ගුරු වර්ජනයට රතු එළියක් – වැටුප් වැඩි කිරීමට හැකියාවක් නැහැ

ගුරු - විදුහල්පතිවරුන්ගේ වර්ජනයට රතු එළියක්

ගුරු - විදුහල්පතිවරුන්ගේ වර්ජනයට රතු එළියක්

ගුරු වැටුප් වැඩි කිරීමට හැකියාවක් නැහැ – භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල

මේ අවස්ථාවේ ගුරු වැටුප් වැඩි කිරීමට හැකියාවක් නැතැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල පවසයි.

භාණ්ඩාගාර ලේකම්වරයා එලෙස පවසා සිටියේ ඔහුගේ සහභාගිත්වයෙන්, වසංගතය හමුවේ ආර්ථික කළමනාකරණය සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීය.

පවතින කොවිඩ් බලපෑම මත එලෙස වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බවද ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 68ක මුදලක් වැය වන බවද භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල එහිදී ප්‍රකාශ කර තිබේ.

එන්නත්කරණය සඳහා මුදල් වෙන්කිරීමට තිබීමත් ඒ අනුව වැටුප් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට මෙම අවස්ථාවේ ඉඩක් නොමැති බවත් ඔහු එහිදී පවසා ඇත.

ගුරු වැටුප් විෂමතා ගැටලුව 1994 වර්ෂයේ පටන් පැමිණි ගැටලුවක් බවද ඉදිරියේදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට හැකියාවක් තිබෙන බවද ඔහු පවසයි.

රාජ්‍ය සේවක වැටුප් සහ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජයට අවුරුද්දකට ට්‍රිලියනයකට අධික මුදලක් වැය වන බවද රාජ්‍ය සේවක වැටුප් සඳහා අවුරුද්දකට රුපියල් බිලියන 800ක් සහ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් සඳහා අවුරුද්දකට රුපියල් බිලියන 250ක් ලෙස එලෙස ට්‍රිලියනයකට අධික මුදලක් වැය වන බවද භාණ්ඩාගාර ලේකම්වරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ගුරු වැටුප් වැඩි කළහොත් එය රුපියල් බිලියන 1,100 දක්වා වැඩිවන බවද එය මෙම අවස්ථාවේ රජයට දැරිය නොහැකි තත්වයක් වන බවද භාණ්ඩාගාර ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමක් කළ නොහැකි; ඒ පිළිබඳ යමක් කිරීමට ඉදිරි අයවැයේදී සලකා බලනවා – අමාත්‍ය ගාමිණී ලොකුගේ

රටේ පවතින මූල්‍ය අර්බුදය අනුව මේ මොහොතේ ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමක් කළ නොහැකි බවටත් ඒ පිළිබඳ යමක් කිරීමට ඉදිරි අයවැයේදී සලකා බැලීමටත් කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීන්දු කළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

“අධ්‍යාපන ප්‍රශ්නය ඉතිං අපේ ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ඒක පහුගිය කාලෙ ආණ්ඩුව කාලෙ තිබිච්ච ප්‍රශ්නයක්, දැන් අපෙන් ඉල්ලනවා. මේ වෙලාවෙ අපි ගාව දෙන්න සල්ලි නෑ. ආයෙ අයවැය ලේඛනයෙන් තමා අපි ඒ ගැන කල්පනා කරන්නෙ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණාද යෝජනාව ?

“ඔව්, ඔව්. මේ රටේ තියෙන මුදල් තත්වයත් එක්ක ඒක ගෙවන්න පුළුවන්කමක් නෑ. ඒ හින්දා අපි ඒගොල්ලන්ට කියනවා අනාගතයේ අපි ගෙවනවා ඒක”

ප්‍රශ්නය – දැන් එතකොට අද දිනයේදී මොනවගේ තීරණවලටද ආවෙ ?

“අද දිනයේදී ඒ ගැන කතා කළා. ඒක ඉතිං ඒගොල්ලොන්ව දැනුවත් කරන්න කිව්වා මේ තත්වය පිළිබඳ පැහැදිලි කරලා. බිලියන 56ක් ඕනෙ ඒ කියන ඉල්ලීම දෙන්න නම්. එහෙම 56ක් මේ වෙලාවෙ වැය කරන්න පුළුවන්කමක් නෑ”

ප්‍රශ්නය – මේ වර්ජන ක්‍රියාමාර්ගය එතකොට දිගටම යනවානෙ ? මොනවද කරන්නෙ ඒකට ?

“වර්ජනය ගිහිල්ලා ඉතිං … ඒගොල්ලොන්ට වර්ජනය කරන එක අපට එපා කියන්න බෑනෙ, නිදහසක්නෙ. ඒක කරපුවාවෙ”

ප්‍රශ්නය – ජනාධිපතිතුමා මේකට සුබදායී පිළිතුරක් දුන්නෙම නැද්ද ඒ කියන්නෙ ?

“නෑ, සුබදායී පිළිතුර තමයි අයවැය ලේඛනයෙදි අපට ඒකට කරන්න පුළුවන් දෙයක් බලලා කරනවා”

ප්‍රශ්නය – දැන් ඒකමතිකව තීන්දුවකට ආවාද සියලු දෙනාගේම කැමැත්තෙන් ?

“නැතුව ? ඒකමතිකව තමා”

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ (02) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *