“හංගන්න දෙයක් නෑ, දැන් රටේ තත්ත්වය දරුණුයි”- චන්න ජයසුමන : “වාර්තා වන ගණන මෙන් තුන් ගුණයක් රෝගීන්”

"හංගන්න දෙයක් නෑ. දැන් රටේ තත්ත්වය දරුණුයි"- රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන; "වාර්තා වන රෝගීන් මෙන් තුන් ගුණයකට වැඩි පිරිසක් සමාජයේ ඉන්න පුළුවන්" - වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

"හංගන්න දෙයක් නෑ. දැන් රටේ තත්ත්වය දරුණුයි"- රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන; "වාර්තා වන රෝගීන් මෙන් තුන් ගුණයකට වැඩි පිරිසක් සමාජයේ ඉන්න පුළුවන්" - වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

මේ වන විට රටේ තත්ත්වය දරුණු බවත් එය සැඟවිය යුතු කාරණාවක් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඩෙල්ටා වයිරසය රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යෑමෙන් තත්ත්වය දරුණු වී ඇති බැවින් ඉදිරි සති දෙක තීරණාත්මක බවත්, කොවිඩ් ආසාදිතයන් වැඩි ප්‍රතිශතයක් වාර්තා විය හැකි බැවින්, අත්‍යවශ්‍යම කරුණකට මිස නිවෙස්වලින් පිටතට යෑමෙන් වළකින ලෙසටත් ඔෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන අනතුරු අඟවයි.

මේ වනවිට ඩෙල්ටා ප්ලස්, ලැම්ඩා, එක්ටයිලස් නමැති විකෘති වයිරස් ප්‍රභේද ලෝකයේ රටවල බිහි වී ඇතැයිද එක්ටයිලස් වයිරසය ඩෙල්ටා වයිරසයට වඩා ප්‍රබල භයානක වයිරසයක් බැවින්, එන්නත්වලට එම අලුත් ප්‍රභේද වැළැක්වීමට නොහැකි බවත් රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි. එම වයිරසයේ විකෘතියක් ඇති වුවහොත් දැඩි අවදානමක් ඇතිවිය හැකි බවද හෙතෙම සඳහන් කරයි.

“වාර්තා වන රෝගීන් මෙන් තුන් ගුණයකට වැඩි පිරිසක් සමාජයේ ඉන්න පුළුවන්” – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

මේ අතර කොළඹ මාධ්‍ය හමුවකදී වත්මන් තත්වය ගැන අදහස් දැක්වූ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ වනවිට පසුවන්නේ තීරණාත්මක අවස්ථාවක වන හෙයින් කොරෝනා රෝගය තමන්ට වැළඳීම වළක්වා ගැනීම වගේම තමන්ට වැළඳුණොත් පවුලේ අයට, හිතවතුන්ට එය බෝ නොවන ලෙසත් කටයුතු කිරීම වැදගත් වන අතර අත්‍යවශ්‍ය දෙයකට හැර නිවසින් බැහැරට නොයන ලෙස ඉල්ලීමක් කරයි.

වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද පැවැසීය:

“වසංගතවේදය අනුව කොහොමත් වාර්තා වෙන රෝගීන්ට වඩා මේ වෙද්දී තුන්ගුණයකට වැඩි පිරිසක් සමාජයේ ඉන්න පුළුවන්. මොකද පරීක්ෂණ කරන පිරිසෙන් තමයි පොසිටිව් අය වාර්තා වෙන්නේ. තව රෝග ලක්ෂණ නැති අය වගේ ම පරීක්ෂා නොකරන අය ඉන්න පුළුවන්.”

තවද මෙම වසර අවසාන වනවිට මෙරට කොරෝනා මරණ 18,000ක් පමණ වාර්තා විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට කාර්යාලය සිදුකර තිබුණු පුරෝකථනය ගැනද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

“පුරෝකථන ඉදිරිපත් කරන්නේ ක්‍රමවේදයකට අනුවයි. මේ පුරෝකථන ඇත්ත කරනව ද? බොරු කරනවද කියා තීරණය තියෙන්නේ ජනතාව මතයි. රජය විවිධ ආයතන වගේ ම ජනතාවත් හරියට වැඩ කළොත් මේවා බොරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්ත වෙයි,” යනුවෙන් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *