ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ මැකීගිය ලිපිගොනු ලක්ෂ 11ක්

සේවා ගාස්තු සංශෝධනය කිරීම පැහැර හැරීම හේතුවෙන් කෝටි 19ක පාඩුවක්

සේවා ගාස්තු සංශෝධනය කිරීම පැහැර හැරීම හේතුවෙන් කෝටි 19ක පාඩුවක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවරයා ඔක්තෝම්බර් 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

නඩුව (29) කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ හෙළි වූයේ මෙම සැකකරු ජුලි 09 වැනිදා අලුයම 3.47 සිට පැය 7ක කාලයක් සිය නිවසේදී මෙම දත්ත පද්ධතියට පිවිස සිට ඇති බවය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් එම දත්ත පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගනු ලැබීය. එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ දිවුලපිටිය, වැල්ලපිට ප්‍රදේශයේ පිහිටි එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ලෙස සේවය කළ 34 හැවිරිදි අයෙකි.

සැකකරුගෙන් සිදුකළ මුලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් සහ වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා (29) පස්වරුවේ සැකකරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ ඖෂධ ආනයන සංයුතින්ට අදාළ ලිපිගොනු ලක්ෂ 11ක් මැකියාම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ ඉදිරි පියවරක් ලෙස මෙම සැකකරුව අත්අඩංගුවටගත් බවය.

සැකකරුගෙන් සිදුකළ මුලීක ප්‍රශ්න කිරීම්වලදි මෙම දත්ත මැකීයාම හුදු තමන්ගේ අතින් සිදුවූ අත්වැරදීමක් බව සඳහන් කර සිටියද, එය ඖෂධ ජාවාරම්කරුවෙකුගේ හෝ කණ්ඩායමකගේ ඉල්ලීම මත සිතාමතා චේතනාන්විතව සිදුකළ වංචාවක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

“ස්වාමිනි අද දින අධිකරණයට ඉදිරිපත් කරන මෙම සැකකරු 2021 ජුලි 09 වැනිදා අලුයම 3.47 සිට පෙරවරු 10.29 දක්වා සිය නිවසේ සිට රහස් ජංගම දුරකතන අංකයකින් මෙම ප්‍රශ්නගත දත්ත පද්ධතියට ඇතුළු වී තිබෙනවා. එවැනි අලුයම් කාලයක පැය 7ක් තුළ ඔහු මෙම දත්ත පද්ධතියට පිවිස මොනවාද කළේ කියන එක ප්‍රශ්නයක්. ජාතික ඖෂධ නියාමන අධිකාරිය තමන්ට අදාළ දත්ත පද්ධතියට පිවිසීමට නොහැකි බව දැනගන්නේ පස්වරු 2ට පමණ. ඔවුන් ඒ සම්බන්ධයෙන් මෙම සැකකරු සේවය සැපයූ එපික් ලංකා ආයතනය දැනුවත් කර තිබෙනවා. එවිට එම ආයතනය දත්ත පද්ධතිය පරික්ෂා කිරීමට භාරදී තිබෙන්නේත් මෙම සැකකරුටමයි. පසුව සැකකරු යළි එම දත්ත ගබඩාවට පිවිසීමෙන් පසුවයි තමන්ගේ අතින් දත්ත මැකීගිය බව ආයතනය දැනුවත්කර තිබෙන්නේ,” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

එහිදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ,

“ස්වාමිනි මෙම සැකකරු පවසනවා මෙය අත්වැරදීමක් කියලා. එසේනම් කොහොමද ඔහු දත්ත පද්ධතියට පිවිසිමට අදාළ History එක මැකී යන්නේ. මොහු දත්ත පද්ධතියට පිවිසී බවට වන ඉතිහාස සටහන් මොහු විසින් මකා දමා තිබෙනවා. මට අහන්න තියෙන්නේ තමන්ගේ අතින් අත්වැරදීමක් වුණානම් ඒක ඔප්පු කරන්න තියෙන සාක්ෂි ඇයි ඔහු විසින් මකා දැමුවේ කියලා. අනික ස්වාමිනි ජංගම දුරකතනයක Delete Button එක එබුව සැනින් දත්ත මැකෙනවා වගේ මෙවැනි දත්ත පද්ධතියක දත්ත මැකෙන්නේ නැහැ. ඒකට අවස්ථා ගණනාවකදී පියවර කිහිපයකට විධාන ලබාදිය යුතුයි, ” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සදහන් කළේය.

එසේම මෙහිදි විශේෂ කරුණු අනාවරණයක් කරමින් දිලීප පීරිස් මහතා සදහන් කළේ මෙම සැකකරු විසින් දත්ත මැකීම සිදුකර ඇත්තේ ඔහු එපික් ලංකා ආයතනයෙන් අස්වීමට ලිපියක් පවා භාරදී තිබියදී බවය.

දත්ත පද්ධතියේ මෙහෙයුම් කටයුතු සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මසකට එපික් ලංකා ආයතනයට ලක්ෂ 05ක ගෙවීමක් කරන පසුබිමක ආයතනයෙන් ඉවත්වීමට දින 10ක් පමණක් ඉතිරිවී තිබු සේවකයෙකු මෙම වගකීම් සහගත කාර්යයට යෙදවීමෙන් ආයතනයේ වගකීම් විරහිත බව පෙන්නුම් කරන බවද ඔහු අධිකරණය හමුවේ පැවසීය. 

එහිදි වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේ කරුණු දැක්වීය.
“ස්වාමිනි, මෙම දත්ත මැකීමේ අරමුණ බවට පත්වෙලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියට ආනයනය කරන ලද ඖෂධ වල ප්‍රමිතින්, සංයුතින් හඳුනාගැනීමට බැරි තත්ත්වයක් උද්ගත කිරීම. මෙහෙම දෙයක් සිදුකිරීමට අවශ්‍ය ඖෂධ ජාවාරම්කරුවන්ට. එවිට ජාවාරම්කරුවන්ට ඕනෑම ඖෂධයක් රට තුළට ගෙන ආ හැකියි.රටක ඖෂධ සැපයීම කියන කාරණය බලපාන්නේ රටේ රෝගි ජනතාවට. විශේෂයෙන් වසංගතයක් පවතින අවස්ථාවක ඖෂධ ජාවාරම්කරුවන්ගේ වුවමනාවට මෙවැනි සංවේදි දත්ත මකාදැමීම කියන්නේ රෝගී ජනතාව මරාදැමීමේ අරමුණින් කළ අමානුෂික ක්‍රියාවක්. මේකට කියන්නේ ඩිජිටල් ත්‍රස්තවාදය කියලා,” යැයි සඳහන් කළේය.

ඒ අනුව මෙම සැකකරු විසින් දත්ත මකා දැමුවේ කුමන අරමුණකින්ද, ඒ සඳහා ඔහුව පෙළඹවූ ජාවාරම්කරුවන් කවුරුන්ද, මෙම දත්ත මකාදැමීමට එපික් ලංකා ආයතනයෙන් අනුබලදීමක් සිදුවුණිද යන්න පිළිබද වැඩිදුර විමර්ශනයක් සිදුකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය සැකකරු විසින් සිදුකර ඇති වරද ඉතා සූක්ෂම අන්දමින් සිදුකර ඇති බවට පැමිණිල්ල කරුණු දක්වා ඇති බැවින් විමර්ශන සදහා සුදුසු කාලයක් ලබාදිය යුතු බව පවසමින් සැකකරු ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරීමට නියෝග කළාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *