පාසල්වලට පැමිණ පාසැල් විවෘත කිරීමට සූදානම් කරන්න – ජී.එල් පීරිස් ඉල්ලයි

සියලුම රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය පරිදි කාර්යාලවලට පැමිණ රාජකාරී කළ යුතු බවට රජය දැනුම් දී තිබෙන නිසා පාසල්වලට පැමිණ පාසැල් විවෘත කිරීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතුවලට යෙදෙන්නැයි සියලු ගුරු භවතුන්ගෙන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් තමන් ඉතා ඕනෑකමින් සහ ආයාචනාත්මකව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා.
ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව අගෝස්තු මස අවසානයට පෙර ලබාදී ඉන්පසු රටේ පාසැල් විවෘත කිරීමේ හැකියාවක් ඇතැයි කී ඇමතිවරයා දිගින් දිගටම පාසල් වසාතැබීමේ හැකියාවක් නැතැයි ද සඳහන් කළා.

ඊට අදාළ පෙර සැලැස්මක් ලෙස පාසැල්වලට පැමිණ වැඩකටයුතු කරගෙන යෑමට සහයෝගය දෙන්නැයි විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි ඇමතිවරයා කියන්නේ.

සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව හැකිතාක් ඉක්මණින් පාසැල් විවෘත කිරීම රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් බව කී ඇමතිවරයා එහි ප්‍රථම පියවර ලෙස එන්නත් ලබාදීම කරගෙන යන බව ද පැවසීය.

ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 83% කට පළමු මාත්‍රාව ලබාදී ඇතැයි කී ඇමතිවරයා ඒ අනුව බස්නාහිර පළාතේ 98% කට, ඌව පළාතේ 95%කට, මධ්‍යම සහ වයඹ පළාත්වල 84%කට, උතුරු මැද හා දකුණු පළාත්වල 83%කට, උතුරු පළාතේ 82%කට, නැගෙනහිර පළාතේ 74%කට සහ සබරගමු පළාතේ 52%කට එන්නකේ පළමු මාත්‍රාව ලබාදී ඇතැයි ඇමතිවරයා සඳහන් කරනවා.
මේ නිසා ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ලබන අගෝස්තු මස අවසන් වනවිට දෙවන මාත්‍රාව ලබා දී අනතුරුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව පාසැල් විවෘත කිරීමේ හැකියාව තිබෙන බවයි ඔහු කියන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *