යුගදනවි ගිවිසුම කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක්; අනුමැතිය නිව් ෆෝට්‍රස් සමාගමට, ගිවිසුම NFE ශ්‍රී ලංකා සමාගම සමග

ජනතාව සහ පාර්ලිමේන්තු සභාව අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙනවා - අනුර දිසානායක

ජනතාව සහ පාර්ලිමේන්තු සභාව අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙනවා - අනුර දිසානායක

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම අතර අත්සන් කෙරුණු ගිවිසුම ජාතික ජන ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට (10) ඉදිරිපත් කරනු ලැබුවා

මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි නොයෙක් වර ඉල්ලීම් කළත් රජය හෝ විදුලිබල අමාත්‍යවරයා එය නොකළ බවත් ගිවිසුම කැබිනට් මණ්ඩලයට පවා ඉදිරිපත් කර නැති බවත් ඔහු සඳහන් කර සිටියා.

ඔහු මෙම ගිවිසුම ඉදිරිපත් කරමින් පැවසූවේ තමා මේ ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවාගෙන සිටින ගිවිසුම බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ:

“ශ්‍රී ලංකා රජය සහ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම අතර, අත්සන් කරනු ලැබු ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අවස්ථා ගණනාවක දී කිව්වා. විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. නමුත් එතැන් සිට ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න බවත් මා දැක්කේ නෑ. හැබැයි මා දන්නා පරිදි ඒ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නෑ. අද මුදල් අමාත්‍යාංශ විවාදයේ දී ඒක වැදගත් ලෙස අපි සාකච්ඡාවට බඳුන් කළ යුතුව තිබෙනවා. මා සතුව ඒ ගිවිසුම තිබෙනවා. ඒකේ සේලර් හැටියට ශ්‍රී ලංකා ආණ්ඩුවත් බයර් හැටියට එන් එෆ් ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමත් අත්සන් කරපු ගිවිසුමක්. මේ ගිවිසුම තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි අවධාරණය කළේ. ඒ මොකද මේක පෞද්ගලික දේපළක් පවරාදීම් පිළිබඳ ගිවිසුමක් නෙමෙයි.

මේක රටේ බලශක්ති ක්ෂේත්‍රයත් මේ වෙනවිටත් රජය ආයතන ගණනාවකට හිමිව තිබෙන කෙරවලපිටිය බලාගාරයත් අමෙරිකානු සමාගමක් වෙත පවරා දීම සඳහා අත්සන් කරනු ලද ගිවිසුමක්. හැබැයි දිගින් දිගටම මාස එකහමාරකට වඩා වැඩි කාලයක් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා කිව්වත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. ඒ නිසා ගරු කථානායකතුමනි මම ඒ ගිවිසුම සභාගත කරනවා.

කැබිනට් මණ්ඩලයෙන් අවසර දෙනවා නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග ගිවිසුම අත්සන් කරන්න. හැබැයි අත්සන් කරලා තියෙන්නේ එන් එෆ් ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගම සමග. කැබිනට් මණ්ඩලයෙන් බලය දුන්නේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග අත්සන් කරන්න නමුත් අත්සන් කරලා තියෙන්නේ වෙනත් නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමට අනුබද්ද හෝල්ඩින් සමාගමක් සමග. ඒ නිසා සම්පූර්ණයෙන්ම මේක කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක්”

මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *