Type to search

නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ගුරු විද්‍යා පීඨ කිහිපයක දේපල විනාශ කර ඇති බව චෝදනා

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ගුරු විද්‍යා පීඨ කිහිපයක නේවාසිකාගාරයන්හි තිබූ සිසුන්ගේ පොත් පත්, ඇඳුම් පැළඳුම් ආදිය විනාශවීම සම්බන්ධයෙන් සොයාබලා සිසුන්ට සාධාරණයක් කිරීම වෙනුවට එම තොරතුරු හෙළිදරව් කළ සිසුන්ට එරෙහි විනය පියවර ගැනීමට විද්‍යාපීඨ පාලනාධිකාරයන් පියවර ගනිමින් සිටින බවට එම සිසුහු චෝදනා කරති.

මෙම විනය පරීක්‍ෂණ (08) සිට ආරම්භ වන බව එම විද්‍යාපීඨ ආරංචි මාර්ග පවසයි.

පුලතිසිපුර, රුවන්පුර, සියනෑ ආදී විද්‍යාපීඨවල පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි ඇතැම් පිරිස් විසින් විනාශ කිරීම නිසා එම සිසුන්ට විශාල පාඩුවක් සිදුව ඇති බවත්, එසේ විනාශ වී ඇත්තේ ඇතැමුන්ගේ දෙමාපියන් ණය වී රැගෙන දුන් භාණ්ඩ බවත් ඔවුහු පවසති.

එබැවින් සිසුන්ට සාධාරණයක් කරන්නැයි ඉල්ලා සිටිය ද පීඨාධිපතිවරුන් ඒ සම්බන්ධයෙන් සිසුන් සමඟ සාකච්ඡා කිරීම පවා ප්‍රතික්‍ෂේප කරන තත්වයක් මතුව ඇති බව සිසුහු සඳහන් කරති. සීමිත සිසුන් පිරිසකට හෝ මේ ගැන සාකච්ඡාවකට අවස්ථාවක් දී තමන්ට සාධාරණයක් කරන්නැයි අධ්‍යාපන බලධාරීන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද සිසුහු පවසති.

විද්‍යා පීඨයක කථිකාචාර්යවරයකු ලංකාදීපයට පැවසුවේ තම විද්‍යා පීඨයේ පමණක් කෝටි එකහමාරක පමණ දේපල නිරෝධායනය වූ පිරිස් විසින් විනාශ කර ඇති බවයි. මේ සිදුකළ හානිය වෙනුවෙන් එක් සිසුවකුට අවම වශයෙන් රුපියල් 20,000ක හෝ වන්දියක් ලබාදීම සුදුසු බව ඔහු සඳහන් කළේය.

ඇතැම් සිසුන්ගේ පොත්පත් ආදිය ද විනාශ කර දමා ඇති බවත්, එයින් සිසුන්ට සිදුවූ පාඩුව පියවීම පවා කළනොහැකි බවත් එම ආචාර්යවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ පුලතිසිපුර විද්‍යාපීඨයෙන් හැර සෙසු විද්‍යාපීඨවලින් මෙවැනි හානි සිදුකිරීමක් ගැන අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී නොමැති බවයි. පුලතිසිපුර විද්‍යාපීඨයේ විනාශයක් සිදුවූ බව පිළිගන්නේ යැයි කී එම ප්‍රකාශකයා එම හානිය සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය යුද හමුදාව වෙත අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් ලිඛිතව දැනුම් දී තිබෙන බවද ඔහු පැවසීය.

අනෙකුත් විද්‍යාපීඨවල එතරම් හානියක් වී නොමැති බව පීඨාධිපතිවරුන් පවසා ඇතැයිද එම ප්‍රකාශකයා කීවේය.
කෙසේ වෙතත් විද්‍යාපීඨවලින් පැමිණිල්ලක් ලැබුණොත් සොයාබලා පියවර ගත හැකි බව ඔහු සඳහන් කළේය.

– Lankadeepa

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *