පාපන්දු සම්මේලනයට ලැබුණු රුපියල් කෝටි ගණනක මුදල් පිල්ලි ගහලා

පාපන්දු සම්මේලනයට ආධාර වශයෙන් ලැබුණු රුපියල් කෝටි ගණනක මුදලක් එම සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා විසින් අවභාවිත කර ඇතැයි කෝප් කාරක සභාවේදී පසුගිය දා (03) අනාවරණය වී තිබේ.

කළුතර පාපන්දු ක්‍රීඩාංගණය ඉදි කිරීම සඳහා ඉතාලි පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමය මගින් පරිත්‍යාග කළ යූරෝ 40,400ක්ද (රු.6,287,670), ආසියානු පාපන්දු සම්මේලනය මගින් තරග පැවැත්වීමට දුන් ඩොලර් 60,000ක් ද (රු.6,415,290), විපතට පත් වූවන්ට නිවාස 20ක් ඉදි කිරීමට පෞද්ගලික සමාගමක් මගින් පිරි නැමූ රුපියල් මිලියන 10ක මුදලක්ද, ආසියානු පාපන්දු සම්මේලනය විසින් පරිත්‍යාග කරන ලද ඩොලර් 200,000ක්ද මුදලක් මෙසේ අවභාවිත කර ඇති බව හෙළි වී තිබේ.

ජාතික විගණන කාර්යාලයේ විමර්ශනය මඟින් අනාවරණය කර ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් අහ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කඩිනමින් වාර්තාවක් කෝප් කාරක සභාවට දැනුම් දෙන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.

පාපන්දු සම්මේලනයේ අවසන්වරට පැවැති නිලවරණය පැවැත්වීම වෙනුවෙන් නිලවරණ කමිටු සභාපතිට රු 750,000ක මුදලක් සහ අනෙකුත් සාමාජිකයන් දෙදෙනාට රු. 600,000 බැගින්ද ලබා දීමට අනුමත කිරීම සම්බන්ධව ද පෙරේදා (03) පැවැති කෝප් කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

2021 වසරේ අප්‍රේල් මස 22 වැනිදා කෝප් කාරක සභාව රැස්වෙන විට මෙම මුදල් ගෙවූ බව කිසිදු නිලධාරියකු ප්‍රකාශ නොකළ අතර අප්‍රේල් මස 20 වැනි දින එම මුදල් ගෙවා ඇති බව දැන් පැවසීම සැක සහිත බව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා එහිදී පැවසීය.

ඒ පිළිබඳ සොයා බලා පවතින ක්‍රමවේදය ක්‍රමවත් කිරීමට පියවර ගන්නා ලෙස කෝප් කාරක සභාව නිර්දේශයක් ද නිකුත් කර ඇති බව පැවසූ හේරත් මහතා මේ සම්බන්ධව අභ්‍යන්තර වශයෙන් විමර්ශනයක් සිදුකර සති 02ක් ඇතුළත කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.

පාපන්දු සම්මේලනයේ හිටපු මුදල් කළමනාකරු විසින් තරග විනිසුරුවන් ලෙස ව්‍යාජ නම් ඇතුළත් කර රු.46,860,672 ක මුදලක් ලබා ගෙන ඇති බව 2020 වසරේ අගෝස්තු මාසයේදී අනාවරණය වී තිබු අතර, එම මුදල් මෙතෙක් අයකර නොගැනීම සම්බන්ධව කාරක සභාවේ අප්‍රසාදය මෙහිදී පළ කෙරිණි. මේ පිළිබඳ ද සොයා බලා වහාම කාරක සභාවට දන්වන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට තවදුරටත් නිර්දේශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *