රජයේ ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් නැහැ, ලංකාවේ හරිත කෘෂිකර්මාන්තයක් පමණයි -ජනපති

රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවත්, මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බවත්, රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරන ලදී.

ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු බවත් එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනාගත යුතු බවත්, ඒ සමග සටන් වැඳ නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් ඊයේ දින (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පැවති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩුවීමට බලපා ඇති බවත් කාබනික පොහොර බෙදාහැරීමේදී සිදු වූ ප්‍රමාදය නිසා මහ කන්නයේ වගා කටයුතුවලට බලපෑම් ඇති වුවත් දිස්ත්‍රික් මට්ටමින් සමස්ත වගා බිම්වලින් 70%කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කර ඇති බව නිලධාරිහු එහිදී පැවසූහ.

ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එලෙස දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බවත් සඳහන් කර තිබේ.

හිතට එකඟව පැහැදිලිව වැඩකරන කණ්ඩායමක සහාය එම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“ප්‍රතිපත්තියක් වශයෙන් රජයෙන් අපි කරන්නේ, මේ කාබනික කෘෂිකර්මාන්තය, හරිත කෘෂිකර්මාන්තය පමණයි. ඒක මතක තියාගන්න ඕනේ ලේකම්වරුයි අනිත් හැමකෙනෙක් ම. රසායනික පොහොර ඒක පුද්ගලික අංශයට භාරදෙන්න. ඕන එක්කෙනෙකුට ඕන නම් ගෙන්නලා ඒක එකතොට ගොවියට අපිට ලබාදෙන්න පුළුවන්. එතකොට Available තියෙනවානේ. එතකොට කාටවත් කියන්න බැහැ මේක නැහැයි කියලා. හැබැයි සහනාධාරය දෙද්දි ප්‍රමුඛත්වය දෙන්නේ මේ කාබනික පොහොරවලට විතරයි. එතකොට ගොවියා ඉබේම ඒකට යනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොවියව දැනුවත් වෙලා නැහැ. ගොවියාට විශ්වාසයක් නැහැ මොකද්ද පොහොර යොදන්නේ කියලා. අපි පොහොර බෙදන එක තාමත් සිද්ධවෙලා නැහැ. මේවා ගැන ප්‍රශ්න ඇතිවුණාම තමයි ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්නේ. නැත්නම් මේ කන්නය සම්පූර්ණයෙන්ම ආසාර්ථක වෙනවානේ. එහෙම වෙන්න දෙන්න බැහැනේ. හැබැයි අපි සමස්තයක් වශයෙන් මේ පොහොර ගෙන්වීම හා කිසිම සම්බන්ධයක් රජයෙන් ගන්න නරකයි. පහළ මට්ටමේ ඉඳලා ඉහළ මට්ටමට යනකම් මේවට කිසිම උනන්දුවක් නැහැ. ඒ හින්දා තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. මේ ව්‍යුහය තාම හැදිලා තියෙන්නේ ඒකේ ඉන්නේ මේ රසායනික පොහොර හා සම්බන්ධ අපේ රසායනික සමාගම් හා සම්බන්ධ ඒකත් ප්‍රචලිත කරන අය. ඒ අය අහක් කරලා කාබනික පොහොර ප්‍රචලිත කරන්න. ඒක තමයි ජාතික ප්‍රතිපත්තිය. ලේකම්තුමාම ගිහිල්ලා කිව්වොත් රසායනික පොහොර ඕන කියලා එතකොට ඉතින් මට වැඩක් නැහැනේ. එතකොට ජාතික ප්‍රතිපත්තිය එතනින් ඉවරයිනේ. මීට පස්සේ එහෙම කිව්වොත් එහෙම එයාව එළවලා දාන්න. ලේකම්වරයා හරි පොහොර අධ්‍යක්ෂවරයා හරි ඒ හැම කෙනෙක්ම ප්‍රතිපත්තියට විරුද්ධව කතා කරොත් එයා ඒකට විරුද්ධවයි. විරුද්ධ නම් එතනින් අයින් වෙලා යන්න ඕන පුළුවන් අයට දීලා. මම දන්නවා විද්‍යාඥයෝ අරගොල්ලො මේගොල්ලෝ ඇවිල්ලා කිව්වට ඒ ගොල්ලන්ගේ කාර්යය මොකද්ද කියලා බැලුවොත් පොහොර සමාගමෙන් දීලා නැහැ. සමහර අය අධ්‍යක්ෂවරු. සමහර සමාගම්වල හොඳම අධ්‍යක්ෂවරු. මේ කන්නයේ දැනට තියෙන ඒවට Immediately දෙන්න ඕන ගොවියන්ට ඒ උත්තරය දෙන්න ඕන.”

එම සාකච්ඡාවට එක්වු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද මේ පිළිබඳ අදහස් පළ කළේය.

“වී වගාවේ අපිට බොහෝදුරට ගැටලුවක් පැන නගින්නේ නැහැ.Immediately මේ පොහොර ටික ගෙන්න ගත්තම වී වගාව ගැටලුවක් නැහැ සර්. එළවළු සඳහා අපි සර් යම් ප්‍රමාණයක් ගෙන්නන්න කටයුතු කරනවා. ඒ වගේම ඒවට අවශ්‍ය පළිබෝධනාශක තවම විසඳුමක් නැති නිසා අපි යම් ප්‍රමාණයක් ගෙන්නන් කටයුතු කරනවා. මේ මහ කන්නයේ දී වී සහ එළවළු මැනේජ් කරගන්න පුළුවන්.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *