කොවිඩ් මෘතදේහ ආදාහනය රජයේ වියදමින්

කොවිඩ් මෘතදේහ ආදාහනයේදී අදාළ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකර අදාළ ආදාහනය කරන ලෙසත් ඒ සඳහා පළාත් පාලන ආයතනවලට වැය වන වියදම මධ්‍යම රජය මඟින් දීමට පියවර ගන්නා බවත් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

කොව්ඩ් මෘතදේහ ආදාහනයේදී මේ වන විට විශාල තදබදයක් පවතින බවට පළ වන වාර්තාවන්හි සත්‍යතාව සම්බන්ධයෙන් කරුණු විමසීමට සූම් තාක්ෂණය ඔස්සේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඇතැම් මාධ්‍ය මෘත දේහ ආදාහනය කිරීමේදී ප්‍රශ්නකාරි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා කරන්නේ කවර සාධක පදනම් කර ගෙන දැයි පළාත් පාලන ප්‍රධානීන්ගෙන් ඇමැතිවරයා කළ විමසීමේදී අදාළ ප්‍රධානීන් සඳහන් කළේ මූලික කරුණු කිහිපයක් මත ආදාහනාගාර කිහිපයක මේ ප්‍රශ්නකාරි වාතාවරණය නිර්මාණය වී ඇති බවයි.

ඉන් පළමු වැන්න ලෙස ඔවුන් දක්වා සිටියේ රෝහල් තුළ හඳුනා නොගත් මළ සිරුරු පැවතීම, කොවිඩ් වැලඳී මිය ගිය අය හඳුනා ගැනීමට අදාළ පවුල්වල සාමාජිකයන් නොපැමිණීම හා රෝහලවලදී මිය යන කොවිඩ් රෝගීන් ළඟම ආදාහනාගාරයට යොමු කිරීම එම කරුණු වේ.

මේ කරුණු හේතුවෙන් ඇතැම් පළාත් පාලන ආයතන සතු ආදාහනාගාර අධිධාරිතාවෙන් ක්‍රියාත්මක වීම තුළ කඩිනම් නඩත්තු කිරීම්වලට පවා යොමු කළ යුතුව ඇතැයි පෙන්වා දුන් පළාත් පාලන ආයතන ප්‍රධානීන් පසුගිය දිනවල රාගම රෝහලේ මෘත දේහ ගොඩ ගැසීමට හේතු වූයේද ඒ ආසන්නතම ආදාහනාගාරය වන බටුවත්ත ආදාහනාගාරය අධිධාරිතාවෙන් ක්‍රියාත්මක වීම බවද පෙන්වා දුන්නේය.

කෙසේ වුවද මේ වන විට ආදාහනාගාරවල පවතින ගෑස් හිඟය හා ශ්‍රමික හිඟය පිළිබඳ ඇමැතිවරයාගේ අවධානය මෙහිදී යොමු කළ අතර, ඇමැතිවරයා සඳහන් කළේ සියලු ආදාහනාගාර සඳහා අවශ්‍ය ගෑස් නොමිලේ දීමට රජය පියවර ගන්නා අතර, ඉක්මනින්ම එකී සැපයුම දීමට පියවර ගන්නා බවයි. එමෙන්ම සේවක හිඟයට පිළියමක් ලෙස අඩු අධ්‍යාපන සුදුසුකම් මත මෑතකදී බඳවා ගන්නා ලද පිරිස් යොදවා ගැනීමට පියවර ගන්නා බවද පැවසීය.

දිවයින පුරා සක්‍රිය මට්ටමේ ආදාහනාගාර 240කට වැඩි ප්‍රමාණයක් ඇති බැවින් කිසිදු අර්බුදයකින් තොරව කොඩිඩ් මෘත දේහ ආදාහනය කිරීමේ හැකියාව පළාත් පාලන ආයතන සතුව ඇති බව සඳහන් කළ ඇමැතිවරයා කඩිනමින් කොවිඩ් මර්දන කාර්ය සාධන බළකාය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගන්නා බවද පැවසීය.

මේ සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බන්දුල බොරලැස්ස, ඇමැතිවරයාගේ උපදේශක මහින්ද මඩිහහේවා මහත්වරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *