පාස්කු ප්‍රහාරයේ මරණවලට රනිල්-මෛත්‍රී දෙන්නගේ වගකීමට වඩා කොරෝනා මරණවලට ජනාධිපති වගකිව යුතුයි

රනිල්ගෙ ආණ්ඩුව ඉන්නේ අපායේ ඉන්ටර්වල් එකක; වැඩි වෙලාවක් මේ ඉන්ටර්වල් එක තියෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා

රනිල්ගෙ ආණ්ඩුව ඉන්නේ අපායේ ඉන්ටර්වල් එකක; වැඩි වෙලාවක් මේ ඉන්ටර්වල් එක තියෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා

මෙම මස මුල සිට කොරෝනා වසංගතයෙන් ආසාදිතයන් විශාල පිරිසක් මියයාමට ඉඩ හැර වගකීමකින් තොරව, ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සම්බන්ධයෙන් රනිල් මෛත්‍රී දෙදෙනාට ඇති වගකීමට වඩා වැඩි බවට චෝදනා එල්ල කෙරේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා (13) ජාතික ජන බලවේගයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම චෝදනාව නැගීය.
මෙම මාධ්‍ය හමුවට ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ද සහභාගී වූහ.

එහිදී ඔහු පළ කළ සම්පූර්ණ අදහස් පහතින් දැක්වේ.

“මේ මොහොතේදී රට තුළ බරපතළ මට්ටමකින් පැතිරෙන කොවිඞ් වසංගතයේ ව්‍යසනය ගැන අපි හැමෝම දන්නවා. මෙතරම් විශාල ව්‍යසනයක් වෙද්දී ආණ්ඩුව නරක විදිහට මුනිවත රකිමින් ඉන්නවා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ ප්‍රශ්නය නොදැක්කා සේ ඉන්නවා. ඔවුන් පොදු ජනතාව ගැන වගකීම අත්හැරලා තියෙන්නේ. කොවිඞ් වසංගතය ලංකාවට පැමිණි මුල සිටම ආණ්ඩුව හැසිරුණේ මුග්ධ සහ උද්දච්ච විදිහට. මේ ප්‍රශ්නයේදී පෙරමුණ ගත යුතු විශේෂඥ වෛද්‍යවරු, වසංගත රෝග වෛද්‍යවරු, ඇතුළු පිරිස පැත්තක දාලා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට හුරු පුරුදු හමුදා නායකයින් ඉස්සරහට ගත්තා. මේ වංසගතයේදී හමුදාව සහ පොලීසියට කාර්යභාරයක් තිබෙන බව අපි පිළිගන්නවා. හැබැයි තීන්දු-තීරණ ගත යුත්තේ ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විද්‍යාඥයින්ගේ මූලිකත්වයෙන්. අද වෙනකොට ඔවුන් පැත්තකට දාලා කටයුතු කිරීමෙන් දරුණු ඛේදවාචයක් තියෙන්නේ.

අපට මතකයි, පාස්කු ප්‍රහාරය එල්ල කළ වෙලාවේ තුන්සිය ගණනක් මියගියා. එයින් අපේ රටේ විශාල කම්පනයක් ඇතිවුණා. ඒ කම්පනය පාවිච්චි කරලා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයලා බලයට ආවා. ඒ වෙනකොට තිබුණු රනිල්-මෛත්‍රී ආණ්ඩුවට ප්‍රහාරයේ වගකීම පැවරුවා. ප්‍රහාරය ගැන දැන දැනත් වළක්වන්න මැදිහත් නොවීමේ වගකීම පැහැර හැරීම නිසා ඒ ආණ්ඩුව පරද්දන්න ජනතාව කටයුතු කළා. ඒ ප්‍රශ්නය පාවිච්චි කරලා බලයට ආපු රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුව ඊට වඩා මරණ සිද්ධ වෙන්න ඇරලා බලා ඉන්නවා. අපි හිතන්නේ මේ දෙකම එකයි කියලා. කොරෝනා සම්බන්ධ තොරතුරු දිනපතා වාර්තා වෙද්දී වළක්වන්න මැදිහත් නොවීම පාස්කු ප්‍රහාරයට වඩා බරපතළයි. වෛද්‍යවරුන්, ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් කරුණු ඉදිරිපත් කරද්දී දිනපතා 100කට වැඩිය මියයාමට ඉඩ හැරීම වඩාත් බරපතළයි. පාස්කු ප්‍රහාරයට රනිල්-මෛත්‍රී ආණ්ඩුව වගකිව යුතු ප්‍රමාණයට වඩා ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ මේ ආණ්ඩුව කොවිඞ් මරණ සම්බන්ධයෙන් වගකිව යුතුයි.

අගොස්තු 09වැනිදා කොවිඞ් මරණ 111ක් වාර්තා වුණා. 10වැනිදා 118, වගේම 11වැනිදා 124ක් සහ 12වැනිදා 156ක් වශයෙන් දිනපතා වැඩිවීමක් වේගයෙන් සිදුවෙනවා. මේ සංඛ්‍යා ඇත්තම නෙවෙයි කියලා අපි දන්නවා. අගෝස්තු 01වැනිදා සිට දවස් 10ක් තුළ අපේ රටේ පුරවැසියන් 971ක් මැරිලා තියෙනවා. මේක සරල කාරණයක් නෙවෙයි, අතිශය බරපතළයි. හදවතක් තියෙනවා නම්, මනුෂ්‍යත්වය තියෙනවා නම් හදවත උණු වෙන්න ඕනෑ. වහාම මැදිහත් වෙලා විසඳුම් හොයන්න ඕනෑ කියලා දැනෙන්න ඕනෑ. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ හැම කෙනෙක්ම මේ තත්වය පාලනය කරන්න උපරිමයෙන් මැදිහත් වෙනවා. හැබැයි ආණ්ඩුව අවශ්‍ය තීරණ ගන්නේ නැහැ. රාජපක්‍ෂ ආණ්ඩුවේ උපායමාර්ගය “කොරෝනා පරදමු” යන්න නෙවෙයි. කොරෝනා සමග ජීවත් වෙමු. කියලයි. කොරෝනාවලින් තොර ජීවිතයක් කියන සටන් පාඨයට යනවා වෙනුවට කොරෝනා සමග ජීවත් වෙමු කියලා ඒ ගොල්ලෝ සටන් පාඨයක් ගත්තා. වසංගතයක් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ බොහෝ දෙනෙක් මැරෙන්න ඕනෑ. ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙන්නේ විශාල පිරිසක් මරා දාලා ජනගහනය අඩු කරන්නද කියලා අපිට අහන්න වෙනවා. කොරෝනා සමග ජීවත් වෙමු කියන්නේ ඒ ගොල්ලන්ට මේ ප්‍රශ්නය නැති නිසා. ඒ ගොල්ලෝ බොහෝම ආරක්‍ෂිතව ජීවත් වෙනවා. සියලු රාජ්‍ය සේවකයෝ වැඩට කැඳවලා තියෙන වෙලාවක ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කරලා තියෙනවා ජනාධිපතිගේ ආරක්‍ෂාවට පිරිස් හමුවීම සීමා කරන්න.

එතුමාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ වැඩ කරන අය සීමා කරන එක හොඳ තීන්දුවක්. හැබැයි ඒ තීන්දුව රට වෙනුවෙන් ගන්නේ නැත්තේ ඇයි? ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය ආරක්‍ෂා වුණොත් ඇති කියලා ඒ ගොල්ලෝ හිතන්නේ. හැබැයි කැබිනට් මණ්ඩලයටත් දැන් වෛරස බෝ වෙලා තියෙන්නේ. ජනතාවගේ ජීවිත, ජීවිත නෙවෙයිද? ඒ නිසා වගකිම්විරහිත උද්දච්ච හැසිරීම් නවත්වන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. මරණ සංඛ්‍යාව අඩු කිරීමට වහාම ක්‍රියාමාර්ග ගන්න බල කරනවා. වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්තයා වගේ විශේෂඥ දැනුම තියෙන විශාල පිරිසක් එකතු වී ලබාදුන් නිර්ද්ශ තියෙනවා. වෛද්‍ය සංගම්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ලබාදුන් නිර්දේශවලින් කියවෙන්නේ වහාම සංචරණ සීමා පනවා මරණ සංඛ්‍යාව අඩු කරන්න කියලා. හැබැයි ජනාධිපතිවරයා කියන්නේ රට වහන්නේ නැහැ කියලා. එහෙම නම් මිනිස් ජීවිත බේරගන්නා ක්‍රමයක් යෝජනා කරන්න කියලා අපි අභියෝග කරනවා. මේ වැඬේ දෙවියන්ට බාර දීලා හරියන්නේ නැහැ. ඔවුන් අඩියක් පස්සට තියන්න අකැමැතියි. මිනිස් ජීවිතවලට වඩා ඒ ගොල්ලන්ගේ වටේ ඉන්න ජාවාරම්කාරයෝ ආරක්‍ෂා කරන්න ක්‍රියා කරනවා. ආර්ථික අර්බුදයක් තියෙන බව ඇත්ත. ඒකට වග කියන්න ඕනෑ ජනතාව නෙවෙයි. දැන් රෝගය පාලනය කිරීම පැත්තකට දාලා ආර්ථිකය ගොඩගන්න කටයුතු කරනවා. හැබැයි අපි අවධාරණය කරන්නේ මේ ක්‍රියාමාර්ගවලින් ආර්ථිකයත් වැටිලා මිනිස් ජීවිතත් අහිමි වෙලා රටත් වැටිලා කෙළවර වන බවයි.

මේවා දේශපාලනය නොතේරෙන කණ්ඩායමකට රට බාර දීමේ ප්‍රතිවිපාක. ඒ ගොල්ලෝ පටන් ගත්තේ වියත්මඟේ විද්‍යාත්මක ක්‍රමයට රට පාලනය කරන බව කියලා. මුලදී ජනාධිපතිවරයා, යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව දක්වමින් රට නොවැසූ බවත් දැන් 25-30ක් රෝගී වුණාට රට වහන්නේ නැහැ කීවා. ඊට පස්සේ වසංගතය පැතිරෙන විට හොඳටම කළේ අපි තමයි කියලා කීවා. වසංගතය පාලනය කරන්න එන්නත ලබා ගන්නවා වෙනුවට මුලු රටක් පැණි පස්සේ යන්න, මුට්ටි අතහරින්න වගේ මිත්‍යා මත පස්සේ යැව්වා. දැන් හිතාගෙන ඉන්නේ එන්නත දුන්නාම වැඬේ ඉවරයි කියලා. හැබැයි එන්නත් දෙකක් ගැහුවත් ආසාදනය වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් කියනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ වැඩිම එන්නත් කළේ ඒ අය බව කියන්න. හැබැයි අනෙක් පැත්තෙන් වැඩිම මරණ සංඛ්‍යාව සිද්ධ වීමේ වාර්තාවත් ලැබෙනවා. ආණ්ඩුව හැසිරෙන්නේ සිහි බුද්ධියකින් නෙවෙයි. සාමාන්‍ය ජනයා අතට පත්වෙන දත්ත ජනාධිපතිවරයා ළඟට යනවාද කියලා අපි දන්නේ නැහැ. ඔහු දත්ත එකතු කරන්නේ බුද්ධි අංශවලින්. බුද්ධි අංශ වැඩ කරන්නේ “යර්ස් සර්, ඔව් සර්” කියන විදිහට. මේ රෝගය කියන්නේ මෙතෙක් කල් තිබුණු සියලු වසංගතවලට වඩා දරුණු එකක්. මැලේරියා වසංගතයේදී නම් තව කෙනෙකුට ගිහින් උදව් කරන්න පුළුවන්. වෙන විපතකදී නම් ඒත් ගිහින් උදව් කරන්න පුළුවන්. මේකෙදී එහෙම බැහැ. ආණ්ඩුව ඒ බව තේරුම් ගත යුතුයි. තේරුම් නොගෙන ක්‍රියා කිරීමෙන් මේ මරණවල වගකීම ආණ්ඩුව බාරගන්න ඕනෑ.

මේ තරමින් හරි පාලනය කර තිබෙන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීමෙන්. ආණ්ඩුවට පිටින් ඉන්න විශේෂඥවරුන් ඇතුළු කණ්ඩායම් විතරක් නෙවෙයි ඇණ්ඩුව අතුළේම අයත් අනතුරු අඟවනවා. මහාචාර්ය තිස්ස විතාරණ මහත්තයා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වගේ අය කියන දේවල්වලත් ආණ්ඩුව අහන්නේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලයට ආවේ විද්වතුන්ගේ උපදෙස් අරගෙන රට පාලනය කරන්න. අපි ඒ විද්වතුන්ට කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුවට වැදගත් උපදෙස් දෙන්න කියලා. නමුත් දැන් සූදානම් වෙන්නේ ආණ්ඩුව නීති ක්‍රියාත්මක කරමින් ආදර්ශ දෙනවා වෙනුවට ජනතාවට වගකීම පවරලා නිදහස් වෙන්න. ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කර ආදර්ශ නෙදෙන නිසා ජනතාව තමන්ගේ කටයුතු කර ගන්නත් නොපැකිළව ඉදිරිපත් වෙනවා. ඩෙල්ටා ප්‍රභේදය ඇවිත් තිබියදී ඒ ගැන විශේෂඥ උපදෙස් නොතකා රට අරින්න ආණ්ඩුව තීරණය කළා. විවාහ මංගල්‍ය පවත්වන්න, සම්බාහන මධ්‍යස්ථාන විවෘත කරන්න, සති පොළවල් විවෘත කරන්න වගේ දේවල් මුලින් ක්‍රියාත්මක කර සංචරණ සීමා සම්පූර්ණයෙන් අයින් කළා. අගෝස්තු 02වැනිදා සියලුම රාජ්‍ය සේවකයින් රාජකාරීවලට කැඳෙව්වා. කෝච්චියේ, බස්එකේ තෙරපී ගෙන යනකොට පැතිරෙන්නේ නැද්ද? දවස් තුනකට පස්සේ චක්‍රලේඛය ආපහු හරවන්න සිද්ධ වුණා. අඩුම තරමේ චක්‍රලේඛයක් ගහනකොට කොතරම් කල්පනා කරනවාද කියලා මේකෙන් පේනවා. ආණ්ඩුවේම අය කියන්නේ මොළේ මැරිච්ච මිනිස්සු තීන්දු-තීරණ ගන්නවා කියලා.

මෑතදී ගෑස් පෝලීමක් තිබුණා. වසංගතයක් තුළ ගෑස් ටික, කිරිපිටි ටික ලබාදෙන්න ක්‍රමයක් ආණ්ඩුව හදන්න ඕනෑ. එහෙම නොවුණාම මිනිස්සු පෝලිමට යනවා. දවස් 3-4ක් ගෑස් පෝලිමක් හදලා අවසානයේ ගෑස් මිලත් වැඩි කළා. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නැතිවුණාම රට ඇරලා තියනවා නම් මිනිස්සුන් පාරට බහිනවා. රෝගයෙන් පරිස්සම් වෙන්න ඕනෑ කියලා මානසිකත්වය මිනිස්සුන්ගෙන් අයින් කරලා, එන්නතෙන් සියල්ලම හරියි කියලා ආණ්ඩුවෙන් මතයක් හදලා දැන් මිනිස්සුන්ට දොස් පවරනවා. අපි ආණ්ඩුවට කියන්නේ දැන්වත් ආඩම්බරකම් පැත්තකින් තියලා රෝගී වන සහ මියයන ජනතාව ගැන හිතලා තීන්දු ගන්න කියලා. වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥවරුන් ලබාදෙන නිර්දේශ අනුව තීන්දු ගන්න. මිනිස්සු හැටනම ලක්‍ෂයක් ආණ්ඩුවට ඡන්දය දුන්නේ විපතක් ආවාම දෙවියන්ට බාර දෙන්න නෙවෙයි. එහෙම නම් ආණ්ඩුව අයින් වෙලා මේ ගනුදෙනුව බේරගන්න අපට ඉඩ දෙන්න ඕනෑ. අවසාන වශයෙන් අපි අවධාරණය කරන්නෙ හරි තීන්දු අරගෙන මේ තත්වය පාලනය කරන්න කියලා. ඒවගේම යමක් හිතන අයට අපි අවධාරණය කරන්නේ ආණ්ඩුවට බලපෑම් කරන්න කියලා. මේ ආණ්ඩුවට යම්තම් ඇහෙන්නේ ලොකු සද්දයකින් කීවොත් විතරයි. මුළු ආණ්ඩුවක්ම මේ ව්‍යසනයට වගකියන්න ඕනෑ. ඒනිසා එයින් වළකින්න මුළු ආණ්ඩුවම මැදිහත් විය යුතුයි. අපි ජනතාවට කියන්නේ ඔබව රකින්නැති ආණ්ඩුවක් තිබෙන නිසා පරිස්සම් වෙන්න කියලා. ආර්ථිකය ගැන විතරක් හිතන මිනිස්සු ගැන නොහිතන ආණ්ඩුව මිනිස්සුන්ව රකින්නේ නැහැ. ඒ නිසා මේ වගේ ආණ්ඩු බලයට පත් නොකරන්න පාඩම් ඉගෙන ගන්න කියලත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ රෝගය පාලනය කිරීම සඳහා සංවිධානයක් ලෙස ජාතික ජන බලවේගයට ලබාදිය හැකි සියලුම දේ ලබාදෙන්න අපි ක්‍ර්‍රියා කරනවා. තීන්දු ගත යුත්තේ ආණ්ඩුවයි. නිවැරදි තීන්දු අරගෙන දැන්වත් මේ ව්‍යසනය පාලනය කරන්න අසරණ ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කරන්න මැදිහත් වෙන්න කියලා තදබල ලෙස අපි ආණ්ඩුවට බල කරනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *