ත්‍රිකුණාමලයේ සමහර තෙල් ටැංකිවල වතුර පුරෝලා තියෙන්නේ

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 14ක බදු ගිවිසුම තවත් වසර 50කට අලුත් කෙරේ

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 14ක බදු ගිවිසුම තවත් වසර 50කට අලුත් කෙරේ

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝ කාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සුදානම් වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101න් සමන්විතවූ අතර දැන් එයින් ඉතිරිව තිබෙන්නේ ටැංකි 99ක් පමණි.

එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය වෙයි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

2003 දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබීය.

එම ගිවිසුම ප්‍රකාරව, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 35ක කාලයක් සඳහා බදුදීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය සමාගමට පැවරුණි.

එවක පටන් IOC සමාගම භාවිත කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 15ක් පමණක් බව බනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.

2017 වර්ෂයේ මෙම තෙල් ටැංකි සංකිර්ණය පිළිබඳ නව ගිවිසුමක් අත්සන් තැබීමට එවක කැබිනට් අනුමැතියද හිමි වී තිබුණි.

එහි සඳහන්ව තිබුණේ IOC සමාගම යටතේ පවතින ටැංකි 15 දිගටම එම සමාගමට බදු දීමටත්, ටැංකි 10ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීමටත්, ඉතිරි ටැංකි 74 IOC සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම හවුලේ කොටස් අයිතිය දරන නව සමාගමක් මගින් සංවර්ධනය කිරීමටය.

කෙසේවෙතත් බනිජ තෙල් වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව කිපයක් විරෝධය දැක්වීමත් සමග එම ගිවිසුම අත්සන් තැබීමට නොහැකි විය.

IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 85 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතු බවත් එහෙත් ටැංකි 16ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව වෘත්තීය සමිති පෙන්වා දී තිබේ.

එවන් පසුබිමක ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් වැඩි ප්‍රමාණයක් ඉන්දු-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීම පිණිස IOC සමාගම සමග නව ගිවිසුමකට අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් වන බව වෘත්තිය සමිති සඳහන් කරයි.

අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වූ, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේ,”මේක වෙන්නේ අවිදිමත් ගිවිසුමකට. සමාජගත කරන වැරදි දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා. සමාජයට තෙල් ටැංකි ගැන නිවරැදි තොරතුරක් දෙන්න ඕනේ.”

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රංවල මහතා,”බල්ලා පිදුරු කන්නෙත් නෑ. කන ගොනාට දෙන්නෙත් නෑ වගේ ඒගොල්ලො ටැංකි 16ක වතුර පුරෝගෙන ඉන්නවා. ටැංකි කිහිපයක විතරක් තෙල් තියෙනවා. රජය ඩොලර් ගැනීමේ උවමනාව මත නම් රටක් සමග ගිවිසුම් ගහන්නේ කවදාවත් අපේ රටේ අවශ්‍යතා ඉටු වෙන්නේ නෑ.”

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා,”ඉන්දීය ලේකම්වරයා දැන් 87 සහ 91 කියන ටැංකි නිරීක්ෂණ කරන්න ගිහින් තියෙනවා. එයා එනකොට අපේ ඇමතිවරුත් එහෙ ගිහිල්ලා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *