Type to search

ලබන අප්‍රේල් වෙනකොට රටේ කන්නවත් නැති වේවි – මහාචාර්ය මෙත්තිකා විතානගේ

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ලබන වසරේ අප්‍රේල් මාසය වන විට මෙරට ජනතාවට කෑමට ආහාර නොමැති තත්ත්වයක් උද්ගත වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ අනතුරු අඟවයි.

මහ කන්නය සඳහා වගා කටයුතු මේ වනවිට ආරම්භ කළ යුතුව ඇතත් ඒ සඳහා අවශ්‍ය පොහොර ලබා දීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැති බවද ඇය පවසයි.

ඊට අමතරව කාබනික දියර පොහොර පමණක් යෙදීමෙන් රටට ප්‍රමාණවත් අස්වැන්නක් අපේක්ෂා කළ නොහැකි බවද ඇය පෙන්වා දෙයි.

මහ කන්නය යනු මෙරට වැදගත්ම සහ වැඩිම අස්වැන්නක් හිමි වන කන්නය වන බවත් එම කන්නයේදී අත්හදා බැලීම් කිරීමට හැකියාවක් නොමැති බවත් මහාචාර්යවරිය පෙන්වා දෙයි.

ඒ අනුව, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විද්වතුන් සහ පර්යේෂකයන් පෙන්වාදී ඇති කරුණු කෙරෙහි රජය කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ගෙන යන වැඩපිළිවෙළ හරහා ආහාර හිඟයක් ඇති වීම නොවැළැක්විය හැකි බවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කරයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ ඇති කසළ කඳුවලින් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල සහ වසුරු පොහොරවල මිනිස් සිරුරට අහිතකර අපද්‍රව්‍ය සහ භයානක රසායන ද්‍රව්‍ය ඇතැයි මහාචාර්ය මෙත්තිකා විතානගේ අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් තමන් පර්යේෂණ රැසක්ද සිදු කර ඇති බවද මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කරයි.

කුණු කඳුවලින් නිෂ්පාදනය කරනු ලබන පොහොරවල අපද්‍රව්‍ය, බැර ලෝහ මෙන්ම මයික්‍රෝප්ලාස්ටික්ස් බහුල බව ඇය පෙන්වා දෙයි.

ඇය සඳහන් කළේ, නිවෙස්වලින් කුණු වර්ගීකරණය කර ලබා දුන්නද නගර සභාවලින් එම කුණු එකම ස්ථානයකට බැහැර කරන බවය. ඒ අනුව, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේදී එම කුණුවල අඩංගු පොලිතින් මයික්‍රෝප්ලාස්ටික් බවට පත් වන බව ඇය සඳහන් කරයි.

මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ, පොලිතින් නිෂ්පාදනයේදී ඒවායේ නම්‍යශීලී බව ලබා ගැනීම සඳහා විවිධ රසායන ද්‍රව්‍ය ඊට එකතු කරන බවය. එම රසායනික සංයෝගය ඉතා භායනක බව ඇය පවසයි.

එවැනි පොහොර කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමෙන් ඒවායේ අඩංගු අහිතකර රසායන ද්‍රව්‍ය පසට එකතු වී ශාකවලටත් ආහාරවලටත් එකතු වීමේ අවදානමක් ඇති බව ඇය පෙන්වා දෙයි

ඇය සඳහන් කරන්නේ, ඌරු කොටුවලින් සහ කුකුළු කොටුවලින් ලබා ගන්නා පොහොරවල ප්‍රතිජීවක ඖෂධ සහ හෝමෝන (ස්ටෙරොයිඩ) අඩංගු බවය.

එවැනි රසායන ද්‍රව්‍ය පරිසරයට සහ මිනිස් සිරුරට දරා ගත හැකි මට්ටම් කවරේද යන්න නිර්ණය කර ඇති බව ඇය පෙන්වා දෙයි. ඒ අනුව, නිර්ණය කර ඇති මට්ටම්වලට වඩා වැඩි වනවා නම් පමණක් මානව සෞඛ්‍යයට ඒවා අහිතකර ලෙස බලපාන බවත් ඊට වඩා අඩු මට්ටම්වල පවතිනවා නම් ඒ පිළිබඳව බිය නොවිය යුතු බවත් ඇය පැහැදිලි කරයි.

කෙසේ වෙතත්, දැනට ශ්‍රී ලංකාවේ ඇති තත්වය අනුව පොහොරවල අඩංගු බැර ලෝහ හැර කාබනික රසායනික සංයෝග පරීක්ෂා නොකරන බව මහාචාර්යවරිය පෙන්වා සෙයි.

එවැනි පරීක්ෂණ සාමාන්‍ය මට්ටමේ පර්යේෂණාගාරවල සිදු කළ නොහැකි බවත් ඒ සඳහා විශේෂිත උපකරණ අවශ්‍ය බවත් ඇය සඳහන් කරයි.

මහාචාර්යවරිය ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාව තුළ එවැනි විශේෂිත උපකරණ ඇත්තේ පර්යේෂණාගාර කිහිපයක පමණක් බවත් එවැනි ස්ථානවලින් අදාළ පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීම සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවන බවත්ය.

ඒ හේතුවෙන්, මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සහතිකයක් ලබා දිය නොහැකි බව ඇය අවධාරණය කරයි.

එමෙන්ම, වෙනත් රටවල්වලින් ගෙන්වන කාබනික පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන්ද සහතිකයක් ලබාදීම කිසිසේත්ම කළ නොහැකි බව මහාචාර්යවරිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ එවැනි තත්වයන්ගෙන් ආරක්ෂා වීමට ශාක නිරෝධායනය වැනි ක්‍රමවේද ඇති බවත් යම් හෙයකින් එවැනි ක්‍රමවේදවලට පටහැනිව කටයුතු කර පොහොර ගෙන්වීම සිදු කළහොත් ඉන් දැඩි අවදානම් තත්වයක් ඇති විය හැකි බවත් ඇය පැහැදිලි කරයි.

එසේ වුවද රසායනික පොහොර පමණක් භාවිත කර කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සුදුසු යැයි හෝ කාබනික පොහොර පමණක් භාවිත කර කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සුදුසු යැයි නිර්දේශ කළ නොහැකි බව මහාචාර්යවරිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ, කාබනික පොහොර පමණක් භාවිත කර අවශ්‍ය අස්වැන්න ලබා ගත නොහැකි බවය.

ඒ හේතුවෙන්, කාබනික පොහොර සමඟ (දිරා ගිය ශාකමය කොටස්) රසායනික පොහොර භාවිතය වඩාත් සුදුසු බව ඇය පෙන්වා දෙයි. තමන් පමණක් නොව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පවා යෝජනා කර ඇත්තේ එම ‘’මැද මාවත’’ බව ඇය සඳහන් කරයි.

කෙසේ වෙතත්, තමන් වැනි විද්වතුන්ගේ අදහස් බලධාරීන් නොසලකා හරින බවත් මහාචාර්යවරිය පවසයි.

ඇය සඳහන් කරන්නේ, කාබනික පොහොර සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේදී ගත් තීරණයේ සිටම බොහෝ කෘෂිකර්ම විද්‍යාඥයන්, පාංශු විද්‍යාඥයන් ඇතුළු විද්‍යාඥයන් අදහස් ප්‍රකාශ කළ බවය. එමෙන්ම, ඒ පිළිබඳව පර්යේෂණ රැසක් සිදු කර ඇති බවත් එම පර්යේෂණවල දත්ත ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා යොදා නොගන්නා බවත් ඇය සඳහන් කරයි.

එම ප්‍රකාශ, අදාළ බලධාරීන් “කනකට හෝ නොගත් බව“ ඇය අවධාරණය කරයි.

හරිත කෘෂි කර්මාන්තය සඳහා ගමන් කිරීම එක් රැයකින් සිදු කළ නොහැකි දෙයක් බවත් එය ක්‍රම ක්‍රමයෙන් සිදු කළ යුතු බවත් මහාචාර්යවරිය සඳහන් කරයි.

මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, හරිත කෘෂිකර්මාන්තයක් සඳහා රසායනික සහ කාබනික පොහොර යොදා ගැනීම ‘’අනිවාර්යයෙන් මැද මාවතක සිට කළ යුතු බව‘’ ය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *