Type to search

මෝචරියට දැඩ් තදබදය; දරුවන්ට කොවිඩ් වැළඳීමේ උපරිම ධාරිතාවයක

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

රාගම ශික්ෂණ රෝහලේ මේ වන විට මෘත දේහ ආදාහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇතැයි වාර්තා වේ. රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ, මෘතදේහ 20ක් පමණ ආදාහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇති බවය. එම මෘතදේහ යොමු කිරීමට නියමිතව ඇති ආදාහනාගාර කිහිපයක් අක්‍රිය වීමත් සමඟ එම මෘතදේහ තවදුරටත් නරක්වීම ගැටලු සහගත තත්ත්වයක් බවට පත්ව තිබේ.

“රාගම මැරුණු ඔක්කෝම මේකේ තමයි කරන්නේ. දැන් 215ක් විතර කරලා තියෙනවා. ගිය මාසේ 17වෙනි දා ඉඳලා මේක කැඩිලා තියෙන්නේ.”

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරය තුළද කොවිඩ් ආසාදිත මෘතදේහ මේ වන විට ගොඩගැසී තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බැවින් කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරා විවෘතව තැබීමට තීරණය කර තිබේ. මේ පිළිබඳ අදහස් දැක්වු කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය උදය රත්නායක මහතා පවසා සිටියේ, හඳුනා නොගත් මළ සිරුරු කිහිපයක් තිබෙන බැවින් එම මළ සිරුරු ප්‍රමිතියකට ශීතාගාරවල තැන්පත් කිරීම ගැටලුවක්ව ඇති බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ:
“මෘත ශරීර පසුගිය දින කිහිපයේ දීම රෝගීන් 70 – 90ක් මියගියා. මෙම රෝගීන් අපට ආදාහනය කරන්න වෙනවා. ඒ සඳහා එම ප්‍රදේශයේ ආදාහනාගාර අපට අවශ්‍යයි. ඒ ආදාහනාගාරවලට කොවිඩ් -19 ආසාදිතයින්ගේ මෘත ශරීර මෙන්ම අනෙකුත් සාමාන්‍යයෙන් මියයන අයගෙත් මෘත ශරීර ගෙන යනවා. සේ ආදාහනාගාරවල තිබුණ තදබදය නිසාවෙන් තමා මෘත ශරීර දින දෙක තුනක් එම රෝහල්වල තියා ගන්න වුණේ. මේ එකතුවෙලා තියෙන මෘත ශරීර සියල්ලම අද සහ හෙට අවසන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ”

කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසා සිටියේ:
“විශේෂයෙන් මේ මොහොත වන විට බොහෝ රෝහල්වල ධාරිතාවය ඉක්මවා ගොස් තිබෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් සංඛ්‍යාව අවසන් වෙමින් තිබෙනවා. ඒ නිසා වාර්තාවන විශාල රෝගීන් සංඛ්‍යාවක් අපට නිවෙස්වල රඳවා ගැනීමට සිදුව තිබෙනවා. සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහීමට ආසන්නයි.”

මේ අතර කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානිද සොයිසා මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ “මෝචරියට ඇති වී ඇති තදබදය හේතුවෙන් ඔබේ මරණය වළක්වා ගන්නේ නම් මැනවි” යන්නයි.

වොෂින්ටන් සරසවියේ සෞඛ්‍ය ප්‍රමිති හා ඇගයීම් පිළිබඳ පර්යේෂණ ආයතනය උපකල්පනය කර තිබෙන්නේ ඉදිරි සති දෙකක කාලය තුළ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2000 කින් ඉහළ යනු ඇති බවය.

දරුවන්ට කොවිඩ් වැළඳීමේ උපරිම ධාරිතාවයක

දරුවන්ට කොවිඩ් රෝගය වැළඳීමේ උපරිම ධාරිතාවකට පැමිණ ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි. (07)දින පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ, කොවිඩ් -19 ආසාදිත දරුවන් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවය.

දරුවන් මේ දිනවල සමාජයට රැගෙන නොයන ලෙස දෙමව්පියන්ට දැනුම්දෙන වෛද්‍යවරයා ප්‍රකාශ කළේ දෙමව්පියන් අනවශ්‍ය බියක් ඇතිකර නොගෙන රෝගී දරුවන් සම්බන්ධයෙන් සායනික කටයුතුවලට සහභාගි විය යුතු බවය.

“කුඩා දරුවන්ට මේ සම්බන්ධ අවදානමේ යම්කිසි උපරිම අවස්ථාවකට මේ අවස්ථාවේ දී ඇතිවෙලා තියෙනවා. එම නිසා දරුවන් ගැන වැඩිපුර අවදානය කරන්න සහ දරුවන්ට මේ රෝගය වැලඳීම වැළැක්වීමට දෙමාපියන් සහ වැඩිහිටියන් වශයෙන් අපේ යුතුකම ඉතා හොඳින්ම අවශ්‍ය අවස්ථාවක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. මේ රෝග තත්ත්වය විශාල වශයෙන් පැතිර යනකොට ප්‍රතිශතය අඩුවුණත් සංඛ්‍යාව වැඩිවීම නිසා දරුවන් තුළත් සංකූලතා ඇති දරුවන් බහුලව දක්නට ලැබෙන්න පුළුවන්. මේ දිනවල දරුවන් නිවස තුළමයි සිටින්නේ. ඔවුන්ව අනවශ්‍ය ලෙස සමාජයට රැගෙන යෑම සහ රෝගය සහිත පුද්ගලයින්ට නොදැනුවත්වම පිටත සමාජයේදී නිරාවරණය වීම වැළැක්වීම දෙමාපියන්ගේ ඉතා විශාල වගකීමක් හා යුතුකමක්.”

මේ අතර අවුරුදු දෙකට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් රෝග ලක්ෂණ නොමැති නම් නිවසේ දීම රැකබලාගත යුතු බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

“පළමු මාස 6ක් ඇතුළත දරුවා ඉන්නවා නම් කොහොමත් මව්කිරි ලබාදිය යුතුයි. අපි අවුරුදු 2කට අඩු ළමයින්ව රෝහලට ඇතුළත් කර ගන්නවා. නමුත් ඉස්සරහට රෝග ලක්ෂණ නැති වුණොත් දෙමාපියන්ට රෝගය තිබුණත් මව්කිරි ලබාදීම දිගටම ලබාදිය යුතුයි. දෙමාපියන් බය වෙනවා උණ තියෙන දරුවන්ට ෆිට් එක හැදෙයි කියලා. එහෙම බය වෙලා පැරසිටිමෝල් අනවශ්‍ය විදියට ලබාදෙන්න සුදානම් වෙනවා. ඒ වගේ දේවල් හොඳ නෑ. කිලෝ ග්‍රෑම් 1කට මිලිග්‍රෑම් 15ක් වන සේ දවසට උපරිම විදියට 4 සැරයක් පමණක් ලබාදිය යුතුයි. එයට වැඩිය පැරසිටිමෝල් ලබාදුන්නොත් අක්මාවට හානිවෙන්න පුළුවන්. ගෙදර දී දරුවා බලාගන්නා වෙලාවේ දී දරුවන්ට ආරක්ෂාව, විවේකය හා පෝෂ්‍යදායි ආහාරවේලක් ලබාදිය යුතුයි.”

දරුවන්ට වැළදෙන උණ සහ වලිප්පුව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද වෛද්‍යවරයා පැහැදිලි කළේය.

“උණයි වලිප්පුවයි කියන එක ළමයින්ගේ රෝගයක්. එයින් දරුවන්ගේ මොළයට හානියක් සිදුවන්නේ නෑ. නමුත් උණ නැතුව වලිප්පුව හැදෙනවා නම් එය ප්‍රශ්නයක්. එහෙම අයට අපි වලිප්පුවට දෙන ප්‍රතිකාර ක්‍රියාත්මක කරන්න ඕනේ. ළමා හතිය තියෙනවා නම් එයට නිසිලෙස ප්‍රතිකාර කළ යුතුයි. කාලයක් තිස්සේ ළමයින්ට තියෙන අනෙක් රෝග හෘද වස්තුවේ ආබාධ, වකුගඩුවේ ආබාධ, අක්මාවේ ආබාධ ඇති දරුවන්ට ප්‍රතිකාර දිගටම කළ යුතුයි. එවැනි දරුවන්ට කොවිඩ් හැදුනොත් බරපතළ වෙන්න පුළුවන්. උණයි ෆිට් එකයි කියන එකට බය වෙන්න එපා. සාමාන්‍යයෙන් අවුරුදු 6 පැන්නට පස්සේ ෆිට් එක නවතිනවා. උණ සහ වලිප්පුව හැදුනොත් පැත්තකට හරවලා තියන්න. විනාඩි 5කට වැඩිය තිබුණොත් ළඟම රෝහලක් වෙත ගෙනියන්න. උණ තියෙන දරුවෝ අයිස් හෝ ඇල්වතුරෙන් හෝදන්න එපා. අපි කළ යුත්තේ ළා උණු වතුරෙන් දරුවා සේදීමයි.”

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *