පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු නොකරන්නේ නම් කතෝලික සභාව නඩු පැවරිය හැකිදැයි සොයනවා

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්න CIDය විමර්ශන සිදු කර ඇත්ද? - සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්න CIDය විමර්ශන සිදු කර ඇත්ද? - සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු නොකරන්නේ නම් කතෝලික සභාව ලෙස නඩු පැවරීමක් කළ හැකිද යන්න සොයාබලමින් සිටින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

මෙම ප්‍රහාරයේ වගකිවයුත්තන් සොයාගැනීමට කතෝලික සභාව ගෙන යන අරගලය මුළු මහත් රට වෙනුවෙන් කරන අරගලයක් බවත්, කොපමණ කල් ගත වුවත්, කොපමණ මිලක් ගෙවීමට වුවත්, කුමන පරිත්‍යාග කරන්නට වුණත් එම අරගලය අත් නොහරින බවද සිරිල් ගාමිණී පියතුමෝ කීහ.

මෙම අරගලය ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී හා විද්‍යානුකූලව සිදුකරන බවද පියතුමෝ සඳහන් කළහ.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේදී (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ ඇති නිර්දේශ අනුව වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයාගේ යුතුකම සහ වගකීම බවත්, ඔහු එසේ නොකරන්නේ නම් ඒ බව ඍජුව ප්‍රකාශ කළ යුතු බවත්, නීතිපතිවරයා නඩු පවරන්නේ නැතිනම් කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තු විවාදයේ හැන්සාඩ් වාර්තාවල ඇති කරුණු අනුව කතෝලික සභාව ලෙස නඩු පැවරිය හැකිද යන්න ගැන නීති විශාරදයන්ගේ උපදෙස් ලබාගනිමින් සිටින බවද සිරිල් ගාමිණී පියතුමෝ කීහ.

නීතිපතිවරයා ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් කොමිෂන් සභාව දැමීමේ තේරුමක් නැති බවත්, එය ජනතා මුදල් නාස්තියක් පමණක් බත් පියතුමෝ සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයාගන්නා අරගලය නොනවත්වන බව කී පියතුමෝ මඩගැසීම් හා බියකිරීම් තුළින් මෙය නැවැත්විය හැකි බව කවුරුන් හෝ සිතන්නේ නම් එය වැරදීමක් බවද, එය වෛරය ගැන ප්‍රශ්නයක් නොවන බවත්, වරදකරුවන්ට සමාව දී අවසන් බව කී පියතුමෝ සමාවදීම හා සත්‍ය හෙළිදරව් කිරීම යනු දෙකක් බවද කීහ.

මෙම ප්‍රහාරය එල්ල කළ අය මෙන්ම දැන දැන ප්‍රහාරය වළක්වා නොගත් අය යන දෙපිරිසම එක හා සමාන අපරාධයක් කර ඇතැයි කී පියතුමෝ එහි සත්‍ය සොයාගැනීමේ සටන කතෝලික සභාවම එක්ව සිදුකරන්නක් බවද කීහ.
විදේශ රටවල මේ සම්බන්ධයෙන් සිදුවන විරෝධතා එම ජනතාව විසින් සංවිධානය කරන ඒවා බවත්, කතෝලික සභාව ඊට සම්බන්ධ නැති බවත් සිරිග් ගාමිණී පියතුමෝ පැවසූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *