බුදුදහමට අපහාස කළැයි අබ්දුල් රාසික්ට එරෙහිව මහාධිකරණයේ නඩු – විදේශගත වීම තහනම්

බුදු දහමට අගෞරවයක් වන ආකාරයෙන් අදහස් දක්වමින් එය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්, වර්තමානයේ තහනම් කර ඇති සංවිධානයක් වන ලංකා තවුහීද් ජමාත් සංවිධානයේ නායක අබ්දුල් රාසික්ට එරෙහිව නීතිපති විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

2013 අප්‍රේල් 06 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී බුදුදහමට අගෞරවයක් වන ආකාරයෙන් අදහස් පළ කිරීම මගින්, වාර්ගික හා ආගම් භේදයක් ඇති කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබේ.

අබ්දුල් රාසික්ට එරෙහිව ඇති H.C2973/21 නඩුවේ විත්තිකරුවන් ලෙස රහ්මතුල්ලා මොහොමඩ් රියාස්, මෙක්බා අමීර් මොහොමඩ් තෞසීබ් අහමඩ් යන අය නම් කර ඇත.

2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3 (1), 3 (3) වගන්ති සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (ආ) පරිච්ඡේදය යටතේ, මෙම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා හයක් ගොනු කර ඇත.

එම චෝදනා සනාථ කිරීම සඳහා නඩු භාණ්ඩ තුනක් සහ සාක්‍ෂිකරුවන් 9 දෙනකුගේ නාම ලේඛනයක් ඉදිරිපත් කර ඇති අතර, චෝදනා පත්‍රය පසුගිය 22 වන සඳුදා දින කොළඹ මහාධිකරණයේ අංක 6 දරන කාමරයේදී විත්තිකරුවන්ට භාරදී ඇත.

මේ අවස්ථාවේ අබ්දුල් රාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනාම අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, ඔවුන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සිරාස් නූර්දීන් පෙනී සිටියේය.

නඩුවේ විත්තිකරුවන් තිදෙනාටම ඇප ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම තත්ත්වය මත, විත්තිකරුවන් තිදෙනාට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහැරීමට අධිකරණය කටයුතු කළේය.

එමෙන්ම විත්තිකරුවන්ගේ විදේශ ගමන් ද තහනම් කෙරුණු අතර සෑම මසකම අවසන් ඉරු දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට අත්සන් තබන ලෙස ද නියෝග කළේය.

ඒ අනුව වැඩිදුර කටයුතු සඳහා මෙම නඩුව 2022 ජනවාරි 12 දක්වා කල් තැබිණි.

අබ්දුල් රාසික්ට එරෙහිව අපරාධ නඩුවක් පැවරිය හැකිද යන්න පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මීට පෙර නිර්දේශ කර තිබුණි. 2013 මැයි 06 වැනි දින ඔහු පළ කළ ප්‍රකාශයක් පදනම් මෙම නඩුව ගොනු කර ඇති බව සඳහන් වේ.
-vidivelli

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *