(VIDEO) ජනාධිපතිගේ තකතීරු තීරණ නිසා කිසිවෙකු මිය යා යුතු නැහැ: අපි ලොක්ඩවුන් වෙමු – අනුරගෙන් රටේ ජනතාවට ඉල්ලීමක්

අපිට අගමැතිකමයි කැබිනට් මණ්ඩලයයි දෙනවා නම් මාස හයකින් ස්ථාවරත්වයක් ගොඩනගනවා - අනුර

අපිට අගමැතිකමයි කැබිනට් මණ්ඩලයයි දෙනවා නම් මාස හයකින් ස්ථාවරත්වයක් ගොඩනගනවා - අනුර

කොවිඩ් වසංගතය පාලනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල දැඩි ලෙස විවේචනය කළ ජනතා විමුක්ති පෙරමුණ “කිසිදු පුරවැසියෙක් ජනාධිපතිගේ තකතීරු තීරණ නිසා මිය යා යුතු නැහැ” යනුවෙන් අවධාරණය කළේය.

(15) අන්තර්ජාලයේ සජීවී විකාශයක් ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ නායක අනුර දිසානායක මේ බව අවධාරණය කර තිබිණි.

එහිදී ඔහු දැක්වූ අදහස් පහත පළවේ.

“කොවිඞ් වසංගතය ඇතිවූ පසුව එහි දරුණුතම ව්‍යසන අවදියට අපේ රට මුහුණ දී තිබෙනවා. මේ තත්වය පිළිබඳව පාලකයන් විසින් නිසි තක්සේරුවකින් යුතුව තීන්දු-තීරණ සහ ක්‍රියාමාර්ග නොගන්නා බව තහවුරු වී තිබෙනවා. මේ නිසා පවතින තත්වය සමාජයට හෙළිදරව් කරමින් ජනතාව මේ හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්දීමට මෙම මාධ්‍ය හමුව පවත්වනවා.

මේ ව්‍යසනය දරුණු වී තිබෙන තරම සිකුරාදා (13) දිනයේ දත්තවලට අනුව සෑම මිනිත්තු 09කටම වරක් අපේ ආදරණීයයන් මියයමින් තිබෙනවා. දෛනික මරණ සංඛ්‍යාව 150 ඉක්මවමින් වාර්තා වෙනවා. මෙය දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගෙන් 05% ඉක්මවන තත්වයක්. භයානක ලෙස මෙම වෛසරය පැතිරුණු රටවල් හා සංසන්දනය කරන විට ඉතාමත්ම භයානක තත්වයක්. ආසාදිතයින් දෛනිකව 3,000 ඉක්මවූ ප්‍රමාණක් වාර්තා වෙනවා. අපේ රෝහල් පද්ධතියෙන් හරි අඩක් කොවිඞ් මර්දනය සඳහා යොදා ගන්න කියලා ආණ්ඩුව උපදෙස් දී තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තත් රෝගීන්ට ප්‍රමාණවත් නොවන රෝහල් පද්ධතියක් තියෙන්නේ. 50%ක් කොවිඞ් සඳහා පමණක්ම යෙදවීමෙන් නොනැවතී මුළු රෝහල් පද්ධතියම කොවිඞ් සඳහා යොදා ගැනීමට සිදුවීමේ අනතුරක් තියෙනවා. විශේෂයෙන්ම නිව්මෝනියා තත්වයේදී පාවිච්චි කරන ‘ටොෆිලිසුමැබ්’ කියන ඖෂධය කොළඹ ජාතික රෝහල තුළ හිඟ වී තිබෙනවා. සමස්තයක් හැටියට ඖෂධ හිඟයක් පවතිනවා.

අග්‍රාමාත්‍යවරයා හාමුදුරුවන් වහන්සේ නමක් හමුවූ අවස්ථාවේ සංචරණ සීමාවලින් ඔබ්බට ගිය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය වී තිබෙන බව ප්‍රකාශ කර තිබුණා. කොවිඞ් මර්දනය පිළිබඳ අමාත්‍යතුමිය, සෞඛ්‍ය අමාත්‍යතුමිය, වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ සියලු සංවිධාන, ලෝක සෞඛ්‍ය සංවිධානය යන සියලු දෙනා අනතුරුදායක තත්වයේ බරපතළකම දක්වමින් රට වසා දැමිය යුතු බවට ප්‍රකාශ කර තිබුණා.

අපි තව දුරටත් අවධාරණය කරන්නේ ඔබ ඔබගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරන්න. ඔබ ඔබගේ ආරක්‍ෂාව ප්‍රමුඛ කොට ගන්න. එහිදී යම් අපහසුතාවයකට පත් වෙනවා නම් දේශපාලන පක්‍ෂයක් හැටියට යම් සහනයක් වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්න තිබෙනවා නම් අපි ඒ වෙනුවෙන් සූදානම්. මේ රටේ මිනිස්සුන් ඇති තරම් කඳුළු හලා තිබෙනවා. මේ මහ පොළොව ඇති තරම් ලේවලින් තෙත් වී තිබෙනවා. අපේ පරම්පරාවේ මිනිස්සු මෙම ජනාධිපතිවරයාගේ තකතීරු තීන්දුවල ගොදුරු බවට පත් නොවිය යුතුයි. ඒ නිසා ඔබගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔබට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. අනෙක් අයටත් මේ පණිවුඩය කියන්න. ජනතාවක් හැටියට මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට සාමූහික තීරණයකට එළඹෙමු. තනි තනිව ආරක්‍ෂා වීමේ විධිවිධාන උපරිමයෙන් යොදා ගනිමු.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *