Type to search

ඉස්ලාම් දහම ලොවට දායාද කළ නබි නායකතුමා – මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ලොව පුරා ජීවත් වන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාව පිළිපදිනු ලබන ඉස්ලාම් ධර්මය මෙලොව පරිපූර්ණ කර දුන් ශාන්තිනායක මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය (19) යෙදී තිබේ. මෙම දිනයේ විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.

ඉස්ලාම් ධර්මය පරිපූර්ණ කරනු ලැබුවේ මුහම්මද් නබිතුමාණන් වුවද ඉස්ලාම් ධර්මය ලොව බිහි වූයේ ඉස්ලාමීය විශ්වාසවලට අනුව ලොව මුල්ම මිනිසා වූ ආදම් නබිතුමාගෙනි. මුස්ලිම්වරුන් විශ්වාස කරන අල්ලාහ් දෙවියන් වහන්සේගේ ලොව මුල්ම මිනිසා ලෙස ආදම්තුමන් මෙලොවට බිහි කරනු ලැබුවේ නබිවරයකු ලෙස වීමත් ඉස්ලාමය තුළ පවතින සුවිශේෂත්වයකි. ආදම්තුමන්ගේ ඉල ඇටවලින් හව්වා තුමියා මවා මෙලොව මානව ව්‍යාප්තිය දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කළ බවද ඉස්ලාමයේ සඳහන් වෙයි.

නබි ආදම් තුමන්ගෙන් පටන් ගෙන මුහම්මද් නබිතුමන් දක්වා ඒ ඒ කාලවල පැවැති සමාජය යහමඟට ගැනීම සඳහා වක්තෘවරුන් එක් ලක්ෂ විසි හතර දහසක් පැමිණි බව ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් වෙයි. එලෙස පැමිණි වක්තෘවරුන් එක් ලක්ෂ විසි හතර දහසක් අතුරින් විසි පස් දෙනකුගේ නම් ශුද්ධ වූ කුරාණයේ සඳහන් වෙයි. ඒ අතර අවසන් වක්තෘවරයාණන් වන්නේ මුහම්මද් නබිතුමාණන්ය.

ලොව පළමු මිනිසා ලෙස ආදම් නබි තුමන් බිහි වූ දා පටන් වක්තෘවරුන් එක් ලක්ෂ විසි හතර දහසක් මෙලොවට පැමිණ තිබුණද අවසන් නබිවරයාණන් ලෙස මුහම්මද් තුමාණන් මෙලොවට බිහි වන විට අරාබිකර‍යේ ජීවත් වූ මිනිස්සු ම්ලෙච්ඡත්වය කරපින්නා ගත්හ. කලින් කල නබිවරුන් පැමිණ තිබුණත් ඔවුන්ගෙන් වැඩි දෙනකු රටකට, සමාජයකට හෝ පළාතකට පමණක් සීමා වීම නිසා ඔවුන්ට ඒ කාර්යය නිසි ලෙස ඉටු කරන්නට නොහැකි වූ බවත් මුහම්මද් නබි තුමාණන්ගෙන් ඉස්ලාමය පරිපූර්ණ කරන බවත් ඉස්ලාමය කියයි.

මුහම්මද් නබි තුමාණන් මෙලොව එළිය දකින්නේ ක්‍රිස්තු වර්ෂ 570 වසරේදී වත්මන් සෞදි අරාබියේ මක්කා නගරයේදීය. එකල එහි වංශවත් ගෝත්‍රයක් වූ කුරෛෂි කුලයේය. නබි තුමාණන්ගේ පියාණන් අබ්දුල්ලා තුමන් වන අතර නබි තුමන් ඉපදීමටත් පෙර මෙලොව හැර ගියේය. මවුතුමිය වූ ආමිනා තුමිය නබි තුමාට වයස අවුරුදු හයේදී මෙලොව හැර ගියාය. එතැන් පටන් සිය මුත්තනුවන් වූ අබු තාලිබ් තුමා ළඟ කුඩා මුහම්මද‍් හැදී වැඩෙන්ට විය. නබි තුමාණෝ සිය කුඩා කාලයේ පටන්ම එළුවන් බැලීමේ එඬේර ජීවිතයක් ගත කළ අතර පසුව මක්කාවේ සිට අසල්වැසි රටවලට ගොස් ගැල් වෙළඳාමේ යෙදුනහ. වෙළඳ කටයුතුවලදී ශූරත්වයක් පෙන්නූ තරුණ මුහම්මද් සිය 25 වැනි වියේදී තමන්ට වඩා වයසින් අවුරුදු 15 ක් වැඩිමහල් වූ කදීජා තුමිය සමඟ විවාහ විය. ව්‍යාපාරයේදී එතුමා තුළ තිබූ අවංකභාවය සහ විශ්වාසවන්තකම නිසාම එතුමන්හට අල් අමීන් යන නමද එකල පට බැඳ තිබිණ. එහි තේරුම වන්නේ විශ්වාසවන්තයා යන්නයි.

මෙම කාලයේ මුහම්මද් තුමාණන්ගේ ජීවිතයේ යම් යම් වෙනස් කම් සිදු වන බව කදීජා තුමිය නිරන්තරයෙන් දැක තිබූ අතර එය කුමක් හෝ අසනීපයක් දැයි ඇය අසා ඇති වාර බොහෝය.

සිය තරුණ කාලයේදීම මක්කා නගරයට තරමක දුරින් කඳු වළල්ලෙන් වටව පිහිටා ඇති හිරා නම් ගුහාවකට ගොස් තනිවම යාච්ඤා කිරීම නබි තුමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්ව තිබිණ. මිනිස් වාසයකික් තොර පාළු වී ගිය එම ගුහාවට වී දෙවියන් ගැනත් දෙවියන්ගේ මැවීම් ගැනත් නිරත්තරයෙන් මෙනෙහි කිරීම මුහම්මද් තුමාණන්ගේ පුරුද්ද වී තිබිණ. මෙලෙස යාච්ඤාවේ නියැළී සිටියදී එක් දිනයක ජිබ්රීල් නම් වන දේව දූතයාණන් එම ස්ථානයට පැමිණ මුහම්මද් තුමා ඉදිරියේ පෙනී සිට ‘මුහම්මද් කියවන්න’ යැයි කීය. කිසිදු අධ්‍යාපනයක් ලබා නොසිටි මුහම්මද්තුමාණෝ ‘මා කෙසේ කියවන්නද මම කිසිවක් ඉගෙන ගෙන නෑනේ’ යැයි කීහ. එවිට දේව දූතයා දෙවියන්ගේ නාමයෙන් කියවන්න යැයි නැවතත් කීය. එවිට මුහම්මද් තුමාණෝ දේව දූතයාණන් කී පරිදි කීහ. ශුද්ධ වූ අල් කුරාණය බිහි වීම එලෙස ආරම්භ වූ අතර එය මෙලොවට පහළ වූ ශුද්ධ වූ කුරාණයේ මුල්ම වැකියයි. (ඉක්රහ් නමින් ආරම්භ වේ)

මෙම සිද්ධියෙන් බියට පත්ව ඉක්මනින් නිවසට දිව ගිය මුහම්මද්තුමාණෝ සිය භාර්යාව වූ කදීජා තුමියට මේ ආශ්චර්යය ගැන කීහ. ඇය තම ඥාතියකු වන වයෝවෘද්ධ විද්වතෙකු වෙත මුහම්මද් තුමන් කැඳවාගෙන ගොස් සිදු වූ සියල්ල ප්‍රකාශ කර සිදුවී ඇත්තේ කුමක්දැයි විමසා සිටියාය. ඉපැරැණි ආගම් ගැන හොඳ දැනුමකින් යුත් එම වයෝවෘද්ධ විද්වතා ඔබ වෙත පැමිණ ඇත්තේ ජිබ්රීල් නම් දේවදූතයා බවත් දෙවියන් වහන්සේ ඔබව වක්තෘවරයකු (නබිවරයකු) වශයෙන් පිළි ගෙන ඇති බවත් පැවසුවේය.

මුහම්මද් තුමාණන්ගේ ජීවිතයේ 40 වැනි වියේදී සිදු වූ මෙම සිදුවීමෙන් පටන් එතුමන් මෙලොව හැර ගිය එතුමන්ගේ 63 වන විය දක්වා වූ වසර 23 ක කාලයක් සිය ආගමික මෙහෙය ඉටු කළේය. අනේකවිධ දුක්ඛ දෝමනස්සවලට මුහුණ දුන් එම කාලය තුළ ම්ලේච්ඡත්වයෙන් පිරී තිබූ අරාබිකරයේ සමාජ ක්‍රමය යහපත් ලෙස නිර්මාණය කිරීමට සමත් වූහ. ලොව පුරා වෙසෙන සියලු‍ ජනතාව අතර සාමයේ පණිවිඩය රැගෙන ගියහ. ඉස්ලාම් ධර්මය අරාබි කරය තුළ ප්‍රචලිත කිරීමේදී සිය පවුලේම ඥාතීන් වන පිරිසක් ඇතුළු කණ්ඩායමක් නබි තුමාට එරෙහි වූ අතර විවිධ තාඩන පීඩනද ඇති කළහ. ඒ වන විටත් ඉස්ලාමය පිළිගත් පිරිස ඉතා අල්ප වුවද දෙවියන් වහන්සේගේ උපකාරය නිරන්තරයෙන් එතුමන්ට ලැබිණ. එසේ සිටියදී දෙවියන්ගේම දැනුම් දීමක් අනුව නබි තුමා ඇතුළු පිරිස මක්කාව හැර මදීනාවට පිටත්ව යාමට කටයුතු කළ අතර එය හිජ්රත් ගමන ලෙස සඳහන් වෙයි. ඉස්ලාමීය වර්ෂ ක්‍රමය ආම්භවන්නේ මෙතැන් සිට වන අතර එම ගමන ඉස්ලාමීය ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක්ද වෙයි.

වසර 23 ක් පුරා වරින් වර ශුද්ධ වූ කුරාණය දෙවියන් වහන්සේ විසින් වහී මගින් නබි ජිබ්රීල් නම් වන දේවදූතයන් හරහා නබි තුමා වෙත ලබා දුන් අතර එතුමන්ගේ කාලයේදී ඉස්ලාමය පරිපූර්ණ විය. මුහම්මද් නබි තුමාණන්ගෙන් පසුව කිසිදු වක්තෘවරයකු නොපැමිණෙන බවත් ඉන් පසුව එන සමාජය සඳහා මඟපෙන්වීමට ශුද්ධ වූ කුරාණය පවතින බවත් නබි තුමාණෝ සඳහන් කළහ.

අල්ලාහ් දෙවියන් වහන්සේ මුහම්මද් නබි තුමාණන් මගින් මෙලොව පරිපූර්ණත්වයට පත් කළ ධර්මය මෙම ඉස්ලාම් ධර්මය වෙයි. ඉස්ලාම් ධර්මය ඇදහීම ඕනෑම මුස්ලිම්වරයකුට ඉතාම සරලව සිදු කළ හැකිය. ඉස්ලාමයේ අනිවාර්ය වගකීම් පහක් සඳහන් වන අතර එයින් දෙකක් යමක් කමක් ඇති පිරිසට සීමා වෙයි. අනෙක් වගකීම් තුන සියලු‍ දෙනාට අනිවාර්ය වෙයි. මෙම වගකීම් පහෙන් පළමු වැන්න අල්ලාහ් දෙවියන් වහන්සේ සහ මුහම්මද් නබිතුමන් ගැන විශ්වාස කිරීමයි. පස්වේල් සලාතය ඉටු කිරීම, රමළාන් මාසයේ උපවාසව රැකීම, සියයට දෙක හමාරක දුගී බද්ද ගෙවීම සහ හජ් වන්දනය ඉටු කිරීම එම වගකීම් පහයි. මෙම වගකීම්වලින් දුගී බද්ද ගෙවීම සහ හජ් වන්දනය කිරීම සඳහා මක්කමට යාම ඒ සඳහා ප්‍රමාණවත් ධනය ඇති අයට පමණක් සීමා වෙයි. අල්ලාහ් දෙවියන්වහන්සේ සහ මුහම්මද් නබිතුමා විශ්වාස කිරීම, පස් වේල් සලාතය ඉටු කිරීම සහ රමළාන් මාසයේදී උපවාස රැකීම සියලු‍ දෙනාටම අනිවාර්ය වන අතර අසනීප තත්ත්වය මත ඒ සඳහා ද සහන ලබා දී තිබේ.

ලොව පුරා ජීවත් වන මුස්ලිම් බැතිමතුන්ගේ ජීවිතය හැඩගැසී ඇත්තේ ශුද්ධ කුරාණය මගින් දෙවියන් වහන්සේ විසින් ලබා දුන් මාර්ගෝපදේශ සහ නබි මුහම්මද් තුමාණන්ගේ ජීවතය අනුවයි. මෙලොව මිනිසකු උපන් දා සිට මිය යන තුරුම ජීවත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව නබි තුමාණෝ සිය ජීවිතය තුළින් ජීවත් වී පෙන්වා දුන්හ. ඉතා කුඩා දිළිඳු නිවසක ජීවත් වූ එතුමාණෝ දුගී ජනතාවට දන් දීමේදී තමන්ගේ ආහාරයට තිබූ රොටී කබැල්ල බඩගිනියි කියා පැමිණෙන වෙනත් පුද්ගලයකුට ලබා දී නිරාහාරව සිටියහ. ඉතාමත්ම දුප්පත් ජීවිතයක් නබිතුමන් ගත කළේය. එවන් දුෂ්කර ජීවිතයක් ගත කළ නබිතුමාණෝ අද ලොව දෙවන විශාලම ධර්මය බවට පත්ව ඇති ඉස්ලාම් ධර්මය පරිපූර්ණ කර ලොවට දායාද කළහ. නබි තුමාණන්ගේ දේශනාවන් එක් ජාතියකට, රටකට හෝ දේශයකට පමණක් සීමා වූවක් නොවේ. ලොව ඕනෑම තැනක ජීවත් වන මිනිසුනට ඉස්ලාම් දහම මනාව පිළිපැදිය හැකි ආකාරයේ දේශනාවන් මෙන්ම නීති රීතිද එහි දැක්වෙයි.
තමන්ගේ සාමය වෙනුවෙන් ඇති කර ගනු ලැබූ ගිවිසුම් මගින් තමන්ගේ අයිතිවාසිකම් අත් හැර ගැනීමට පවා නබිතුමාණෝ පියවර ගත්හ.

සටහන- මොහොමඩ් ආසික්

– lankadeepa

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *