බරපතළ ඖෂධ හිඟය මැද ජීවිත සමග කරන සෙල්ලම වහා නවතනු – සජිත් ප්‍රේමදාස

අංග සම්පූර්ණ 21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණයක - සජිත්

අංග සම්පූර්ණ 21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණයක - සජිත්

රටපුරා මේ වනවිටත් අත්‍යාවශ්‍ය ඖෂධ 40ක පමණ හිඟයක් පවතින බවත් කොරෝනා සහ නියුමෝනියා තත්වයන්ට ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ ද ඒ අතර වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

අමානුෂික වගකීම් විරහිතභාවය පෙන්වමින් උද්දච්ඡ පිළිතුරු දෙනවා වෙනුවට වහාම තාක්ෂණික කමිටුවක් හරහා හෝ ක‍්‍රියාත්මක වී, පවතින දැඩි ඖෂධ හිඟයට විසඳුම් සෙවීම ආණ්ඩුව විසින් කල් නොදමා කළයුතු ප‍්‍රමුඛතම කටයුත්තක් බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එසේම පවතිනා කොරෝනා ව්‍යාප්තිය හමුවේ වහාම දින කිහිපයකට හෝ රට අගුළු දැමීමට ආණ්ඩුව කටයුතු කළයුතු බවත් ඒ මහතා අවධාරණය කරයි.

විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

බරපතළ ඖෂධ හිඟය මැද ජීවිත සමග ආණ්ඩුව කරන සෙල්ලම වහා නවතනු !

රටපුරා මේ වනවිටත් අත්‍යවශ්‍ය ඖෂධ 40ක පමණ බරපතල හිඟයක් ඇතිවී තිබෙන අතර කොරෝනා සහ නිවුමෝනියා තත්ත්වයන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය ද ඒ අතර වන බව වාර්තා වෙයි. එයිනුත් සුවිශේෂී ‘ටොලිසිෂුමාබ්’ (Tocilizumab) ඖෂධය නොමැතිවීම හේතුවෙන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ඇතිවී තිබෙන තත්ත්වය අතිශය බරපතල ය. අදාල ඖෂධය නොමැති වීම හේතුකොටගෙන විශේෂඥ ශල්‍ය වෛද්‍ය සතිශ් ජයසිංහ මහතා අභාවප්‍රාප්ත විය. එතුමා මෙරට බිහිවූ අග්‍රගණ්‍ය වෛද්‍යවරයෙක් වන අතර වෛද්‍යවරුන් රැසකගේම ගුරුවරයා ද විය. 2021 මැයි 4 මෙම ඖෂධය පිළිබඳව පළමු වරට අපි පාර්ලිමේන්තුවේ දී සිහිපත් කළ අතර එය පාර්ලිමේන්තු හැංසාඩ් වාර්තාවේ තීරු අංක 81හි ඇතුලත්ව තිබේ.

උද්ගතව ඇති ඖෂධ හිඟය පිළිබඳව අප අවස්ථා කිහිපයකදීම දැනුවත්කිරීම් කළ අතර ඒ සියල්ලටම ආණ්ඩුව පාර්ශවයෙන් ලැබුණේ උපහාසය, අපහාසය සහ නොසලකා හැරීම පමණි.

අප කිසි විටෙක ඖෂධ නිර්දේශ කිරීම් සිදු නොකළ අතර අප නිරන්තරයෙන් අවධාරණය කළේ සෞඛ්‍යය විශේෂඥයින්ගේ මතය බව පැවසිය යුතුමය.

• පසුගිය ජූනි 4වෙනිදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අපි මේ ඖෂධ හිඟය පිළිබඳව දැනුවත් කළ අතර වහාම තාක්ෂණික කමිටුවක් හරහා හෝ ක‍්‍රියාත්මක වීමේ පවතින දැඩි ඖෂධ හිඟයට විසඳුම් සෙවීම ආණ්ඩුව විසින් කල් නොදමා කළයුතු ප‍්‍රමුඛතම කටයුත්තක් බව අදාල නිවේදනයෙන් අවධාරණය කළෙමු. අවසන් වරට පසුගිය අගහරුවාදා (17) අපි මේ පිලිබදව පාර්ලිමේන්තුවේ දී අතිශය සත්භාවයෙන් ආණ්ඩුවට සිහිපත් කරන විට ඊට ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලබා දුන්නේ, ආණ්ඩුවටම වැළඳී ඇති උද්දච්ච මහන්තත්වය උපයෝගී කරගත් වගකීම් විරහිත පිළිතුරකි.

• ඊනියා පැණි ප්‍රචාරකයින් ඇමතිවරුන් වී ඇති රටක එහිම නියෝජිතයෙකුවන ඇමතිවරයෙකුගෙන් ඊට වඩා වගකීම් සහගත පිළිතුරක් බලාපොරොත්තු විය නොහැක. එහෙත්, ඔවුන්ගේ මේ අමානුෂික වගකීම් විරහිතකම හේතුවෙන් රටට අහිමිවන ජීවිත පිළිබඳව අපට බලා සිටිය නොහැක. ආණ්ඩුව වගවීමත්, වගකීමත් දෙකම දෙවියන්ට භාර දී ඇති අතර එහි ප්‍රතිපලය වන්නේ අද වනවිට කොරෝනා මරණ අතර ඉහළින්ම සිටින අවදානම් සහගත රට බවට අපේ රට පත්වීමය.

• ආණ්ඩුව විසින් අන්තනෝමතික ලෙස කටයුතු කිරීමෙන් ඇතිවූ කොරෝනා ව්‍යාප්තියේ වරද සාහසික ලෙස වෙනත් පාර්ශව වලට පැවරීමට ආණ්ඩුව පිළිකුල් සහගත උත්සාහයක් දරන නමුත් කොරෝනා ව්‍යසනය ආරම්භ වූ මොහොතේ සිට මේ දක්වාම ආණ්ඩුව විසින් සිදු කළ අදූරදර්ශි, බලලෝභී, උන්මත්තක ක්‍රියාවලිය පිළිබඳව නොදන්නා කෙනෙක් නැත.

• කොරෝනා ව්‍යසනයේ අනතුර පිළිබඳව අප මුල සිටම දැනුවත් කළත් හොරට නිදා සිටි ආණ්ඩුව ඒ පිළිබඳව පිළිබඳව කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත.

• කොරෝනා ව්‍යසනය ආ මොහොතේ මැතිවරණ පැවැත්වීම වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ එම ව්‍යසනය පරාජය කිරීමට කටයුතු කිරීම බව අප නිරන්තරයෙන්ම අවධාරණය කළ නමුත් ඒ පිළිබඳව ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත.

• මේ ව්‍යසනයට විසඳුමක් සෙවීම වෙනුවෙන් සර්වපාක්ෂික හමුවක් කැඳවන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ වසරකට පමණ පෙර සිටය. ව්‍යසනය උග්‍ර වී රට විශාලාවක් වනතුරුත් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත.

• සම්ප්‍රදායික විපක්ෂයේ භූමිකාව සහමුලින්ම ඉවත හෙළමින් නූතනවාදී විපක්ෂයක ජනතාවාදී ආකල්පයෙන් යුක්තව ව්‍යසනය පරාජය කිරීම වෙනුවෙන්, අප හුදු විවේචනය වෙනුවට සහයෝගයේ හස්තය ආණ්ඩුවට දිගු කළ වාර අනන්තය. එහෙත් සෑම විටෙකම ආණ්ඩුව කටයුතු කළේ තමන්ට පමණක් සියල්ල තනිව කළ හැකිය යන මමත්වයෙන් යුතු මනෝභාවයෙනි. අදටත් එහි කිසිදු වෙනසක් පෙනෙන්නට නැත. මේ මොහොතේ රටේ උද්ගතව පවත්නා බරපතළ තත්ත්වය හේතුකොටගෙන ආණ්ඩුව ප්‍රමුඛව කළ යුතු දෙය වන්නේ දින කිහිපයකට හෝ රට අගුලු දැමීම ය .ඒ බව අප අවස්ථා කිහිපයකදීම පුනපුනා ආණ්ඩුවට කියා සිටි අතර නැවත වතාවක් ඒ බව ආණ්ඩුවට සිහිපත් කොට සිටින්නේ ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති තත්ත්වයේ අවදානම පිළිබඳව බරපතළ ලෙස සැලකිල්ලට ගෙනය.

අප ඉදිරිපත් කරන යෝජනා සියල්ලටම ආණ්ඩුව සිනාසීමෙහි ප්‍රතිඵලය වී ඇත්තේ රටේ අහිංසක ජනතාවට කඳුළෙන් වන්දි ගෙවීමටය.

කොරෝනා ව්‍යාප්තිය සහ මරණ අතින් ලංකාව සෙසු සියලු රටවල් අභිබවා පෙරට පැමිණ ඇති අතර එය මහත් උද්දාමයෙන් සමරන්නට ආණ්ඩුව කල්පනා කරනවාද කියා දන්නේ නැත.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *