සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක් ළමුන් – විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක් ළමුන් - විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක් ළමුන් - විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක පමණ පිරිසක් කුඩා ළමුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පවසයි. ඉන් ළමුන් 14 දෙනෙක් මියගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ වන විට ළමුන් අතර, ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් ආසාදනය වෙමින් යන බවත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කළ වාට්ටු පිරී ගොස් ඇතැයි ද වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා සඳහන් කළේය.

“අපි රාජගිරියේ වෙනත් තැනක තවත් වාට්ටු දෙකක් විවෘත කරන්නට මේ වන විට කටයුතු කරලා තියෙනවා. අද උදේ වන විට ළමුන් 150ක් පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ ඉන් පාලනය වන අනෙකුත් වාට්ටු දෙකේ ප්‍රතිකාර ලබනවා. එපමණක් නෙවෙයි. පසුගිය සතිය පුරා සියලු රෝහල්වල ළමා වාට්ටු කොරෝනා රෝගීන්ගෙන් පිරිලා ගියා. සංඛ්‍යා ලේඛන ගත්තොත් මේ වන විට කොරෝනා ආසාදිත ළමුන් 45,000ක් ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. එයින් 20,000ක් පමණ වයස අවුරුදු 10ට අඩු ළමුන්. එයින් 14ක් මියගොස් තිබෙනවා. රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පමණක් පසුගිය වසර පුරා කොරෝනා සම්බන්ධ රෝගවලින් මියගියා.”

සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරන කොවිඩ් ආසාදිත ළමුන් රෝහල්ගත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පෙන්වාදෙයි.

“හැම දරුවෙකුම රෝහලකට ඇතුළත් වෙලා ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ, හැකියාවක් තියෙනවා නම් හෙම්බිරිසාව, ළා උණ තියෙන දරුවෝ රෝහල් වෙත ගේන්නේ නැතුව ගෙදර දී බලාගන්න ඒක වඩාත්ම වැදගත් වෙනවා. නමුත් කුමන වෙලාවේ දිද දරුවාව රෝහලක් කරා රැගෙන ආ යුත්තේ. තද උණ තියෙනවා නම් දරුවා කන්නේ බොන්නේ නැත්නම් වමනය, පාචනය සිදුවෙලා දරුවාට අමාරුයි කියලා හිතෙන ඕනෑම වෙලාවක රැගෙන ආ හැකියි.”

මේ අතර, යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පත්වී දින 03ත් 05ත් අතර කාලයකදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට හෝ පීසීආර් පරීක්ෂණයකට යොමු වියයුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය උපුටා දක්වමින් චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

මීට පෙර කොවිඩ් සමීප ආශ්‍රිතයෙකු බවට පත්වී දින 05ත් 07ත් අතර කාලය තුළ කොවිඩ් පරීක්ෂණයකට ලක්විය යුතු බවට නිර්දේශවී තිබුණි.

එමෙන්ම මාස දෙකකට ආසන්න කාලයකට පසු දෛනික වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ දිනයේ වාර්තාවී තිබේ.

(07) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,815 දෙනෙකු හඳුනාගත් අතර එය පසුගිය ජුනි මස 06 වන දිනට පසුව දිනක් තුළ මෙරටින් හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව සඳහන් වේ.

ගතවූ දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් දිස්ත්‍රික්ක බවට කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්ක වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්ක දෙකෙන් නව ආසාදිතයින් 413 දෙනෙකු බැගින් හඳුනාගෙන තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 324 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 243 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මහනුවර, කුරුණෑගල, අම්පාර, රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබුණි.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 327, 038 දෙනෙකු වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,017ක් වේ.

අගෝස්තු මාසයේ ගතවූ දින 06 තුළ පමණක් සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 509කි. ඒ අනුව මේ වන විට දෛනිකව මෙරටින් කොවිඩ් මරණ 85ක් පමණ වාර්තා වේ.

මේ අතර රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ එක්රැස්ව පවතින කොවිඩ් මෘත දේහ කඩිනමින් ආදාහනය කිරිමට තීරණය වී තිබේ.

මෘත ශරිරාගාරයේ පවතින කොවිඩ් මෘත දේහ 26ක් කඩිනමින් මහර, වත්තල, බියගම, ජා ඇළ හා මීගමුව යන නගර සභා හා ප්‍රදේශිය බල ප්‍රදේශවල පිහිටි ආදාහනාගාර වෙත යොමු කිරීමට එම රෝහලේදී පැවැති සාකච්ඡාවකදී තීරණය වී ඇති බව සඳහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *