(VIDEO)මගේ පුතා මොළ ශෝධනයකට ලක් කරලා: නවසීලන්ත ප්‍රහාරකයාගේ මව

(VIDEO)මගේ පුතා මොළ ශෝධනයකට ලක් කරලා: නවසීලන්ත ප්‍රහාරකයාගේ මව - ප්‍රහාරකයාගේ පුද්ගලික තොරතුරු හෙළි වේ

(VIDEO)මගේ පුතා මොළ ශෝධනයකට ලක් කරලා: නවසීලන්ත ප්‍රහාරකයාගේ මව - ප්‍රහාරකයාගේ පුද්ගලික තොරතුරු හෙළි වේ

නවසීලන්තයේ දී ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කිරීමේ දී මියගිය ශ්‍රී ලාංකික අන්තවාදී අනුගාමික මොහොමඩ් සම්සුදීන් තරුණයා අන්තගාමි අදහස් දරන්නට පෙළඹ ඇත්තේ 2016දී පමණ ඔහු එරට ඉගෙනගත් සරසවියේ ඇද වැටීමකින් සිදු වූ අනතුරකින් පසුව බව ඔහුගේ මව පවසයි.

මෙරට කාත්තන්කුඩි ප්‍ර්‍රදේශයේ වෙසෙන මව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම අනතුරෙන් බේරාගත් මිතුරන් පිරිස සිරියාවේ ඉරාකයේ ආදී රටවල අන්තවාදී අදහස් ඇති පුද්ගලයන් පිරිසක් බවයි. ඔවුන් මෙම තරුණයා ගේ මොළ ශෝධනයට ලක් කළ බවත් ඉන් පසුව ආදිල් සම්සුදීන් නැමැති තම පුත්‍රයා බෙහෙවින් වෙනස් වූ බවත් මව පවසා තිබේ. බම්බලපිටියේ ප්‍රසිද්ධ පාසලක මෙරට දී ඉගෙනුම ලැබූ ඔහු 2011 වසරේ දී නවසීලන්තයේ සරසවියට ඇතුළත් වී තිබේ.

ප්‍රහාරකයාගේ පුද්ගලික තොරතුරු හෙළි විය

මෙම ප්‍රහාරකයාගේ නම ඇතුළු පුද්ගලික තොරතුරු හෙළි නොකරන ලෙස 2018 වසරේ දී උසාවි නියෝගයක් ලැබී තිබුණ අතර එම තහනම (04) හවසින් අවසන් විය.

අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් වන මෙම පුද්ගලයා, 2011 වර්ෂයේදී 22 හැවිරිදි තරුණයෙකුව සිටියදී, ශ්‍රී ලංකාවේ සිට ශිෂ්‍ය වීසා මත නවසීලන්තය බලා ගමන් කර ඇති අතර,ඉන් වසර දෙකකට පසු ඔහුට එහි සරණාගතභාවය හිමි වී ඇත.

නවසිලන්ත මාධ්‍ය විසින් ඔහුව ද්‍රවිඩ සරණාගතයෙකු ලෙස හඳුන්වන අතර, ඔවුන් විසින් කියා සිටින්නේ, යුද්ධයෙන් බැට කෑ ද්‍රවිඩ ජාතිකයෙකු වන ඔහුට හා පියාට දේශපාලන හේතුවෙන් වධ හිංසා විදීමට සිදුව ඇති බව කියමින් ඔහු නවසීලන්තයේ සරණාගතභාවය සඳහා ඉල්ලුම් කර ඇත. එමෙන්ම ඔහු විසින් සරණාගතභාවය සඳහා ඉල්ලුම් කිරීමට “ශරීරයේ කැලැල් හා මනෝවිද්‍යාඥයෙකුගේ වාර්තාවක්” ඉදිරිපත් කර ඇති අතර, එම වාර්තාවේ “පශ්චාත් කම්පන සහගත මානසික ආතතියෙන් හා මානසික අවපීඩනයෙන් පෙළෙන “දැඩි අසහනයට පත් වූ හා හානියට පත් වූ තරුණයෙකු” ලෙස ඔහුව හඳුන්වා දී ඇත.

2011 වර්ෂයේදී 22 හැවිරිදි තරුණයෙකුව සිටියදී, ශ්‍රී ලංකාවේ සිට ශිෂ්‍ය වීසා මත නවසීලන්තය බලා ගමන් කර ඇති මොහු, එහි ජීවත් වූ මුල් වසර පහ තුළ යම් කිසි අන්තවාදී කල්ලියකට සම්බන්ධ වී හෝ ත්‍රස්තවාදී ක්‍රියා වල නිරත වුවා දැයි යන්න පිළිබඳව වාර්තා නොමැත.

වරින් වර පොලිස් අත්අඩංගුවට

මුල්ම වරට ඔහු කෙරෙහි පොලිසීයේ අවධානය යොමු වන්නට පටන් ගන්නේ 2016 වර්ෂයේදී වන අතර, එයට හේතුව වන්නේ ඔහු විසින්, යුරෝපයේ සිදුවන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර හා යුද්ධය පිළිබඳව සිය ෆේස් බුක් ගිණුම හරහා, අන්තවාදී ප්‍රකාශයන් නිකුත් කරමින් විඩියෝ පල කිරීම හා විවිධ අන්තවාදී අදහස් බෙදා හැරීමයි.

එක් අවස්ථාවකදි ඔහු විසින් මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි

මෙම හේතුවෙන් ඔහු එම වසරේම අප්‍රේල් හා මැයි මාස වල නවසීලන්ත පොලීසිය විසින් ප්‍රශ්න කිරීම් වලට ලක් කළ අතර, එතන් පටන් එරට බුද්ධි සේවා ඔහු පිළිබඳව විමර්ශනය කිරීම ආරම්භ කළේය. නැවත වරක් 2017 වර්ෂයේ, මැයි මාසයේදී ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට ගැනෙන අතර, එයට හේතුව වන්නේ ISIS සංවිධානය හා එක්වීමට ඔහු සිරියාව බලා පියාසර කිරීමට සූදානම් බවට ලැබුණු තොරතුරයි.
ඔහු එලෙස අත්අඩංගුවට ගැනීමත් සමඟම ඕක්ලන්ඩ් පොලිසිය විසින්, ඔහුගේ නිවස පරික්ෂා කිරීමට කටයුතු කළ අතර, එහි තිබී ඔවුන් හට දඩයම් පිහියක් සහ එරට රජය විසින් තහනම් කරනු ලැබ ඇති අන්තවාදී ප්‍රකාශන සහිත පොත් ආදිය හමුවී ඇත.

එහිදී ඔහු තහනම් ප්‍රකාශන බෙදාහැරීම, වංචා කිරීම සෝදිසි කිරීම සඳහා පොලිසියට උදව් නොකිරීම හා දඩයම් පිහියක් ළඟ තබාගැනීම යන චෝදනා යටතේ වරදකරුව, පසුව ඇප මත නිදහස් කෙරිණි. කෙසේ වෙතත්, ඇප මත නිදහස්ව දින දෙකකට පසු ඔහු නැවත පිහියක් මිලදී ගැනීමට කටයුතු කර ඇති අතර, එහිදී එරට පොලීසිය විසින් ඔහුව නැවත වරක් අත්අඩංගුවට ගෙන ඇත.

වරක, 2020 වර්ෂයේ ජූලි මාසයේදී ඔහුට විරුද්ධව ත්‍රස්තවාදී මර්දන පනත යටතේ නඩු පැවරීමට උත්සාහ කළද එම උත්සාහය ව්‍යාර්ථ වී ඇත. එම අවස්ථාවේදී සිදු කළ විමර්ශනවලින් තවදුරටත් ඔහු දැරූ අන්තවාදීන් මත පිළිබඳව කරුණු හෙළිදරව් වී ඇති අතර එහිදී ඔහුව දීර්ඝ කාලයකට රඳවා තබා ගැනීමට එරට පොලීසියට හැකියාව ලැබී ඇත. අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වීම වැනි කරුණු හේතුවෙන් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටි මොහු, ඒ කාලය තුළ එහි සිටි නිලධාරීන්ට පහරදී ඇති අතර, එම හේතුවෙන් ඔහුට විරුද්ධව තිබූ චෝදනා ගොන්නට තවත් චෝදනා එකතු විණි.

පැය 24ම පොලිස් අධීක්ෂණය යටතේ

මෙලෙස විවිධ චෝදනා ලබා 2021 ජූලි 6 වනදා තෙක් බන්ධනාගාරගතව සිටි ඔහු ඉන් නිදහස් වූ අතර, එතැන් පටන් මාස 12ක කාලයක් පුරාවට පොලිස් අධීක්ෂණය යටතේ කල් ගෙවීමට නියම කෙරිණි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, එරට නීතිය යටතේ ඔහුව රඳවා තබා ගැනීම සඳහා වූ සියලු නෛතික මාර්ගයෙන් අවසන් වී තිබීම හේතුවෙන් ඔහු නිදහස් කළ නමුත්, ඔහුව පැය 24ක කාලය පුරාම නිරීක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට එරට රජය වගබලා ගත් බවයි. ඇතැම් අවස්ථාවල එම පුද්ගලයා නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 30ක පමණ පිරිසක් එකවර කටයුතු කර ඇති බව කියා සිටි ඒ මහත්මිය තව දුරටත් සඳහන් කර සිටියේ, ඔහුව සමාජය වෙත මුදා හැරීම නතර කිරීම සඳහ එරට රජයේ ඇති සෑම නීති මාර්ගයක්ම සොයා බැලූ බවයි.

එක් වරෙක අගමැතිනිය විසින් ඔහුව මානසික සෞඛ්‍ය රෝගියෙකු ලෙස වෙන්කර තැබිය හැකි දැයි උපදෙස් ලබාගෙන ඇති අතර, අදාල පුද්ගලයා විසින් මනෝ වෛද්‍යවරයෙකු මුණ ගැසී එලෙස තක්සේරුවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම උත්සාහය ව්‍යාර්ථ වී ඇත.

ඔක්ලන්ඩ් නගරාසන්නයේ පිහිටි සුපිරි වෙළඳසලකට අහම්බෙන් කඩා වැදුණු මෙම පුද්ගලයා, එහි සිටි පිරිසට පිහියක් යොදා ගනිමින් ප්‍රහාරයන් සිදු කළ අතර, ඔහු මෙලෙස ප්‍රහාරය සිදු කිරීම ආරම්භ කර තත්පර 60 ක් යාමට මත්තෙන් එරට පොලීසිය විසින් එල්ල කළ වෙඩි පහරකට ලක්ව එම ස්ථානයේදීම මිය ගියේය. ඔහු මිය යන විට 32 හැවිරිදි වියේ පසුවිය.

මෙම සිදුවීම පිළිබඳව සාකච්ඡා කරනු මාධ්‍ය හමුවට එක්වූ, නවසීලන්ත පොලිස් කොමසාරිස් ඇන්ඩෘ කොස්ටර් මහතා විසින් එම සිදුවීමේ දී එරට පොලිසිය කොතරම් ඉක්මනින් ක්‍රියා කළා ද යන්න පිළිබඳව සංශෝධිත වාර්තාවක් ලබා දුන් අතර, එහෙදි ඔහු විසින් සඳහන් කර සිටියේ අදාළ ත්‍රස්තවාදී පුද්ගලයා විසින් ප්‍රහාරය ආරම්භ කර තත්පර 60 ක් යාමට ප්‍රථම ඔහුව ඝාතනය කිරීමට එරට පොලීසියට හැකි වූ බවයි.

ප්‍රහාරය සිදු වූ ස්ථානය

එමෙන්ම ඔහු දින 53ක කාලයක් පුරාවට පැය 24ම පොලිස් අධීක්ෂණය යටතේ සිටි බව සඳහන් කළ කොස්ටර් මහතා, වැඩිදුරටත් කියා සිටියේ, තමාව එලෙස අධීක්ෂණය කිරීම පිළිබඳව ත්‍රස්තවාදී පුද්ගලයා දැඩි ලෙස පීඩනයට පත් වී සිටි බවයි.

ඇතැම් අවස්ථාවල තමාව අධීක්ෂණයට ලක් කළා යැයි සැක කරමින්, ඔහු සාමාන්‍ය වැසියන්ට ද බැණ වැදුණු බව පොලිස් කොමසාරිස් විසින් සඳහන් කරන්නට යෙදුනි. ඔහු විසින් ෆේස්බුක් ගිණුම් ගණනාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඉන් එකක ඔහු ආපසු තම රටට, එනම් ශ්‍රී ලංකාවට ගිය දිනෙක එහි වෙසෙන නවසීලන්ත ජාතිකයන්ට “යස පාඩමක්” උගන්වන බව කියූ සටහනක් ද තිබී ඇත.

පොලිස් කොමසාරිස්වරයා විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ “අපේ පොලිස් නිලධාරීන් අපි බලාපොරොත්තු වූ ආකාරයටම කටයුතු කළා.” යනුවෙනුයි.

-CNF

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *