කොරෝනා මරණ විකුණන් කන සෞඛ්‍ය සේවකයන් ගැන පොලිසියට තොරතුරු

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය සඳහා රෝහල් මෘත ශරීරාගාරයෙන් ඔවුන්ගේ ඥාතීන්ට ලබා දීමට අල්ලස් වශයෙන් දහස් ගණන් මුදල් ඉල්ලන මෙරට ප්‍රධාන පෙළේ රෝහල්වල සෞඛ්‍ය සේවකයන් කීප දෙනකු සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් ගණනාවක මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර, රෝහල් මෘත ශරීරාගාරවල සේවකයන් මෙම ක්‍රියාව සිදුකරන බවට පොලිස් මූලස්ථානයට ලද පැමිණීලි කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී මෙම කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ කොවිඩ් ආසාදිත මළ සිරුරක් ආදාහනය සඳහා ඔවුන්ගේ ඥාතීන් භාරගැනීමට යාමේදී එහි සිටි සේවකයකු සිරුර මුදා හැරීම සදහා රුපියල් පහළොස් දහසක මුදලක් ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම ද විමර්ශනයක් අරඹා ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

පානදුර රෝහලේ මෙම සෞඛ්‍ය සේවකයා අදාළ දේහය ආදාහනය සදහා ආදාහනාගාරයට රුපියල් 7500ක් සහ දේහය මුදා හැරීමට 5000ක් වශයෙන් මුදල් ඉල්ලා ඇති බවත් පසුව, ඥාතීන් විසින් එම ආදාහනාගාරයට ගොස් ඒ පිළිබඳව විමසීමේදී දේහයක් ආදාහනය සදහා මුදල් ලබා නොගන්නා බවට ඔවුන්ට දැනුම් දී ඇතැයි පැවසෙයි.

ඒ අනුව එම පිරිස රෝහල් අධ්‍යක්ෂකවරයාට මේ බව දන්වා ඇති අතර පසුව බුද්ධි අංශවලින් සොයාගත් තොරතුරු අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කෙමිසම ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සදහන් වෙයි. එසේම පානදුර රෝහලේ අදාළ සේවකයා වෙනත් ස්ථානයකට මාරු කර යැවීමට පියවර ගන්නා බවට රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කර ඇති බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් විමසීම සදහා අප, පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගත් අතර, කාර්යබහුලත්වය හේතුවෙන් පිළිතුරු දිය නොහැකි බවට ඔහු සදහන් කළේය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *