ගුරු- විදුහල්පති අරගලයට ආණ්ඩුව විසින් විසඳුම නොදී හෑල්ලුවට ලක් කිරීමේ උත්සාහය FUTA හෙළා දකී

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අරගලය විසඳුමකින් තොරව දිනෙන් දින ගැඹුරු වන අර්බුදයක් බවට පරිවර්තනය වන අන්දම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) දැඩි කලකිරීමෙන් යුතුව නිරීක්ෂණය කරයි. අධ්‍යාපන ‌ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතියක් ලෙස‚ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන අපි‚ දින 90 ක් තිස්සේ ඇදී යමින් රටේ සමස්ත ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන අංශ අනතුරේ හෙළන තර්ජනයක් බවට පත්වී ඇති මෙම ගැටලුවට සද්භාවයෙන් මැදිහත් වී සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු. මේ මොහොතේ රජය උත්සාහ දරන්නේ බිය ගැන්වීම් සහ අවස්ථාවාදී තෙවන පාර්ශවයන්ගේ මැදිහත් වීම් වැනි වංචනික උපක්‍රම තුළින් ගුරු විදුහල්පති අරගලයේ බලය බිඳ දැමීමටයි. තම සාධාරණ ඉල්ලීම් දිනා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක යෙදෙන ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට තර්ජනය කරමින් මහජන ආරක්‍ෂක ඇමතිවරයා කළ ප්‍රකාශය ගැන අපි පුදුමයට පත් වන්නෙමු. අදාළ ඇමතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වන බවක් පෙනෙන්නට තිබෙන අතර‚ මහජන ආරක්‍ෂාව සැලසීම යන්නෙහි අදහස අධික බලය යෙදවීම මගින් නීති රීති වලට අනුගත වීම සඳහා ජනතාවට බල කිරීම යැයි විශ්වාස කරන අයෙකු බව ද පෙනේ. විධිමත් අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන් පුද්ගලයෙකු තුළ ඇතිවිය හැකි පණ්ඩිතමාණී චින්තනය හා හැසිරීම් රටාව පිළිබඳව ඔහු හොඳම උදාහරණයකි. මෙරට අධ්‍යාපන ක්‍රමය ආරක්‍ෂා කිරීම හා සංවර්ධනය කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍යව ඇත්තේ මෙබඳු නිශ්චිත හේතු නිසාවෙනි.

ගුරු-විදුහල්පති අරගලය දියාරු කිරීමට හා හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ ගන්නා වංක අරමුණු සහිත සමහර තෙවැනි පාර්ශව මැදිහත්කරුවන් රජය විසින් භාවිතා කරන අන්දම ද දැඩි කලකිරීමකින් යුතුව අපි නිරීක්ෂණය කරමු. මෙම ගැටලුව සම්බන්ධයෙන් වූ රජයේ ප්‍රවේශය වී ඇත්තේ එක් පසෙකින් විසඳුම් සෙවීම සඳහා සාකච්ඡා පවත්වන බව මවා පාන අතර සහ අනෙක් පැත්තෙන් රජය ඉදිරිපත් කරන අර්ධ විසඳුම් පිලි ගැනීම ප්‍රතික්ෂේප කරන ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නිලධාරීන් වෙත තර්ජනය කිරීම් සහ බිය ගැන්වීම් සිදු කරමින් අනුගමනය කරන්නා වූ‚ හොඳ පොලිස් නිලධාරියා සහ නරක පොලිස් නිලධාරියා පිළිබඳ කතාව සිහි ගන්වන අන්දමේ දෙබිඩි පිළිවෙතක් බව පෙනේ. 2012 විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයේදී ද එවැනි ම තත්වයක් ඇති වූ බව අපි රජයට මතක් කර දෙන්නෙමු.

එදා ‘සියයට හයේ’ ඉල්ලීම තුළින් අප අපේක්ෂා කළේ විශ්වවිද්‍යාලවලට කුසලතාපූර්ණ උපාධිධාරීන් බඳවා ගෙන ඔවුන් පද්ධතිය තුළ රඳවා තබා ගැනීමටත් ඒ සමඟම සමස්ත අධ්‍යාපන ක්‍ෂේත්‍රයම නඟා සිටුවීමටත් හැකි වටපිටාවක් නිර්‍මාණය කිරීමය. ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වර්තමාන අරගලය පිළිබඳව රජය පටු දෘෂ්ඨි කෝණයකින් කටයුතු කර යහපත් හා පිළිගත හැකි විසඳුමක් ලබා නොදී එය කඩාකප්පල් කර දැමීමට උත්සාහ කළ හොත් එය අභිමානවත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපන ක්‍ෂේත්‍රයට මළ බෙර වැයීමක් වනු ඇත. මෙය ‘සෞභාග්‍යයේ දැක්ම’ පොරොන්දු වී බලයට පත් වූ රජයක් වන අතර ගුරුවරුන් ඇතුළු බොහෝ රාජ්‍ය සේවකයෝ තමන්ට ගෞරව බහුමානයෙන් යුතුව සලකනු ඇතැයි විශ්වාස කරමින් මේ රජයට සහයෝගය දුන්හ. එබැවින්‚ ශ්‍රී ලාංකීය සමාජයේ සෑම කොටසක් විසින්ම පාහේ සාධාරණ බවට පිළිගෙන ඇති මෙම ඓතිහාසික වෘත්තීය අරගලයට සංවේදීව හා අවබෝධයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීම මෙම රජය සතු වගකීමකි. ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට තර්ජනය කිරීමේ හා රැවටීමේ පිළිවෙතින් වහාම ඉවත් වී ඔවුන්ගේ දිගු කාලීන වෘත්තීය ඉල්ලීම් සඳහා සාධාරණ හා පිළිගත හැකි විසඳුමක් ලබා දීම සඳහා වූ ඵලදායි සාකච්ඡාවකට එළඹෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *