ලංකාවේ HIV සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග ගැන මේ කරුණු දැන සිටියා ද? – ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන්

HIV ආසාදිතයින් වාර්තා වීම 14%කින් ඉහළට

HIV ආසාදිතයින් වාර්තා වීම 14%කින් ඉහළට

ලෝක AIDS දිනය (01) යෙදී ඇත. 2021 ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වන්නේ, “අසමානකම් දුරු කර AIDS අවසන් කරමු. වසංගත පරදවමු” යන්න යි.

HIV/AIDS ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත ජනතාවකට බලපාන ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස පවතියි. 2020 දී HIV සමග ජීවත් වන ඇස්තමේන්තුගත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 37.7කි.

2020 වසරේ දී HIV ආශ්‍රිත හේතූන් නිසා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 680,000කි. මේ වන විට ලොව පුරා ජීවිත මිලියන 36.3ක් AIDS හා සම්බන්ධ රෝග තත්ත්වයන් හේතුවෙන් මියගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව 2020 වර්ෂයේ දී අලුතින් HIV ආසාදිත වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 15කට අධිකය.

එච් අයි වී සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග පාලනය සහ ඒ පිළිබඳ සමාජයේ ඇති ආකල්ප වෙනස් කිරීම සඳහා පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ක්‍රමවත්ව ලබාදීම වැදගත් බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසයි.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ, “අධ්‍යාපන අමාත්‍යාංශය මේකට මූලිකත්වය දීල ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. ලිංගිකත්වය කියන්නේ කුමක් ද? ඒ ළමයින්ට හැගීම් දැනේනේ කොයි වගේ ද?, හැඟීම් පාලනය කර ගන්නේ කොහොම ද? මේවා මුකුත් ළමයි ට කියා දෙන්නේ නැති එක තමයි මේ ලොකුම ප්‍රශ්නය. ඉස්කෝල වල හරියට අධ්‍යාපනය ලබා දෙන්නේ නෑනේ. ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කරන්න ඕනේ,” යනුවෙනි.

එවිට ලිංගික ගැටලු ගැන ඉදිරියට ඇවිත් කතා නොකිරීම සහ ඒ පිළිබඳව ඇති සමාජ ගර්හාව අවම කර ගත හැකි බවද වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසුවාය.

“දැනුවත් වීම විතරක් නොවේ සමාජ මතය තවමත් වෙනස් වෙලා නෑ. මොකද ලිංගික රෝග කෙසේ වෙතත් ලිංගිකත්වය කියන එක ගැන කවුරුත් කතා කරන්න කැමති නෑනේ.”

අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු
මේ දෙසැම්බර් 1වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය නායකයින්ගෙන් සහ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, AIDs ඇති කරන අසමානතාවයන්ට මුහුණ දීමට සහ දැනට අත්‍යවශ්‍ය HIV සේවාවන් ලබා නොගන්නා පුද්ගලයින් වෙත ළඟා වීමට පෙළ ගැසෙන ලෙසය.

HIV මර්දනය සම්බන්ධයෙන් මෑත දශක කිහිපය තුළ ලෝකය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇතත්, 2020 වසරේ දී වැදගත් ගෝලීය ඉලක්ක සපුරා නැතැ යි එම සංවිධානය කියයි.

COVID-19 වසංගතය HIV සමග ජීවත් වන බොහෝ පුද්ගලයින්ගේ ජීවිත වඩාත් අභියෝගාත්මක තත්ත්වයකට පත් කරමින්, සේවා සඳහා අසමානතා සහ බාධාවන් උත්සන්න කර ඇතැයිද එම සංවිධානය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ HIV තත්ත්වය
2021 වසරේ දෙවන කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයන් 4,142ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන හෙළි කළේය.

එහි සංඛ්‍යා ලේඛන අනුව ඉන් 2,912 දෙනෙකු පිරිමින් වන අතර, 1,230ක් කාන්තාවන්ය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වැඩිම HIV ආසාදිතයින් පිරිසක් වාර්තා වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසුවාය.

“දත්ත අනුව වැඩිම එච්අයිවී ආසාදිතයින් වාර්තා වන්නේ පිරිමි සමරිසි පුද්ගලයින් අතර. දත්ත විශ්ලේෂණයේ දී අපිට දකින්න ලැබුණා, පසුගිය අවුරුදු පහ තුළ වයස අවුරුදු 19 – 25ත් අතර පිරිමි අයගේ එච්අයිවී ආසාදිතයින් වාර්තා වීම ක්‍රමයෙන් වැඩි වෙන බව. මේ තත්ත්වය ටිකක් භයානක නිසා අපි අවශ්‍ය වෙනවා සැවොම දැනුවත් කරන්න. ප්‍රධානව 90%ක් විතරම බෝවෙන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලින්. විශේෂයෙන්ම තරුණ පරම්පරාව දැනුවත් කරන්න ඕනේ විශ්වාසවන්ත නැති අයත් එක්ක, ඔය ෆේස්බුක් වගේ ඒ වගේ සම්බන්ධතා ඇති කරගත්තොත්, ඒගොල්ලොත් එක්ක අනාරක්ෂිත ලිංගික හැසිරීම් ඇති වුණොත්, අපි දන්නැහැනේ මේ ආසාදිතයින් කොහේ ඉන්නවා ද කියලා,” ඇය පවසයි.

“ලංකාව එච්අයිවී තත්ත්වය ගොඩක් අඩු රටක් හැටියට තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ 0.01%ක් විතර. දැන් එච්අයිවී හැදුනට ඒඩ්ස් කියන තත්ත්වයට යන්නැතුව සාමාන්‍ය කෙනෙක් විදියට ඉන්න පුළුවන් බෙහෙත් ගත්තොත්. එම තුන්දහස් ගණනින් එක්දහස් ගණනක් අපේ සායනවලින් බෙහෙත් ගන්නවා. ඒගොල්ලන්ට කිසි ලෙඩක් තිබෙනවා කියලා පෙනෙන්නේ නෑ. නමුත් ඉතිං ඇඟේ එච්අයිවී වෛරසය තිබෙනවා. සමහර අය අවුරුදු විස්සක් තිහක් තවම හොඳට ඉන්නවා. ඉතිං ප්‍රතිකාර ගැනීමයි වැදගත්,” අධ්‍යක්ෂවරිය කියා සිටියාය.

ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කළේ, බොහෝ HIV ආසාදිතයින් හමුවන්නේ ඔවුන්ට වෛරසය ආසාදනය වී වසර පහක් දහයක් ගෙවුණු පසුව බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වන විට මවගෙන් දරුවාට HIV වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වාලීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. නමුත් 2018 වසරේ දී මවගෙන් HIV සම්ප්‍රේෂණය වූ දරුවන් දෙදෙනෙකු හඳුනාගැනීමට වෛද්‍යවරු සමත් වූහ.

2015 දී වාර්තා වූ HIV ආසාදිතයන් අතුරින් 14%ක් වයස අවුරුදු 15ත් 24ත් අතර පුද්ගලයින් වූ අතර, එම ප්‍රමාණය 2018 වන විට 10% දක්වා අඩුවීම රටේ ශ්‍රම බලකාය ගැන සලකා බලන විට යහපත් තත්ත්වයක් ලෙස සැලකේ.

නවතම දත්ත උපුටා දක්වමින් ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ සමලිංගික ඇසුරු පවත්වන පිරිමින් අතර HIV ආසාදනය ඉහළ ගොස් ඇති බවය.

2018 දත්ත අනුව, පිරිමි – පිරිමි අතර වූ ලිංගික සබදතා හේතුවෙන් HIV අසාදනය වූ පිරිස, එවසරේ වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 46%කි.

ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග
* සිපිලිස්

* ගොනෝරියා

* ලිංගික ඉන්නන්

* ලිංගික හර්පීස්

* ගොනෝරියා නොවන ලිංගික ප්‍රදාහ

මින් සිපිලිස් සහ ගොනෝරියා තත්ත්වය ශ්‍රී ලංකාව තුළ විශාල ලෙස අඩු වී තිබෙන බව වෛද්‍ය හෙට්ටිආරච්චි හෙළිදරව් කළාය.

“ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම තියෙන්නේ ලිංගික හර්පිස් සහ ලිංගික ඉන්නන් කියන ඒවා. සිපිලිස් කියන එක ලිංගික ආශ්‍රිත රෝග වලින් 8% ක් පමණත් ගොනෝරියාත් 3%ක් විතර තිබෙනවා. ලිංගික ඉන්නන් කියන තත්ත්වය 25%ක් විතර. ලිංගික හර්පීස් සහිත රෝගීන් තුන්දහස් ගණනක් හඳුනාගෙන තිබෙනවා. ගොනෝරියා නොවන ලිංගික ප්‍රදාහ සහිත රෝගීනුත් දෙදහස් ගණනක් ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ 27%ක් විතර.”

අධි අවදානම් කණ්ඩායම්
ලිංගාශ්‍රිත රෝග වැළඳිය හැකි බවට හඳුනාගත් සමාජ කණ්ඩායම් අවදානම් අය ලෙස ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් හඳුනා ගෙන තිබේ.

ලිංගික ශ්‍රමිකයන් (Sex workers)

සමලිංගික ඇසුරු පවත්වන පිරිමි

වෙරළේ ගැවසෙන ළමයින් (Beach boys)

සිරකරුවන්

විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන අය

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික සහාය ඇතිව සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇති දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ සමලිංගික ඇසුරු පවත්වන පිරිමි 40,000ක්, කාන්තා ලිංගික ශ්‍රමිකයන් 30,000ක් සහ වෙරළේ ගැවසෙන ළමයි 4500ක් සිටින බව හෙළිවී තිබේ.

ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගෙවුණු වසර පහ තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක බීබීසී සිංහල සේවයට මීට පෙර පැවසුවාය.

අවුරුදු 36-50 අතර වයසේ පසු වන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් යොමුවී තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.

ඔවුන්ගෙන් 49%ක් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මුදල් සොයා ගනු ලබන්නේ වාණිජ ලිංගික වෘත්තියේ නිරත වීමෙනි.

ප්‍රතිකාර සේවා
වෛද්‍ය හෙට්ටිආරච්චි පවසන්නේ එච්අයිවී සහ ලිංගාශ්‍රිත රෝග සහිත පුද්ගලයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා රෝහල් 33ක සායන පැවැත්වෙන බවය.

“ඒගොල්ලෝ ඉලක්ක කරලා දැනුවත් කිරීම් කරනවා. ටෙස්ට් කරනවා. ඒ වගේම ප්‍රතිකාරත් කරනවා. අපි මොබයිල් සායන දාලා ලිංගික ශ්‍රමිකයින් පරීක්ෂා කරනවා. සමාජයේ ආකල්පයක් තියෙනවනේ මේ ලිංගාශ්‍රිත රෝග ගැන. ඒවා සමාජයේ පිළිගැනීමක් නැති තත්ත්වයක් නේ තියෙන්නේ. රෝග තත්ත්ව හඳුනාගෙන ප්‍රතිකාර කළොත් අනිත් අයට බෝ වෙන එක වළක්වා ගන්න පුළුවන්.”

– bbc

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *