රසායනික පොහොර භාවිතය හා ආනයනය තහනම් කිරීමේට එරෙහිව සජබේන් FR පෙත්සමක්

බන්ඩි පොහොර අනිවාර්යයෙන්ම නියමිත පරිදි යෙදීමට පියවර ගන්න - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

බන්ඩි පොහොර අනිවාර්යයෙන්ම නියමිත පරිදි යෙදීමට පියවර ගන්න - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

රසායනික පොහොර භාවිතය හා ආනයනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් එම තීරණය බලරහිත කරන ලෙසත් ඉල්ලමින් සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

ඉකුත් අප්‍රේල් මස කැබිනට් මණ්ඩලය විසින් අදාළ තීරණය ගත් බව එම පෙත්සමේ දැක්වෙයි. 

සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, සමගි ගොවි ජන පෙරමුණ සංවිධානයේ සභාපති හේමකුමාර නානායක්කාර සහ ලේකම් පී. හැරිසන් යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.

එහි වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, එම අමාත්‍යංශයේ ලේකම් උදිත් කේ. විජේසිංහ, ජාතික පෙහොර ලේකම් කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නීතිපතිවරයා නම්කර තිබේ.

පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 27 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාවකට අනුව මෙරටට  රසායනික පොහොර ආනයනය හා භාවිතය තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවරගත් බවය.

මෙරට කාබනික පොහොර භාවිතය නගාසිටුවීමේ අරමුණින් මෙම පියවරගත් බව රජය විසින් ප්‍රකාශ කළේ යැයිද පෙත්සම්කරුවන් සඳහන් කරයි.

කෙසේ වෙතත් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ තීරණය හේතුවෙන් මේ වන විට කෘෂි ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් ගොවීන්ගේ හා වගාකරුවන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඵලදාව පහත වැටී ඇතැයි ද පෙන්වා දී තිබේ.

ඒ අනුව මේ තුළින් ගොවීන්ට දැඩි අගතියක් සිදුවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

කාබනික පොහොර භාවිතය නගාසිටුවීමේ තීරණයට තමන් කිසිසේත්ම විරුද්ධ නොවන බවත් එය සිදුවිය යුත්තේ නිසි වැඩ පිළිවෙලකට අනුව බවද පෙත්සම්කරුවන් සඳහන් කර තිබේ.

ඒ අනුව කාබනික පොහොර භාවිතය හා ආනයනය කිරීම තහනම් කරමින් ඉකුත් අප්‍රේල් මස 27 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරනු ලැබූ යෝජනාව තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම මෙම පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු ඉකුත් අප්‍රේල් මස 27 වනදා අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කරනු ලැබූ යෝජනාව ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත්කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *