ආසියානු පැසිෆික් TRANSGENDER HERO සම්මානය ශ්‍රී ලංකාවේ භූමි හරේන්ද්‍රන්ට

ජාත්‍යන්තර එල්ජීබීටී+ මානව හිමිකම් සංවිධානයක් වන ඇප්කොම් (APCOM) සංවිධානය විසින් ගෝලීය එල්ජීබීටී+ ප්‍රජා නායක නායිකාවන් ඇගයීමට ලක්කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන හීරෝ අවෝර්ඩ්ස් සම්මාන උළලේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ වීරත්වය අගයන ට්‍රාන්ස්ජෙන්ඩර් හීරෝ (TRANSGENDER HERO) නම් සම්මානය ලබා ගැනීමට භූමි හරේන්ද්‍රන් සමත් ව තිබේ.

2021 වසර සඳහා හීරෝ අවෝර්ඩ්ස් සම්මාන උළෙල පැවැත්වූයේ තායිලන්තයේ බැන්කොක් නුවර වන අතර, ඒ නොවැම්බර් 20 වන දිනට යෙදුණු සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට (International Transgender Day of Remembrance) සමඟාමීව ය.

ට්‍රාන්ස්ජෙන්ඩර් හීරෝ සම්මානය සඳහා පිලිපීනය නියෝජනය කරමින් චේස් ටොලෙන්ටිනෝ ද, මැලේසියාව නියෝජනය කරමින් නිෂා අයුබ් ද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් භූමි හරේන්ද්‍රන් ද යෝජනා වී තිබූ අතර, 2021 වසර සඳහා ට්‍රාන්ස්ජෙන්ඩර් හීරෝ නමින් භූමි පිදුම් ලැබීම ඉකුත් නොවැම්බර් 26 වන දින සූම් තාක්ෂණය හරහා සජීවීව සිදුවිය.

වසර 11 ක පමණ කලක් පුරා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබෙන, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව පමණක් නොව, මුළුමහත් එල්ජීබීටී+ ප්‍රජාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකළ තැනැත්තියක් වන භූමි හරේන්ද්‍රන් – නැතහොත් ඔබ අප කවුරුත් හඳුනන භූමි – ඇගේ මානව හිමිකම් ගමන තුළ සුළුතර ලිංගික ප්‍රජා අයිතිවාසිකම් පමණක් නොව, ළමා හිංසනය මුලිනුපුටා දැමීම, කාන්තා විමුක්තිය, එච්අයිවී අධිවචානය ඇතුළු ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, ආදී විවිධ ක්ෂේත්‍රයන් හි කාර්යභාරයන් රැසක් ඉටුකර තිබේ.

ඇප්කොම් හීරෝ අවෝර්ඩ්ස් සම්මාන උළෙල පැවති රාත්‍රියේදී එම උළෙලට සූම් තාක්ෂණය හරහා සජීවීවv සහභාගී වෙමින් සිය සුපුරුදු නිහතමානී සිනාවෙන් ද යුතුව භූමි පවසා සිටියේ සිය ගමන්මඟ තුළ උපකාර කළ හා තමා සමඟ සිටි සෑමදෙනෙකුටම තමා ස්තූතිවන්ත වන බවත්, මෙම සම්මානය ලබා ගැනීම තමා ලද ගෞරවයක් සේ සලකන බවත් ය.

භූමි ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලයේ (National Transgender Network Sri Lanka) විධායක අධ්‍යක්ෂිකා වශයෙන් කටයුතු කරනු ලබයි.

මෙවර ඇප්කොම් හීරෝ අවෝර්ඩ්ස් සම්මාන උළෙල සඳහා
BUSINESS ALLY, COMMUNITY ALLY HERO, COMMUNITY HERO, COMMUNITY ORGANISATION HERO, COVID-19 HERO, HEALTH & WELLBEING HERO, HIV HERO, SOCIAL JUSTICE HERO, TRANSGENDER HERO, YOUNG ACHIEVER HERO ආදී කාණ්ඩ 10 ක් ඇතුළත්ව තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *