(Video) රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ නම් කැබිනට් එකක් මොකටද

“අද ආණ්ඩුවක් නැහැ. පාලනයක් නැහැ. ගෑස් ලිපට දාන්න වෙන්නේ දර තමයි. මේකෙන් වැඩියෙන්ම ලාභ ලබන්නේ කොම්පැනිකාරයෝ. හාල් මිල තීරණය කරන්නේ මෝල් හිමියෝ නම් ආණ්ඩුවක් මොකටද? අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ නම් කැබිනට් එකක් මොකටද? ජනතාවගේ බදු මුදල්වලින් කැබිනට් එකක් නඩත්තු කරන්නේ අපරාදේ. ආණ්ඩුව දැන් සියලුම අංශවල පාලනය අත්හැරලා තියෙන්නේ. මිල පාලනය, රජයේ දේපළවල අයිතිය, ජනතාව පිළිබඳ වගකීම් යන සියල්ලම අත්හැරලා තියෙන්නේ. මේ නිසා කැබිනට් එකක්, ආණ්ඩුවක් තියෙන්නේ මොකටද? ජනතාව පීඩාවට පත්වීමේදී එයින් මුදා ගන්නයි ආණ්ඩුවක් තියෙන්නේ. ආණ්ඩුව ඒ වගකීම මුළුමනින්ම අයින්වෙලා ඉන්නේ. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පැන්ඩෝරාවල ඩොලර් හංඟමින් ඉන්නේ. පසුගිය කාලයේ කළ හොකම් දූෂණ මිනීමැරුම්වලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා ආණ්ඩුව කල්පනා කරන්නේ.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ දින( 11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්

“මේ ආණ්ඩුව පැයෙන් පැය බඩු මිල වැඩි කරමින් තිබෙනවා. මේ නිසා ජනතාව දරා ගන්න බැරි පීඩාවකින් ඉන්නේ. රටේ පාලකයෙක්, ආණ්ඩුවක් නැති තත්වයක් තියෙන්නේ. මේ නිසා මෝල් හිමියන් සහ කොම්පැනිකාරයෝ භාණ්ඩ මිල තීරණය කරනවා. යුද හමුදාවට අවුරුදු 72ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා කළ කතාව අපි දැක්කා. එහිදී එතුමා පැහැදිලිව කීවේ මීට අවුරුදු දෙකකට කලින් රටේ ජනතාවට දුන් පොරොන්දු මතකයි කියලා. 2019 ජනාධිපතිවරණ වේදිකාවේදී පොහොර නිකන් දෙනවා, සහන මිලට බඩු මල්ලක් දෙනවා, ගෑස්වලට රුපියල් 100ක සහනයක් දෙනවා කියා කිව්වා. අනිකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට සහන පැකේජ් එකක් දෙනවා කියලා වේදිකාවල බෙරිහන් දුන්නා. නමුත් අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා, රුපියල දැන් මස්ත බාල්දු වෙලා. ඩොලර් හිඟයක් ඇති වෙලා. නිෂ්පාදන කඩා වැටිලා වගේම ජනාධිපතිවරයා ගත් ඔලමොට්ටල තීන්දුව නිසා ගොවියා මුළුමනින්ම බිමටම වැටිලා. කෘෂි කර්මාන්තය මුළුමනින්ම අර්බුදයට ගිහින් හෙට අනිද්දා දැවැන්ත ආහාර හිඟයක් ඇතිවීමේ පෙර ලකුණු තිබෙනවා.”

“ඉන්ධන මිල වැඩිකළ වෙලාවේ පිහිට වූ ස්ථායිකරණ අරමුදල පිළිබඳව ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල කොච්චර වැඩි වුණත් අපේ රටේ මිල වැඩි නොකරන්න කටයුතු කිරීමේ රුපියල් කෝටි 20,000ක ස්ථායිකරණ අරමුදලක් පිහිටුවන බව කිව්වා. අන්තිමට ස්ථායිකරණ අරමුදල කොල්ලකෑවා විතරයි. ජනතාව ණයට තෙල් ගහන්නේ නැහැ. නමුත් දැන් ඒ බර ජනතාව මත පටවලා තියෙන්නේ. ඒ වගේම ඩීසල් රුපියල් 32/-කින් සහ පෙට්‍රල් 14/-කින් වැඩි කරන්න ලෑස්ති වෙනවා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති හැටියට පත්වෙන කොට ආණ්ඩුවේ අයම කයිවාරු ගැහුවේ රටේ ආර්ථිකය හදලා අරගෙන සෞභාග්‍ය උදාකර සුරපුරයක් කරන බවයි. බැසිල්ගේ පළවෙනි අයවැයෙන් රටේ ආර්ථිකය කෙලින් හිටවන බවට ඊයේ පෙරේදාත් කයිවාරු ගැහුවා. හැබැයි අපි දන්න බැසිල් රාජපක්ෂ කියන්නේ මුදල් විශුද්ධිකරණය පිළිබඳව දැනටත් උසාවිවල නඩු තියෙන කෙනෙක්. මනි ලොන්ඩරින්වලට උසාවියේ නඩු තියෙන කෙනෙක් මුදල් ඇමතිකම දරන එකම රට ලංකාවයි. මේක ගිනස් වාර්තාවක්. එහෙව් මුදල් ඇමති කෙනෙක් පත් කළාම අත්‍යාවශ්‍ය භාණ්ඩ හැම එකකම මිල වැඩිවෙලා තියෙන්නේ.”

“ආණ්ඩුව දැන් තමන්ගේ පාලනය යටතේ තිබෙන සියල්ල අත්හරිමින් යන්නේ මේ වගේ වාතාවරණයක් තුළයි. මහ බැංකුව ට්‍රිලියන දෙකකට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට අච්චු ගසා තිබෙනවා. මේ නිසා රටේ බඩු මිල වේගයෙන් වැඩි වෙනවා. බැංකු පොලී අනුපාත වෙනස් වෙනවා. මේ නිසා නැවත වටයකින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යනවා. නමුත් ලැබෙන වැටුප්, ජනතාවගේ ආදායම් වැඩිවී නැහැ. අනික් පැත්තෙන් එදා ගත් වැටුපම අරගෙන බඩු ගන්න ගියාම එදා ගත් බඩු ටික ගන්න බැහැ. මෙහෙම තියෙද්දී ගෑස් කිරිපිටි පාන්පිටි සිමෙන්ති මිල පාලනයන් ඉවත් කළා. මේක ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඩොලර් ප්‍රශ්නයක් නම් හාල් මිල පාලනය ඉවත් කරන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයා කොයි තරම් කටින් බතල කොළ හිටෙව්වත් හාල් මිල තීරණය කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මෝල් හිමියන්. හාල් මිල තීරණය කරන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ කාටවත් බැරි වුණා. අද වෙන කොට ගෑස් කිරිපිටි පාන්පිටි සිමෙන්ති මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ. තව පැත්තකින් පුරාජේරු ගහපු මහින්දානන්ද අලුත්ගමගේලා ඒ අමාත්‍යංශ්‍යවල ඉන්න තත්වයක් යටතේම හාල් පිටරටින් ගේනවා. මේ ගේන්නේ කාබනික පෝර දාලා වගා කළ අස්වැන්න නොවෙයි.”

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *