Type to search

එන්නත නොගත් තරුණ ප්‍රජාවට ඉල්ලීමක්: මිත්‍යා දුර්මතවලට හසු නොවී ඉඩ ලද කොවිඩ් මර්දන එන්නත ගන්න

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

එන්නත්කරණයට විරුද්ධව ඇතැම් පිරිස් වානිජ අරමුණු ඇතිව ප්‍රචලිත කරන මිත්‍යා දුර්මතවලට මතවලට හසු නොවී ඉඩ ලද පළමුවරම කොවිඩ් මර්දන එන්නත ගන්නා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මංජු වීරසිංහ මහතා තවමත් එන්නත නොගත් තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

එන්නත්කරණය නිසා ලිංගික බෙලහීනතාව සහ මඳ සරුභාවය ඇති වන බවට ඇතැමෙක් කරන ප්‍රකාශවලට කිසිදු විද්‍යාත්මක පදනමක් නැතැයි පෙන්වාදෙන මහාචාර්යවරයා විද්‍යාත්මකව තහවුරු නොකළ එවැනි ප්‍රබන්ධ කතාවලට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම මගින් පුද්ගලයා මෙන්ම රට ද ආරක්ෂා වන බව පවසයි.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන කඩාකප්පල් කරනු පිණිස විවිධ වේදිකා ඔස්සේ ප්‍රචලිත කෙරෙන දුර්මත විද්‍යාත්මකව විභාග කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය. සාකච්ඡාව (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එන්නත් ගැනීම නිසා වයස අවුරුදු 60 වැඩි ජනයා අතර කොවිඩ් 19 මරණ අනුපාතය අඩු කර ගැනීමට හැකි වී තිබේ. එබැවින් තරුණ ප්‍රජාවගේ ද ජීවිත රැක ගැනීමට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල අක්‍රීය නොකරන්නැයි වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමේ මුවාවෙන් දුර්මත පතුරුවන්නන්ගෙන් වීරසිංහ මහතා ඉල්ලීමක් කළේය.

(26) වන විට මිලියන 12කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් 19 මර්දන මාත්‍රා දෙකමදී තිබේ. දෙවන මාත්‍රාවදීමට ඇත්තේ පළමු මාත්‍රාව දුන් පිරිසෙන් මිලියන 2.2කට ය. ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේ ම කොවිඩ් 19 පාලනයට ඇති හොඳම විසඳුම එන්නත්කරණයයි.

මහාචාර්යවරයා පෙන්වාදෙන පරිදි බෝවන රෝගවලට එරෙහිව එන්නත්කරණය පිළිබඳ පනතක් මුලින්ම ගෙන ආවේ 1853 බ්‍රිතාත්‍යයේ පාර්ලිමේන්තුව විසිනි. ඒ වසූරිය රෝගය මර්දනය සඳහාය. වසර 170ක කාලයක සිට එන්නත්කරණයට එරෙහි පාර්ශව ඉදිරිපත් කරන්නේ එකම තර්ක කිහිපයකි. ඒ එන්නතින් පලක් නැති බව, සෞඛ්‍යයට අහිතකර දේවල් තිබිය හැකි බව හා බටහිර වෛද්‍ය විද්‍යාවේ අධිපතිවාදය රට භාරගත නොයුතුය වැනි අදහස් ඉන් කියැවෙයි. 1885 දී ජලභීතිකා රෝගයටත්, 1920 දී ගලපටලයටත් එන්නත් හඳුන්වාදුන් අතර 1949-1955 කාලය තුළ ද එන්නත් කිහිපයක් හඳුන්වාදී තිබේ. එන්නත්කරණය නිසා රෝග රැසක් අවම මට්ටමකට ගෙන ඒමට හැකි වීමෛන් බෝවන රෝග සඳහා ප්‍රබලම ප්‍රතිකර්මය සහ තීරණාත්මක සාධකය එන්නත්කරණය බව ඔප්පු වී තිබේ.

කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය සහ රෝගීන් සංඛ්‍යාව අඩුවීමට එන්නත්කරණය ඉවහල් වූ බව සාකච්ඡාවට එක්වූ හෝමාගම කොවිඩ් 19 ප්‍රතිකාර තෘතීයික රෝහලේ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා ප්‍රකාශ කළේය. ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන් ඇතිවීමට එන්නත් මාත්‍රා දෙකම ගෙන මාසයක් ගතවිය යුතුය. නියමිත කාලය සම්පූර්ණ නොකළහොත් එන්නත් ගත්ත ද අසාධ්‍ය තත්ත්වයට හෝ මරණයට පත්වීමට ඉඩ තිබේ. එන්නත් වර්ග අනුව වැඩි ප්‍රතිශක්තිය ලැබෙන බවට ජනතාව අතර පවතින මතය අසත්‍යයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති එන්නත් වර්ග 08 ම එක හා සමාන ප්‍රතිශක්තියක් දෙන බවත් වෛද්‍යවරයා පැහැදිලි කළේය. ෆයිසර් එන්නත අනුමත කර ඇත්තේ වයස අවුරුදු 12ත් 18ත් අතර ළමුන්ට පමණි. වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන්ට ඕනෑම එන්නතකින් එක හා සමාන ප්‍රතිශක්තියක් ලැබේ.

දකුණු ආසියාතික රටවල් අතරින් ළදරු මරණ සංඛ්‍යාව අඩුම රට බවට ශ්‍රී ලංකාවේ පත්ව ඇත්තේ නියමිත කාලවලදී දරුවන්ට එන්නත්දීම නිසා යැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය. 1961 වර්ෂයේදී දරුවන්ට එන්නත් දීම ආරම්භ කළ ද දීපව්‍යාප්තව සිදුකළේ 1978 වර්ෂයේදී ය. දරුවන්ට කලින් කලට රෝග වැළඳීමට ඇති ඉඩකඩ පරීක්ෂා කර එයට නියමිත කාලයේදී එනනත්දීම නිසා ළදරු පමණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකියාව ලැබෙන බවත් කොව්ඩ් 19 එන්නත වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර නැති බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *