(VIDEO)ජනාධිපතිට විරුද්ධව ජනතාව පාරට බස්සන්න සිද්ධ වෙනවා – කාදිනල් හිමි

මේ වනවිට මුතුරාජවෙල සිදු කරගෙන යන පරිසර විනාශයත්, මුහුදුබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ හානියට අදාළ සාමාගම්වලින් වන්දි අයකර නොගැනිමත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට කටයුතු නොකිරීමත් ඇතුළු කරුණු මුල් කරගෙන ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් විරුද්ධව ජනතාව පාරට බස්සන්නට සිදුවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කරති.

අගරදගුරුතුමන් මේ බව පැවසූවේ එක්ස්ප්‍රස් නෞකාව විනාශවීම සමඟ මුහුදුබඩ පරිසරයට සිදුවූ විනාශයට පිළියම් යෙදීම සම්බන්ධව කරුණු සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවකට එක්වෙමිනි.

“මේ නැව නිසා සිදුව ඇති හානිය සම්පුර්ණයෙන් නැතිකරලා දාලා යථා තත්ත්වයට මේ මුහුදත්, ධීවර ජනතාව පත්කර ගන්න කටයුතු කරන්න ආණ්ඩුවට වගකීම පැවරෙනවා. අපි ඉල්ලා සිටිනවා මේක සැහැල්ලුවට අරගෙන නැව් සමාගමටත්, නැව් සමාගමේ ඒජන්තවරුන්ටත්, රක්ෂණය ඒජන්තවරුන්ටත් තමන්ට අවශ්‍ය විදිහට මේක අඩුවෙන් වියදම්කරලා බේරෙන්න ඉඩදෙන්න බැහැ. ඒ නිසා රජය සාධාරණ නම් ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් සහ ධීවර ඇමතිතුමාගෙන් කරුණාකරලා ඉල්ලන්නේ හේග් නුවර තියෙන ජාත්‍යන්තර උසාවියේ නඩුවක් පවරලා. මේ කොම්පැනිවලින් මේ සිද්ධිය නිසා වුණු හානිය නැවත්වරක් යථා තත්ත්වයට පත්කරන්න එය ඉවත් කිරීමට අවශ්‍ය දඩය අය කරගන්න කියලා.

ඒක මේ රටේ ජනතාවගේ අයිතියක්. ඒක කොමිස්කාරයන්ගේ අයිතියක් නොවේ. කොම්පැනි එක්ක ගනුදෙනු කරද්දි කොමිස් ගහන්න දෙන එක නෙමෙයි අපි කරන්න ඕනේ. ඒ නිසා මේ රටේ ලොකුම අවාසනාව තමයි මේ කොමිස් ගැහිල්ල. ඒක මහ ලැජ්ජා සහගත දෙයක්. අපි රටට ආදරේ නම් අපේ රටේ ජනතාවගේ බඩවියතට ගහලා මුදල් හම්බකරන එක නෙමෙයි අපි කරන්නට ඕනේ ඒවා ලේ සල්ලි. ඒ සල්ලි හරියන්නේ නැහැ කවදාවත්. ඒවා දියාරුවෙනවා. ඒ නිසා කරුණාකරලා අවංකව මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න කටයුතු කරන්න.” යැයිද එහිදී කාදිනල් තුමන් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *