදිය.

මුලින්ම ඊනියා “ජාතික පුවත්පතක” මේ වෛද්‍යවරයාට විරුද්ධව කිසිම සාක්ෂියක් හෝ පදනමක් නැතිව ඒ මහා චෝදනාව එල්ල කරල මඩ ලිපියක් යනවා. චෝදනාව සිසේරියන් සැත්කම් කරන අතරතුර සිංහල අම්මලාගේ පැලෝපීය නාල අවහිර කරමින් එම ගැහැණුන් මදසරුභාවයට, නැත්නම් වඳභාවයට පත්කිරීම. හිතල බලන්න. සෙල්ලම් නෑ. මුස්ලිම් ඩොක්ටර් කෙනෙක් ඔපරේශන් එකක් අතරතුර, සිංහල අම්මලව වඳකරලා. ඒ කාලෙත් එක්ක බැලුවම ප්ලොට් එකට අනුව, ඒ “ජාතියක් ජම්මයක් නැති යහපාලන ආණ්ඩුව” රටපාලනය කළ කාලෙ. මුස්ලිම් මිනිස්සු රට අල්ලන්න “ව්‍යාප්තවාදෙ” කොරමින් හිටිය කාලෙ. (දැන් එයාල අවුරුදු 5 කට ඉන්ටවල්. ආයෙ රාජපක්ෂල වැටුනොත් තමයි ආයෙ රට අල්ලන්නෙ.)

වඳ කොත්තු, වඳ බ්‍රෙශියර්, වඳ ජංගි, වඳ ටොපි අතරට තමයි “වඳකරන ඩොක්ටර්” කෙනෙක් එන්නෙ.
දැන් ආපහු හිතල බැලුවොත් මේක කොච්චර කැත, තිරිසන්, පාපී ක්‍රියාවක්ද කියල ඕනම බූරුවෙකුට උනත් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ.

මට තියෙන ලොකුම කණගාටුව තමයි ඒ සිද්ධිය සම්බන්දව බහුතරයක් වෛද්‍යවරුන්ගෙ හැසිරීම. ඒක හරිම කැතයි. එයාල ඇත්ත දන්නවා. මෙහෙම දහදාහක් අම්මලා වඳකළා කියන එක මොන තරම් බොරු, කුණුහරුප විහිළුවක්ද කියලත් දන්නවා. එහෙම දැනගෙනත් එයාල බහුතරයක් මුණිවත රකිනවා. තව පිරිසක් මේක තමන්ගෙ වාසියට අසික්කිත විදියට පාවිච්චි කරනවා.

ඒ අසික්කිත කම කරපු අයගෙන් නම්බර් වන් තමයි මහාචාර්‍ය චන්න ජයසුමන. අතුරලියේ රතන, විමල් වීරවංශ වගේ “well known” පරපෝෂිතයො ගැන කතා කරල වැඩක් නෑ.

නමුත් මහාචාර්‍ය චන්න ජයසුමන එවකට රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට උගන්නන මහාචර්‍යවර්‍යෙක්. ඔහු තමන්ගෙ අනාගත දේශපාලන පාර විවෘත කරගන්න, ඔහුත් එක්ක පුද්ගලිකව කිසිදු ආරෝවක් නැති මොහොමඩ් සාෆි කියන මේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයගෙ ජීවිතය, වෘත්තීය අනාගතය, ඔහුගේ පවුලේ අයගෙ නෑදෑයන්ගෙ ජීවිත විතරක් නෙමෙයි, සමස්ථ මුස්ලිම් ජාතියට අයත් සියළුම වෛද්‍යවරුන්ගෙ ජීවිතත් එක්ක දරුණු, කැත, ඔහුගේම වචනයෙන් කිව්වොත් තුප්පහි සෙල්ලමක් කරනවා. “වෛද්‍ය සාෆි සීසර් කරන අතරෙ අම්මල වඳ කලා” කියන කතාව වාරියපොළ, මැල්සිරිපුර, මාවතගම ඉන්න සීසේරියන් සැත්කම් වලට ලක්වුණු සාමාන්‍ය අධ්‍යාපන මට්ටමක් ඇති ගැහැණු පිළිගන්න එක තේරුම් ගන්න පුලුවන්, නමුත් වෛද්‍ය පීඨයක මහාචාර්යවර්‍යෙක්??

මතක් කරල බලන්න. ඒ වෙලාවෙ “සාෆි විසින් වඳකළ අම්මලා” එකතුකරල සංවිධානයක් පවා හදනවා. ඔහු මාධ්‍ය හමු අරගෙන, සමාජ මාධ්‍ය ජාලා වලින් විශාල කැම්පේන් එකක් කරනව “වෛද්‍ය සාෆි සිංහල අම්මලා වඳ කළ” එකට විරුද්ධව. ඔහු මහා VOG රතන හිමිටවත් දෙවෙනි වෙන්නෙ නෑ ඒ වෙලාවෙ.

මම පුද්ගලිකව ඔය චන්න ජයසුමන කියන පුද්ගලයා එක්ක සමාජ මාධ්‍යයක හරි සම්මුඛ උන එකම අවස්ථාව මෙන්න මේ අවස්ථාව විතරයි. ඔහු ඒ කැත කැම්පේන් එක කරද්දි මම ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පෝස්ට් වලට ඒවට විරුද්ධව තර්ක කරමින් කමෙන්ට් කිහිපයක් දැම්මා. කියන්න සතුටුයි පැය 24 ක් යන්න කලින් අපේ උගත්, බුද්ධිමත්, වියත්මඟ මහාචාර්‍යවරයා ඒවට පිළිතුරු දෙන්න බැරිව මාව බ්ලොක් කරල තිබ්බා.

ඒ මොහොතේ මේ ඇස් පනාපිට පේන මිත්‍යා කථාවක් වස්තුබීජ කරගෙන වෛද්‍ය සාෆි ඇතුළු මුස්ලිම් වෛද්‍යවරු සියල්ල එකපෙළට උල තියන්න හදද්දි ඔවුන්ව ආරක්ෂා කළ යුතු පාර්ශ්ව ඒ වෙනුවෙන් මොකද කලේ?

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති මොකද කලේ?

කුරුණෑගල රෝහලේ සහෝදර වෛද්‍යවරු මොකද කලේ?

කුරුණෑගල රෝහලේ පරිපාලනය මොකද කලේ?

ඔහු සාමාන්‍ය වෛද්‍යවරයෙක්. ඔහු කළ සියළුම සිසේරියන් සැත්කම් කවුරුන් හෝ විශේෂඥ වෛද්‍යවරුන් යටතේ කරපුවා. ඔහු ඒ විදියට දසදහස් ගාණක් සිසේරියන් සැත්කම් කළා කියන්නෙ ඔහු ඒ ලිස්ට් ඇද්ද VOG ලා මොකද කලේ?

ඒ වගේ චෝදනාවක් එල්ලවන වෙලාවක ලංකාවෙ ඉන්න සමස්ථ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු සහ ඔවුන්ගේ කොලීජි තමන්ගෙ බර ඇදපු කණිෂ්ඨ වෛද්‍යවරයා වෙනුවෙන් මොනවද කළේ?

සමාජයක් විදියට ඉතිරි අය මොනවද කළේ?

මේ හැමෝම ඒ මොහොතේ කළ කී දේවල් නැවතත් අපි මේ වෙලාවෙ සිහිපත් කරගමු.

සති දෙකකට කලින් පාකිස්ථානෙ සියල්කොට් නඟරය මැද්දේ දහස් ගාණක් ඉස්සරහ තනි මනුස්සයෙක් ගහල, පුච්චලා මැරුවා. ඒකට හැමෝම කම්පා උනා. අදහගන්න බැරිවුණා.

ශරීරයට ගැහුවෙ, පිච්චුවෙ නැතිවුණාට මීට අවුරුදු තුනකට කලින් කුරුණෑගලදිත් “සිංහල සමාජය” කලේ ඒ ආකාරයෙම දෙයක් තමයි. මුළු සමාජයක් එකතුවෙලා, වටවෙලා තනි මිනිහෙක්ව ඉවරකළා. කිසිදු පදනමක් නැති කුලප්පු කිරීමකට සෙට් වෙලා. ඒකට පොලුමුඟුරු වීරවංශලා, අතුරලියේ රතනලා, ජාතිවාදී පොහොට්ටු හිතවාදී මාධ්‍ය විසින් අරන් එද්දි, ගින්දර අරගෙන ජයසුමනල එද්දි, ඔබ අතිබහුතරයක් ඔවුන්ව ධෛර්‍යමත් කරමින් හුරේ දැම්මා. ප්‍රීතිඝෝෂා කළා.

අඩුම තරමෙ දැන්වත් ඒ ගැන අවංක සිතාබැලීමක් කරන්න පුලුවන්නම් සමාජයක් විදියට අපේ අනාගතයට ඒක සෑහෙන්න වැදගත් වෙයි. (අනාගතයක් තිබුණොත්)

ඒ වගේම වෛද්‍ය සාෆිට වෙච්ච හානිය වළක්වන්න ඒ මොහොතෙදි කොහොමවත්ම ප්‍රමාණවත් නොවුනත්, ස්ථිරව දෙපය බිම ගහගෙන ඒ මහා රැළ්ලට එරෙහිව, “මේක වැරදියි. මේ බලු වැඩේ කරන්න එපා” කියල කෑගහපු අතලොස්සක් මිනිස්සුන්ට ආචාර කරනවා!

මනුස්සයෙක් විදියට වෛද්‍ය සාෆිටත්, ඔහුගේ පවුලටත්, මුස්ලිම් ජාතික වෛද්‍යවරුන්ටත් මේ කාලකණ්නි ක්‍රියාවෙන් වෙච්ච හානිය රිවස් කරන්න මේ ලිපියෙන් බැහැ. නමුත් ගෝත්‍රවාදී පාලනයක්, ගෝත්‍රවාදයට පෙම් බඳින ජනතාවක් ඉන්න සමාජයක මේකත් ලොකු දෙයක්.

මොකද මේ වගේ සමාජයකදි ඔහුට වන්දි ලැබෙන්නෙ නැහැ.
-Dr Najith Indika (FB)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *