Type to search

සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝ යැයි වැටහෙනවා – අන්තරේ කැඳවුම්කරු හිරේ ඉඳන් කළ හෙළිදරව්ව

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝ’ යැයි බන්ධනාගාර තාප්පවල ලොකුවට ගසා තිබුණ ද තාප්පයෙන් ඇතුළත සිටියදී ඒ සුරංගනා කතා අදාළ නොවන බවත් තාප්පයෙන් ඇතුළට ආ අයෙකුට සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝ යැයි වැටහෙන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු වට රවුමේදී සිදු කළ විරෝධතාව අවසානයේදී පොදු දේපළවලට හානි කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනුණු වසන්ත මුදලිගේ මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටී.

රැඳවුම් භාරයේ සිටින ඔහු සිය සගයන් වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ, කොවිඩ් වසංගතය සමාජය මත පහර පිට පහර ගසමින්, දුර්වල කරමින් සිටිනා මොහොතක බන්ධනාගාරයක් ඇතුළත “ඔහේ කල් මැරීමට” සිදුව ඇති බව ය.

මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර දින 84ක් ඉක්මවා ගොස් ඇත.

අදාළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

“වසංගතය සමාජයක් අක්‍රීය කරද්දි ඒ වසංගතයට ම මුවා වෙලා පාල⁣කයො විරුද්ධ මත දරන සමාජ ක්‍රියාකාරීන් අක්‍රීය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. එක අතකට අපි ආණ්ඩුවට ස්තූති කරන්න ඕනි. මොක ද ඔවුන්ගේ පාලනයේ සැබෑ නරුමත්වය දකින්න මේ වගේ වෙලාවක, මේ වගේ තැන්වල ඉන්න ලැබෙන එක එක අතකට හොඳයි. රුපියල් දාහක දඩයක් ගෙවා ගන්න බැරුව මාස ගණන් සිරගත වෙලා ඉන්න මිනිස්සු, බලහත්කාරයෙන් වැරදි පටවලා බොරු නඩුවලට පටලවලා දුක් විඳින මිනිස්සු, ලෙඩ වෙලා, අසරණ වෙලා හව්හරණක් නැතුව පණ ගැහෙන මිනිස්සු මේක ඇතුළේ ඉන්නවා. සිරකරුවෝ මනුෂ්‍යයෝ ය කියල බන්ධනාගාර තාප්පේ ලොකුවට ගහල තිබ්බට තාප්පෙන් ඇතුළෙ ඉද්දි ඒ සුරංගනා කතා අදාළ වෙන්නෙ නෑ. තාප්පෙන් ඇතුළට ආපු කෙනෙකුට තමයි තේරෙන්නෙ සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝ ය කියලා. කොතලාවල පනතෙන් නිදහස් අධ්‍යාපන අයිතිය, සමාජයකට ඉගෙනගන්න තියෙන අයිතිය විකුණනවා විතරක් නෙමෙයි, මිලිටරි ව්‍යුහයකට අධ්‍යාපනය ගැන සම්පූර්ණ බලතල ලබා දෙනවා. හිරගත වුණා නෙමෙයි, බෙල්ල ගහල ගියත් ඒ වගේ විනාශයක් ඇස් පනාපිට සමාජයකට වෙන්න දෙන්න බෑ. ආණ්ඩුව මේ කරන්න හදන්නෙ කිසිවකට විරුද්ධ නොවන, කිසිවක් ප්‍රශ්න නොකරන, කිසිවකට අභියෝග නොකරන ⁣කීකරු සමාජයක් හදාගන්න. කම් කම් බූරූ කියල කියන කියන දේ අනුමත කරගන්න පුළුවන් විදිහට අනාගත පරම්පරාව හීලෑ කරගන්න. ශිෂ්ටාචාරයේ වර්ධනය බාල කරවන්න. මෙහෙම විනාශයක් සමාජයකට වෙනකම් නිකම් බලා⁣ගෙන ඉන්න පුළුවන් නම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ. ඒ නිසා අපි එක හිර ගෙදරක නෙමෙයි, හිර ගෙවල් හත අටක වැටෙන්න සිද්ධ වුණත් කොතලාවල පනතට විරුද්ධව කරන අරගලය ජයග්‍රහණය තහවුරු කරන තුරු නවත්වන්නෙ නෑ. ආණ්ඩුව මේ අත්අඩංගුවට ගැනීම්, මාස ගණන් සිරගත කරගෙන රඳවා තබාගැනීම් කරන්නෙ සටන් කරන බලවේග දුර්වල කරන්න. මම අත්අඩංගුවට පත් වුණේ අගෝ. 6 උදේ පාන්දර සිරස රූපවාහිනියේ වැඩසටහනකට සම්බන්ධ වෙලා එන අතරතුර. අත්අඩංගුවට ගැනීමකුත් නෙමෙයි ඒක පැහැර ගැනීමක්.

මීට කලින් දවසෙ (අගෝ. 5) ජපුරෙ අමිල සහෝදරයව අත්අඩංගුවට ගත්තෙ නිල් පාට වැගන් වර්ගයේ වෑන් එකක ආපු නන්නාඳුනන පිරිසක්. එතන නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරීන් හිටියෙ නෑ. අමිලව අරගෙන යන්නෙත් පොලීසියට නෙමෙයි, මිරිහාන කිට්ටුව රහසිගත ස්ථානයකට. පැය ගණනාවකට පස්සෙ තමයි තලංගම පොලීසියට අරන් එන්නෙ. මේව එකක්වත් අත්අඩංගුවට ගැනීම් නෙමෙයි, පැහැර ගැනීම්. කෝෂිලා සහෝදරිය ගෙදරට ම ගිහින් කුදලගෙන එන්නෙ අඩු ම තරමෙ චෝදනාවක්වත් නැතුව. චමීර සහෝදරයත් එහෙමයි. එක ම දේ ඔවුන් උද්ඝෝෂණයට සහභාගී වුණා. එච්චරයි! උද්ඝෝෂණයකට සහභාගී වීම වරදක් ද? මාස තුනක් සිරගත වෙන්න තරම්? උසාවියෙන් දිගින් දිගට ම ඇප ප්‍රතික්ෂේප කරන්න තරම්? ආණ්ඩුව කරන්නෙ දේශපාලන පළිගැනීම්. පොලීසිය, බන්ධනාගාර, අධිකරණය මේ හැම එකක් ම ඒ වෙනුවෙන් පාවිච්චි කරමින් ඉන්නවා. සරත් වීරසේකර ⁣පොලිස් ඇමතිගෙ, දේශබන්දු තෙන්නකෝන් වගේ ආණ්ඩු ගැති නිලධාරීන්ගෙ ප්‍රකාශවලින්, හැසිරීම්වලින් ඒ බව ඕනෑවටත් වැඩිය තහවුරු වෙනවා.

අගෝ. 6 පාන්දර මාව අත්අඩංගුවට අරගෙන තලංගම පොලීසියට ගියා. එතනදී කට උත්තරය ලබා දෙන අතරතුර දුරකතනය හරහා දේශබන්දු තෙන්නකෝන් තලංගම පොලිස් ස්ථානාධිපතිට කතා කරා. ඔහු ලවා මගේ අතට ⁣දුරකතනය දීල දේශබන්දු තෙන්නකෝන් “මේ පාර නම් තොපි එකෙක්වත් අතාරින්නෙ නෑ. ඔක්කෝට ම කෙළවලා ම දානවා. තොපි රඟනවා වැඩියි, පරිස්සමෙන් හිටපියව්,” කිව්වා. මේ බව මම බොහො ම වගකීමෙන් කියන්නේ. දේශබන්දු තෙන්නකෝන් දුරකතනය හරහා එහෙම තර්ජනය කරා. ඔන්න ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනර⁣ජයෙ පොලීසිය. ඒ නිසා මේ අත්අඩංගුවට ගැනීම් බොහොම සැලසුම්සහගතව කරපු ඒව බව තහවුරුයි. අන්තිමේදි දේශබන්දු තෙන්නකෝන් කරපු තර්ජනයේ අර්ථය අපිට තේරුණා බන්ධනාගාරය තුළදී. නිරෝධායනය කරන්න කියල මමයි, චමීර සහ අමිල සහෝදරවරු බදුල්ලෙ තල්දෙන බන්ධනාගාරයට අරන් ගියා. නිරෝධායන මධ්‍යස්ථානයක් කියපු තල්දෙන බන්ධනාගාරයේ අපිත් එක්ක කිටි කිටියේ තද වෙලා එක ම වාට්ටුවක ඔක්කො ම පිරිස 180ක් විතර හිටියා. නමුත් ඉඩ තිබ්බෙ හැටකට විතර ඉන්න. අන්තිමේදි නිරෝගීව ඇතුළට ආපු අපි මේ ඊනියා නිරෝධායන මධ්‍යස්ථානයේදී කොවිඩ් රෝගීන් බවට පත් වුණා. අපිට කොවිඩ් බෝ කරා. හැටක් ඉන්න පුළුවන් තැනක දෙසීයකට ආසන්න පිරිසක් දාලා හිර කරලා හිටිය ම වසංගතයක් පැතිරෙන එක වළක්වන්නෙ කොහොම ද? මේ එකසිය අසූවෙන් අපිත් ඇතුළුව එකසිය විස්සකට අගෝ. 22 විතර පී.සී.ආර්. කරා. ඒකෙන් අසූ ගාණක් පොසිටිව්. මුලින් ප්‍රතිකාර මොකවත් ලබා දුන්නෙත් නෑ. ඔහේ ඉන්නං වාලෙ ඉන්න වුණා. මාස්ක් එකක්වත් නැතුව. අන්තිමේදි අපි තුන්දෙනා විතරක් ප්‍රතිකාර කරන්න කියලා මඩකලපුවේ ඉයක්කච්චි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට අරගෙන ගියා. ඒක වුණෙත් එළියෙ ඉඳන් අපේ සහෝදරවරු, ආචාර්යවරු, වෘත්තීය සමිති නගපු හඬ නිසා. ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි, සටන් ක්‍රියාමාර්ග හරහා එළියෙන් ආණ්ඩුවට කරපු බලපෑම් නිසා අපි තුන්දෙනාව ප්‍රතිකාර කරන්න අරගෙන ගියා. එතකොට අපිත් එක්ක එකට හිටපු අනිත් මිනිස්සු? ඒ මිනිස්සු නෙමෙයි ද? එයාලට ප්‍රතිකාර ඕනි නැද්ද? අපි දන්නෑ ඔවුන්ට සිද්ධ වුණේ මොකක් ද කියලවත්. සමහර විට ජීවිත ත් නැතිවෙන්න ඇති. මේක මිනී මරන අලුත් ක්‍රමයක්. වසංගතේ තියෙනකම් ආණ්ඩුවට බන්ධනාගාර රැඳවියෝ ආයෙත් ආයුධ පෙන්නන්න අරගෙන යන්න ඕනි නෑ. එක වෛද්‍ය වාර්තාවක් ඇති. ඉයක්කච්චිවල අපිව තියාගත්තෙ සතියයි. ඊට පස්සෙ ආයෙත් CRP බන්ධනාගාරයට ගෙනාවා. ලෝකෙ අනිත් රටවල් වසංගතය එද්දි බන්ධනාගාර හිස් කරා. ජීවිත ආරක්ෂා කරගන්න රැඳවියන් නිදහස් කරා. ඒකට අපේ රටේ. CRP බන්ධනාගාරයේ 100ක් දාන්න පුළුවන් වාට්ටුවක දෙසීයක් විතර ගාල් කරලා තියෙනවා.

පැත්ත හරවලා එකිනෙකාට හේත්තු කරවලා සැමන් පැක් කරනවා වගේ රෑට නිදි කරවන්නෙ. වැසිකිළිය උඩත් ලෑල්ලක් තියලා දෙන්නෙක් නිදා ගන්නවා. මිනිස්සු මෙහෙම කූඩු කරගෙන ඉන්නෙ මොකට ද? සමහරු ඉන්නවා රුපියල් දාහක දෙදාහක දඩයක් ගෙවාගන්න බැරුව රිමාන්ඩ් වෙලා. අපේ තාත්තලා, සීයලා වගේ වයසක මිනිස්සු මේක ඇතුළෙ මාස්ක් එකක්වත් නැතුව, කිසි ම ආරක්ෂාවක් නැතුව ගාල් කරගෙන ඉන්නවා. වසංගතය ආපු අලුත මහර බන්ධනාගාරයේ රැඳවියෝ පී.සී.ආර්. කරන්න කියල උද්ඝෝෂණය කරේ නිකම් නෙමෙයි. මේව අස්සෙ බලාගෙන ඉද්දි ජීවිත පරවෙලා යනවා. බන්ධනාගාර රෝහලේ ඉඩකඩ නෑ. මේකට නම් රෝහලක් කියල කියන්නවත් බෑ. ලොකු ලොක්කොන්ට විතරක් උපරිම සැපට වෙන ම කාමරවල ටීවී, රේඩියෝ තියාගෙන ඒක අස්සෙ ඉන්න පුළුවන්. සාමාන්‍ය පන්තියේ මිනිස්සුන්ට පැන්ඩෝල් පෙත්තක් දෙන්නෙත් දහ අතේ බැණ අඬගහලා. මෙහෙම කරන්නෙ මොකටද? ⁣මේ බන්ධනාගාරෙ ඉන්නෙ රිමාන්ඩ් කරපු සැකකරුවෝ. තව ම වැරදිකරු⁣වන් නොවුණු අය. අපි දැක්කා පහුගිය දවස්වල වැරදිකරුවො වෙච්ච, මරණ දණ්ඩණය පවා නියම වෙලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහා පරිමාණ ජාවාරම්කාරයෝ ජනාධිපති සමාවෙන් නිදහස් වෙලා ගියපු හැටි. අපි මොකක් ද කරේ? හොඳ ම විහිළුව කියන්නෙ දිවි නැගුම සල්ලි හොරා නිදොස් කොට නිදහස් වෙද්දි අපි පස් දෙනෙක් මාස තුනක් තිස්සෙ හිරකරගෙන ඉන්නෙ පොදු දේපළ පනත යටතෙ චෝදනා ගොනු කරලා. පොදු දේපළ! පාර්ලිමේන්තු පිවිසුම ළඟ තිබ්බ විරෝධතාවෙදි කාඩ්⁣බෝඩ් මිනී පෙට්ටි ආකෘතියකට ගිනි තැබීම තමයි චෝදනාව. ඒකෙන් පාරට එක්ලක්ෂ හැත්තෑ දාහක හානියක් වුණා ලු. බැරියර් තල්ලු කරපු නිසා ඒවට තිස්දාහක හානියක් වුණා ලු. අර තඩි යකඩ බැරියර් මිනිහෙක්ගෙ අතකින් තල්ලු කරා ම ඒවට හානි වෙන්නෙ කොහොම ද? වාහනයක් ගිනි ගත්තත් එතරම් හානි වෙන්නෙ නැති පාරක කාඩ්⁣බෝඩ් පෙට්ටියක් ගිනි තිබ්බ ම මේ තරම් හානියක් වුණේ කොහොම ද? පාර්ලිමේන්තුවට යන පාර හැදුවෙ කාඩ්⁣බෝඩ් එකක් ගිනිගත්තමත් විනාශ වෙලා යන විදිහට ද? කොහොම හරි කඩුවෙල උසාවිය දිගින් දිගට ම කාඩ්⁣බෝඩ් පෙට්ටියක් පිළිස්සීමේ අලාභය පිරිමහගන්න අපිව හිරගත කරගෙන ඉන්නවා. දේශබන්දු තෙන්නකෝන් දුරකතයෙන් කියපු දේවලුයි, සරත් වීරසේකර ජෝසප් ස්ටාර්ලින් සහෝදරයා අත්අඩංගුවට ගත්ත විදිහ ගැන මාධ්‍ය ඉස්සරහ පාරම්බාපු විදිහයි අපිට නඩු දිනයට අනිවාර්යයෙන් ම මතකයට එනවා. සමහර විට ⁣දේශබන්දු තෙන්නකෝන් කියපු විදිහට හොඳට ම කෙළවන්නෙ මෙහෙම වෙන්න ඇති.

ආණ්ඩුව නැවත වටයකින් කොතලාවල පනත අරගෙන එයි. හැබැයි අපි ඒක සම්මත කරගන්න නම් ඉඩ දෙන්නෙ නෑ. අන්න ඒ නිසා තමයි ශිෂ්‍ය ව්‍යාපාරය පොඩිපට්ටම් කිරීමේ තදියම් උවමනාවක් ආණ්ඩුවට ඇවිල්ලා තියෙන්නෙ. සටන් කරලා ජයගන්න පුළුවන් කියන විශ්වාසය, ආශ්වාදය සමාජය තුළ ගොඩනගන්න සමත් වෙච්ච, අනෙකුත් බොහෝ අරගල අවුලවාලන්න සමත් වෙච්ච ශිෂ්‍ය ව්‍යාපාරය මහපොළොවෙන් අතුගාලා දාන්න ආණ්ඩුවට ඕනෑ වෙලා. අපිව සිරගත කරලා මාස ගණන් තියාගෙන ඉන්නෙත්, සිසුජන ව්‍යාපාරය එක්ක අත්වැල් බැඳගත්ත අනෙකුත් සහෝදරවරු, සහෝදරියො පිටිපස්සෙ රැයක් දවාලක් නැතුව ලුහුබඳිනනෙත් ඒ නිසා. කොතලාවල පනතට එරෙහි අරගලයට සමාන්තරව ම පැන නැගුණු අනෙක් ප්‍රබල ම අරගලය තමයි ගුරු විදුහල්පතිවරුන්ගේ අරගලය.

ගුරු විදුහල්පති අරගලයේ ජයග්‍රහණය මේ මොහොතේ සමාජයට අත්‍යවශ්‍යයි. සටන් කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් කියන තහවුරුව සමාජයට තව තවත් ලබාදිය යුතුයි. ඒ නිසා විශාල සටන්කාමීත්වයක්, විශාල සහභාගීත්වයක් තියෙන ගුරු විදුහල්පති අරගලය අවසන් ජයග්‍රහණයක් දක්වා රැගෙන යාමට ශිෂ්‍ය ව්‍යාපාරය කොන්දේසි විරහිතව සහයෝගව ලබාදෙනවා. කොතලාවල පනතට එරෙහි අරගලය, ගුරු විදුහල්පති අරගලය, මර්දනයට එරෙහි අරගලය ඇතුළු අයිතීන් වෙනුවෙන් කෙරෙන සියලු ජනතා අරගල ජයග්‍රහණය දක්වා මෙහෙයවමු. ඒ සඳහා එකතු වෙමු. සංවිධානය වෙමු. උපරිම ශක්තිය මුහු කරමින් ජයග්‍රහණයේ ආශ්වාදය සමාජයේ තහවුරු කරමු. ජය!

මම, වසන්ත මුදලිගේ,

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට”

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *