Type to search

ලංකාවේ අය තමන් ගෘහස්ථ හිංසනයට ලක්වෙන බව දන්නෙත් නෑ. – ආචාර්ය හරිනි අමරසූරිය

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

“අපේ මිනිසුන්ට තමන් ගෘහස්ථ හිංසනයට ලක් වෙනවද කියන එක ගැන වත් අවබෝධයක් නෑ”

“ලංකාව වගේ රටක ගෘහස්ථ හිංසනය පිළිබඳව එතරම් තැකීමක් කරන්නේ නෑ”

“නිහඬව ඉන්න එකෙන් වෙන්නේ ඔබ තව දුරටත් ගොදුරක් බවට පත් වෙන එක”

ගෝලීයව පැතිර ගිය කොවිඩ් වසංගතයත් සමග, නිරෝධායන, ඇඳිරි නීතිය වැනි කරුණු සාමාන්‍ය තත්වයන් බවට පත් වෙද්දි, මීට පෙර සතියකට පැය කීපයකට සීමා වූ ගෘහ ජීවිතය, මාස ගණනින් දීර්ඝ වෙද්දි, සමාජ ආශ්‍රයකින් තොරවම ඇතමුන් නිවසේ සිටම රාජකාරි කරන තත්වයටත් තවත් පිරිසක් රැකියා විරහිත භාවයටත් පත් වීම සමග, ඒ හා සමානවම ඔවුන්ගේ මානසික තත්වයන්ද බිඳ වැටීමකට ලක් විණි.

කෙසේ වෙතත් වසර දෙකකට ආසන්න මේ කාලය තුළ, ගෘහස්ථ හිංසනය අති විශාල වශයෙන් වැඩි වී ඇති අතර, එය මෙරටට පමණක් පොදු නොවූ ගෝලීය තත්වයක් උවද, ගෘහස්ථ හිංසනය වැනි කාරණා පිළිබඳව එතරම් තැකීමක් නොකරන ශ්‍රී ලංකාව වැනි රටක, වාර්තා වන හා නොවන සිදුවීම් ප්‍රමාණය අති විශාලය.

එවනි තත්වයක් තුළ මෙරට ගෘහස්ථ හිංසය වළක්වීම උදෙසා සිය දායකත්වය සපයන, ඒ වෙනුවෙන් නීති සම්පාදනය කරන ලෙස ඉල්ලමින් සිය හඬ නගන, පාර්ලිමෙන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමග ” කොවිඩ් සමයේ මෙරට ගෘහස්ථ හිංසනය” පිළිබඳව සාකච්ඡාවක නියැලෙන්නට අප විසින් කටයුතු කළ අතර, පහත දැක්වෙන්නේ එම සකච්ඡාවයි.

මොකක්ද මේ ගෘහස්ථ හිංසනය කියන්නේ ?

ගෘහස්ථ හිංසනය පවුල් හිංසනය ලෙසිනුත් හඳුන්වන්න පුළුවන්, මෙතනදි වෙන්නේ තමන්ගේ පවුල තුළ, එහෙම නැත්තම් එකට සිටින සමීපතමයන් අතින් හිංසනයට ලක්වීමට සිදු වීම.

ගොඩක් වෙලාවට මෙතනදි හිංසනයට ලක් වෙන්නේ දුර්වලයා, ඒක බිරිඳම විය යුතූ නෑ, ස්වාමියා, බිරිඳ, දෙමව්පියන්, දරුවෝ මේ සියළු දෙනාම ගෘහස්ථ හිංසනයේ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්.

නමුත් මෙතනදි බලය අඩු පුද්ගලයා වින්දිතයා බවට පත්වෙන නිසා බොහෝ වෙලාවට සිද්ද වෙන්නේ කාන්තාවන්, දරුවන්, රෝගීන් හා වයස්ගත දෙමව්පියන් වැනි අය හිංසනයට ලක් වීම.

ලංකාවේ බහුලවම ගෘහස්ථ හිංසනයන් වාර්තා වන්නේ කුමන තත්වයන් තුළදිද?

ඇත්තටම කියන්න ඕනී, මේක ලංකාවට පමණක් පොදු කාරණයක් නෙවෙයි, ගෘහස්ථ හිංසනය කියන්නේ, ලෝකයටම බලපාලා තියන ගැටළුවක්, නමුත් ලංකාව වගේ රටක ගෘහස්ථ හිංසනය පිළිබඳව එතරම් තැකීමක් කරන්නේ නෑ.

අපි හිතනවා ස්වාමියාගෙන් ගුටියක් කන එක, දෙමව්පියන්ගෙන් ගුටියක් කන එක සාමාන්‍ය දෙයක් කියලා, එහෙම තත්වයකදී ගෘහස්ථ හිංසන සිදුවීම් වාර්තා වෙනවනම් වාර්තා වෙන්නේ, බොහෝ දුරට රෝහලකට, පොලීසියකට යන්න තරම් දරුණු තත්වයකට පත් උණාම,

නමුත් කලාතුරකින් කෙනෙක් හානියක් වෙන්න පෙරම හඳුනාගෙන පැමිණිලි කරන අවස්ථා තියනවා, ඒත් කිව්වා වගේ ඒ වගේ අවස්ථා විරලයි.

කොවිඩ් නිසා ඇත්තටම ලංකාවේ ගෘහස්ථ හිංසනය වැඩි උණාද ?

ඇත්තටම ඔව්, ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම කොවිඩ් නිසා ගෘහස්ථ හිංසනය වැඩි වෙලා තියෙන්නේ, නමුත් ලංකාවේ තත්වය දරුණුයි, මොකද අපේ මිනිසුන්ට තමන් ගෘහස්ථ හිංසනයට ලක් වෙනවද කියන එක ගැන වත් අවබෝධයක් නෑ.

කොවිඩ් පටන් ගත්ත මුල්ම සමයේ ඇඳිරි නීතිය දාපු පළවෙනි සතිය තුළ ලංකාවේ ගෘහස්ථ හිංසනය 33% අගයකින් ඉහළ ගියා. මේ වෙද්දි ඒක ඊට වඩා වැඩි වෙලා තියෙන්නේ.

ගෘහස්ථ හිංසනය වැඩි වීමට හේතුව කුමක්ද ?

ඇත්තටම කොවිඩ් නිසා මිනිසුන්ට ගෙදරට කොටු වෙන්න සිද්ද උණා, ඒත් එක්ක ඔවුන්ගේ සියළු සමාජ සම්බන්ධතා බිඳි ගියා, මේක බොහෝ දෙනාගේ මානසික සෞඛ්‍ය කෙරෙහි බලපෑවා.

ඒකාකාරී ජීවන රටාවක එක දිගටම ඉන්න එක පීඩාවක් බවට පත් උණාම ඒ පීඩනය පිට කළේ තමන්ගේ සමීපතමයන්ගෙන්.

අනිත් කාරණය ආර්ථික අස්ථායි භාවය, කොවිඩ් නිසා බහුතරයකගේ රැකියා අහිමි උණා, තවත් පිරිසකගේ වැටුප් අඩු උණා, එහෙම නැත්තම් ව්‍යාපාර අඩාල උණා, මේත් එක්ක ඇති වෙච්ච පීඩනයත් ගෘහස්ථ හිංසනයට හේතුවක් උණා.

වෙනදට මිතුරෝ එක්ක විනෝද වෙන එක ඇහිරිලා, එක තැනකට කොටු වෙලා, එහෙන් ආර්ථික අපහසුතා මේ හැමදේම එක්ක, මිනිසුන්ට නිතර දෙවෙලේ දකින්න ඉන්න පුද්ගලයින් පවා නුරුස්සන තත්වයක් ඇති වෙලා.

මානසික අසමතුලිත භාවය නිසාම, පීඩනය පිට කරන්න, කෝපය පිට කරන්න තමන්ගේ සමීපතමයෙක් යොදා ගන්නවා.

අනිත් කාරණය මත්පැන්, මේ ඇඳිරි නීති සමය තුළ ඇතැම් මිනිස්සු ගෙදරම සකස් කරගෙන හෝ මත්පැන් බොන්න පුරුදු වෙලා. ඉතිං මත්පැනුත් මේකට තවත් එක් හේතුවක්.

ඉස්සර ස්වාමියා බිරිඳ එකිනෙකා නුරුස්සන කාරණා තිබ්බත්, ඒවා පිටකරන්න වැඩි වෙලාවක් තිබ්බේ නෑ, නමුත් දැන් එකටම ඉද්දි එකිනෙකාගේ අඩුපාඩු වැරදි වැඩියෙන් පෙන්න පටන් ගනන්වා, ඒත් එක්කම එකිනෙකා සමග ඇති අමනාපය තවත් වැඩි වෙලා, අවසානයේ ගැටුම් හටගෙන දුර්වලයා වින්දිතයෙන් බවට පත් වෙනවා.

දරුවන් සම්බන්ධයෙනුත් මේකමයි, දරුවන්ගේ දඟකාරකම් ඉවසන්න බැරි නිසා පහර දෙන්න යොමු වෙනවා.

ආර්ථික අපහසුකම් නිසා ඇති වන පීඩනය නිසා වයස්ගත දෙමව්පියන්ට හිරිහැර කරනවා.

ගෘහස්ථ හිංසනයේ දරුණුම අවස්ථාව කුමක්ද?

ඒක එහෙම කියන්න බෑ, ඇතම් විට මරණය උණත් වෙන්න පුළුවන්, එහෙම සිදු වෙච්ච අවස්ථා තියනවා, ස්වාමියාගෙන් ගුටි කාලා මැරුණු බිරින්දෑවරු, දෙමව්පියන්ගෙන් ගුටි කාලා මැරුණු දරුවෝ එහෙම සිදුවීම් තියනවා.

ඊට අමතරව සදාකාලිකවම බලපාන රෝග ලක්ෂණ වලට, මානසික පීඩනයට ගොදුරු වෙන්න තියන ඉඩ කඩ වැටී.

වයස්ගත දෙමව්පියන් නම් මහමගට වැටෙන අවස්ථා තියනවා.

ගෘසහ්ථ හිංසනය පුද්ගලයෙක්ගේ ශාරීරික සෞඛ්‍යයට වගේම මානසික සෞඛ්‍යයටත් දැඩිව බලපානවා.

ගෘහස්ථ හිංසනයෙන් මිදෙන්න කළ යුතු දේ

මේ දේ කලාම හරියටම ගෘහස්ථ හිංසනය අතුරුදහන් වෙනවා, නැති වෙනවා කියලා කියන්න බෑ. ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්.

සමහර අවස්ථා තියනවා නීතියේ පිහිට පැතුවම තව දුරටත් හිංසනයට ලක් නොකරන.

ඇතැම් විවාහයන් ගෘහස්ථ හිංසනය නිසාම දික්කසාද වෙනවා.

සමහර අවස්ථාවල හිංසනය සිදු කරන පුද්ගලයාට මානසික වෛද්‍ය උපදෙස් ලබා දුන්නම තත්වය සමනය වෙනවා, නමුත් මේකට හරියටම විසඳුම මේකමයි කියන්න බෑ.

නමුත් මතක තියාගන්න ඕනී ගෘහස්ථ හිංසනය කියන්නේ නීතියෙන් දඬුවම් ලැබෙන වරදක්, එය සුළුවෙන් හෝ නොසළකා හැරිය හැකි තත්වයක් නෙවෙයි, හිංසනයට ලක් වෙනවානම් අනිවාර්‍යෙන්ම නිතියේ පිහිට පතන්න අයිතිය තියනවා, වගේම අනිවාර්‍යෙන්ම ඒ දේ සිදු කළ යුතුයි. අනේ ඒ මගේ මහත්තයානේ, නෝනනේ, අම්මනේ, තාත්තනේ, දරුවනේ කියලා නිහඬව ඉන්න එකෙන් වෙන්නේ ඔබ තව දුරටත් ගොදුරක් බවට පත් වෙන එක.

ලංකාවේ ගෘහස්ථ හිංසනයට එරෙහිව නීනි පවතිනවාද ?

ඔව්, ඇත්තටම “2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත” මගින් ඊට අදාළ නිතිමය කටයුතු සිදු වෙනවා.

ඒ අනුව පීඩාවට පත් තැනත්තාට අධිකරණයක පිහිට පැතීමට අයිතිය හිමි වෙනවා.

ඒ වගේම තවත් නොයෙකුත් නීතිමය පදනම් හරහා පීඩාවට පත් තැනැත්තෙකුට පිහිටක් ලබා ගැනීමට මෙන්ම පීඩකයාට එරෙහිව නිතිය ක්‍රියාත්ම කිරීමටත් හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකා රජය විසින් මීට එරෙහිව පියවර අරගෙන තියනවද ?

එතනදි නම් ඇත්තටම , එහෙම ඒ වෙනුවෙන්ම විශේෂයෙන් කිසිඳු පියවරක් අරගන්නට මේ රජය කටයුතු කරලා නෑ, නමුත් මේ කාරණාව සම්බන්ධයෙන් අපි කීප වතාවක්ම පාර්ලිමේන්තුවෙදී අදහස් දැක්වුවා, මේක දැන් රටේ සැලකිය යුතු ප්‍රශ්නයක් බවට පත් වී තියෙන නිසා, නමුත් දැනට නම් එහෙම විශේෂ පියවරක් අරගෙන නෑ.

ගෘහස්ථ හිංසනය වළක්වා ගැනීමට කළ යුතු දේ

මෙතනදි අවශ්‍ය වන්නේ දැනුවත් භාවය, අනිවාර්‍යෙන්ම මිනිසුන්ට මේ ගෘහස්ථ හිංසනය ගැන වගේම, ඒකෙන් ඇති වෙන්න පුළුවන් හානිය ගැනත් කියා දෙන්න ඕනි.

අනිත් කාරණාව අපේ මිනිස්සු ලැජ්ජයි මේක එළිපිට කියන්න, පවුලේ ප්‍රශ්න එළියට දෙන්න, එහෙම එකක් නෑ, ඔබ ගොදුරක් වෙනවා නම් අනිවාර්‍යෙන්ම වාර්තා කරලා ඔබේ ආරක්ෂාව සලසා ගන්න.

හිංසනයට ලක් වෙද්දි කටයුතු කරන්න ඕනි ආකාරය ගැන දැනුවත් කරන්න ඕනි.

අනිත් කාරණය, පුරවැසියන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි.රජයේ රෝහල් වල තියන මිතුරු පියස සායනයෙන් ඕනිම අයෙකුට නොමිලේ මානසික සෞඛ්‍ය උපදේශනය හා ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

අනිත් කාරණය, නීතියේ පිහිට පතන පුද්ගලයෙකුට, තම දැන් ආරක්ෂිතයි කියලා විශ්වාසය ඇති වන විදියට මේ රටේ නිති පද්ධතිය කටයුතු කරන්න ඕනි, හිංසනයට පත් වෙන කෙනෙකුට නිතිය ආරක්ෂා කරන තැන්වලින් නැවත හිංසනයට ලක් කරන එක නැවතෙන්න ඕනි.

දරුවන්ට පවා කියා දෙන්න ඕනී, ගෘහස්ථ හිංසනය ගැන, සහ ඒ වැරැද්දට ලැබෙන දඬුවම් ගැන දැනුවත් කරන්න ඕනි.

ගෘහස්ථ හිංසනය යනු සමාජ සංස්කෘතික තත්වයන්ට මුවා කොට සඟවා තබා ගත යුතු දෙයක් නොවන අතර, ඔබ එහි ගොදුරක් වන්නේ නම්, අනිවාර්‍යෙන්ම ඒ පිළිබඳව නිතීය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කර පිහිට පැතිමේ අයිතිය ඔබට තිබේ.

ඒ අනුව 1923 හා 1929 ඇමතීමෙන්ම මෙන්ම ළඟ ඇති පොලිසිය හා සම්බන්ධ වීමෙන් ඔබට නිතිමය පිහිට ලබා ගත හැකි අතර, මානසික සෞඛ්‍ය උපකාර අවශ්‍ය මොහොතක රජයේ රෝහල්වල ඇති මිතුරු පියස මෙන්ම 1926 රජයේ මානසික සෞඛ්‍ය උපදේශනය ඇමතීමෙන්ද සහය ලබා ගත හැකිය.

– serendibpuwath

Leave a Comment

Your email address will not be published. Required fields are marked *