වසර 100ක් ජීවත් වන්නේ කොහොමද? – ‘ජපන් රහස’

වසර 100ක් ජීවත් වන්නේ කොහොමද? - 'ජපන් රහස'

වසර 100ක් ජීවත් වන්නේ කොහොමද? - 'ජපන් රහස'


සියක් ආයු ලද මිනිසුන් – සරලවම කියනවා නම්, අවුරුදු 100ක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වූ මිනිසුන් – වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජපානයෙනි.

අනුපාතයක් හැටියට කිවහොත්, සෑම ජපාන වැසියන් ලක්‍ෂයකින් 48 දෙනෙකුම සිය වෙනි උපන්දිනය පසු කරති. මෙම අනුපාතයට ලං වීමටවත් හැකියාවක් පවතින වෙනත් රටක් මේ මහපොළොව මත නැත. ලෝකයේ වෙනත් රටවල ඇතැම් මිනිසුන් මේ දෙස බලන්නේ විමතියෙනි.

මේ සා විශාල පිරිසක්, සියක් ආයු ලබන්නට හේතුවූ කරුණ කුමක්ද? අපට නොමැති, ජපන් ජාතිකයන්ට පමණක් ඇති අරුම පුදුම දේ කුමක්ද? එහි රහස, ජපන් වැසියන් ආහාරයට ගන්නා යමක්ද?

මේ ගැන කල්පනා කරනවිට අපේ සිහියට නැගෙන්නේ මධ්‍යධරණී කලාපයේ පැවති ආහාර රටාව පිළිබඳව ය. ඇමරිකානු පෝෂණවේදියෙකු වූ ඇන්සෙල් කීස් හැත්තෑව දශකයේ දී, එහි අතීත තතු සොයන්නට වූයේ, ඉතාලියේ සියක් ආයු ලද්දන් ගැන ඔහු සැළකිලිමත් වූ නිසාවෙනි.

තවත් පෝෂණවේදියෙකු වන වෝල්ටර් විලට් 90 දශකයේදී ලියන ලද පර්යේෂණ ලිපියක, ජපානයේ අසාමාන්‍ය ලෙස දීර්ඝායුෂ ලබන්නන් ගැන සඳහන් කර තිබුණි. හෘදයාබාධ හේතුවෙන් මියයන මිනිසුන් ප්‍රමාණය ජපානයේ ඉතා අඩු බව එහි සඳහන් විය.

එතැන් පටන්, විවිධ පර්යේෂණ වාර්තාවලින් ප්‍රශ්න කර තිබුණේ මෙම චිර ජීවනය පිටුපස ඇති රහස ආහාර රටාව ද? යන්නයි.

එය සත්‍යයක් නම්, සියක් ආයු ලබන්නට අපේ පිඟානට අලුතෙන් එක්විය යුත්තේ මොනවාද?

ජපන් ආහාරය යනු ඉතා පුළුල් සංකල්පයක් බව, වෘද්ධචිකිත්සාව (Geriatrics) සහ වෘද්ධ විද්‍යාව (Gerontology) සඳහා වන ජපානයේ පර්යේෂණ මධ්‍යස්ථානයේ, වසංගත රෝග පිළිබඳ පර්යේෂක ශූ ශැන්ග් පෙන්වා දෙයි. නමුත් එය අප කාටත් ආහාරයට ගත හැකි සුෂී බන්දේසියක් නොවන බව ඔහු අවධාරණය කරයි.

කෙසේ නමුත්, ජපන් ආහාර සහ ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳව සිදු කර ඇති අධ්‍යයන 39ක වාර්තා මෑතකදී සමාලෝචනයට ලක් කෙරුණි. එම වාර්තාවලින් බොහොමයක පොදුවේ සඳහන් කර තිබූ ආහාර වර්ග කීපයක් පවතී. කරදිය මාළු ඇතුළු සාගරයෙන් ලබා ගන්නා ආහාර, එළවලු, සෝයා බෝංචි සහ එමගින් නිෂ්පාදිත ආහාර වර්ග (සෝයා සෝස් වැනි), බත් සහ මිසෝ සූපය (miso soup) ඒ අතර ප්‍රධාන ය.


මිසෝ සූපය

“ඒ ගැන තව මොකට කියනවද? කොහොමටත් මේ වගේ ආහාර ගැනීමෙන් හෘදයාබාධ වලින් මියයාම අඩු වෙනවා. ඒ වගේම පිළිකා වගේ ලෙඩ හැදෙන්නෙත් නැහැ.” ශූ ශැන්ග් පැවසීය.

ඒ අනුව බලන කල, මෙවැනි ආහාර සහ සමස්ථ මරණ අනුපාතිකය අඩු වීම අතර සම්බන්ධතාවයක් පවතින බව පෙනී යයි.

ජපන් ජාතිකයන්ට දීර්ඝ ආයුෂ ගෙන දෙන්නට ඔවුන්ගේ ආහාරවලින් කුමන වර්ගය නිශ්චිතවම හේතු වන්නේදැයි සොයා බැලීම සඳහා ජපානයේ ටොහෝකු විශ්ව විද්‍යාලයේ ආහාර සහ අනුක ජීව විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ට්සුයෝෂි ට්සුඩුකි අධ්‍යයනයක යෙදුනේය.

තම සගයන් සමඟ ඔහු මුලින්ම කළේ ජාතික සමීක්ෂණ දත්ත උපයෝගී කරගනිමින් 90 දශකයේ දී ජපන් ආහාර වේල් කීපයක අඩංගු වූ ද්‍රව්‍ය සහ එම දශකයේදී ම අමරිකානුවෙකුගේ ආහාර වේල් කීපයක අඩංගු වූ ද්‍රව්‍ය ලැයිස්තුගත කර ගැනීමය.

මෙම කෑම වර්ග සති තුනක් පුරා මීයන්ට කෑමට සලස්වා ඇත. අනතුරුව සමීක්ෂකයෝ මෙම මීයන් පිළිබඳව විමසිල්ලෙන් සිටියෝය.

මීයන් කණ්ඩායම් දෙකකට වෙන වෙනම ආහාරයට දුන් මෙම ඇමරිකානු සහ ජපන් ආහාර නියැදිවල එකම ප්‍රමාණයට මේදය, ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට සමන්විත වන පරිදි සකස් කොට තිබුණ නමුත් ජපන් ආහාර ලබාදුන් මීයන්ගේ රුධිරයේ තිබුණු මේද ප්‍රමාණය අඩු මට්ටමක පැවතුනි. ජපන් ආහාර ලබා ගත් මීයන්ගේ සිරුරේ උදර ප්‍රදේශයේ තැන්පත්වී තිබුණු මේද තට්ටුව ද අඩු මට්ටමක පැවතුණු බව පෙනී ගියේය.

එයින් යෝජනා කර තිබුණේ එකම පෝෂ්‍ය පදාර්ථය සැපයෙන නමුත් ආහාර වර්ගය ඊට බලපෑ ඇති බවය. එනම්, මස් වෙනුවට මාළු, තිරිඟු වෙනුවට හාල් ආදී වශයෙනි.

මෙම අධ්‍යයනය තවත් ගැඹුරට යමින්, පසුගිය අඩසියවස පුරා කාලයත් සමඟ ජපන් ආහාර වට්ටෝරුවල ඇතිවී තිබෙන වෙනස්කම් පිළිබඳව සොයා බැලූහ. විවිධ ජාතීන් වාසය කරන නාගරික ප්‍රදේශවල ආහාර රටාව ක්‍රමයෙන් බටහිර පන්නයට නැඹුරු වී ඇති බව මෙහිදී පෙනී ගියේය.

ජාතික දත්ත භාවිතා කරමින් ජපානයේ ජාතික ආහාර වේල 1960, 1975, 1990 සහ 2005 යන වසර කාණ්ඩවලට වෙන් කරන ලදී. මෙම ආහාර මීයන්ට ලබා දෙමින් පර්යේෂණය ඉදිරියට ගියේය. මෙම අධ්‍යයනය මාස අටක් තිස්සේ පැවතුණි.

සෑම ජපන් ආහාරයකින් ම එකම ප්‍රතිඵලය ලබා නොදෙන බව ඉන් පෙනී ගියේය.

1975 වසර කාණ්ඩයේ ආහාර ලබා දුන් මීයන්ට දියවැඩියාව ඇතිවීමේ සහ අක්මාවේ මේදය ඇතිවීමේ අවදානම අවම විය.

තවදුරටත් පර්යේෂණ සිදු කරද්දී විද්‍යාඥයන්ට පෙනී ගියේ අක්මාවේ මේදය නිපදවීම සඳහා සහය වන ජාන අනෙකුත් නියැඳිවල මීයන්ගේ සිරුරේ ක්‍රියාකාරී වී ඇති බවය.

එසේ නොවූ මීයන්ට ලබා දුන් ආහාර මුහුදු පැලෑටි (seaweed), මුහුදු මාළු, පලා වර්ග, පලතුරු සහ සම්ප්‍රදායික කුළුබඩු වලින් පොහොසත් විය. අධික සීනි ප්‍රමාණයක් ශරීරගත නොවන පරිදි නානාප්‍රකාර ආහාර වර්ගවලින් මෙම මී නියැඳිය පෝෂණය කෙරුණි.

1975 වසර කාණ්ඩයේ ආහාර ලබා දුන් මෙම මී නියැඳිය පිළිබඳව දිගටම අධ්‍යයනය කරමින් සිටි අතර පසු කාලීනව මෙම මීයන් අනෙකුත් මීයන්ට වඩා වැඩි කාලයක් ජීවත් වූ බව සනාථ විය. වයස් ගත වුවද නිරෝගී වූහ. ශාරීරික දුබලතා පෙන්වූයේ අඩුවෙනි. වැඩි මතක ශක්තියක් පෙන්නුම් කළහ.

අවසානයේ මෙම අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත්තේ ජපන් ජාතිකයන්ගේ දීර්ඝායුෂ, නිරෝගීභාවය සහ ඔවුන්ගේ ආහාර අතර සම්බන්ධතාවයක් පවතින බවය.

එම ආහාර වර්ග මගින් මානව ශරීරයට යහපත් බලපෑමක් ඇති කර තිබෙන බව ට්සුයෝෂි ට්සුඩුකි ඇතුළු විද්‍යාඥ කණ්ඩායම සොයා ගත්හ.

ජපානයේ නවීන ආහාර වට්ටෝරුවලින් සැදුම්ලත් කෑම ලබා ගන්නා, ශරීර ස්ථුලභාවයෙන් යුත් උදවිය ගැන ද දින 28ක පර්යේෂණයක් දියත් විය. මෙම පිරිසට 1975 වසර කාණ්ඩයේ වට්ටෝරුවලින් සැදුම්ලත් ආහාර ලබා දුන්හ. ඔවුන්ගේ ශරීර බර අඩු විය. කොලෙස්ටරෝල් අංකය වඩා යහපත් මට්ටමකට පැමිණියේය.

පර්යේෂණය අවසානයේ දී, අනෙකුත් වසර කාණ්ඩවලට අයත් වට්ටෝරු සහිත ආහාර ලබා ගත් උදවියට වඩා 1975 වසර කාණ්ඩයේ ආහාර ලබාගත් පිරිසගේ ශරීර හැඩය පවා යහපත් මට්ටමක පැවතුනි.

මෙම පර්යේෂණය සිදු කෙරෙන අතරතුර ඊට සහභාගිවූ පිරිසගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ඇතිවන වෙනස්කම් පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටි ට්සුයෝෂි ට්සුඩුකි ඇතුළු විද්‍යාඥ කණ්ඩායම විශ්වාස කරන්නේ ඉහත කී හොඳ ප්‍රතිඵල ලබා දීම සඳහා මිනිස් සිරුර තුළ සිටින යහපත් ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ද වැදගත් සාධකයක් වන බවය.

මෙන්න රහස!

1975 වසර කාණ්ඩයට අයත් කෑම වට්ටෝරුවලින් යහපත් බලපෑමක් සිදුකර ඇත්නම් එයින් පෙනී යන්නේ ජපන් ආහාරවල පවතින පෝෂ්‍ය පදාර්ථ මෙන්ම එම ආහාර පිළියෙළ කරන ආකාරය ද ඊට වැදගත් වී ඇති බවය.

මෙම ආහාර කාණ්ඩය කුඩා ප්‍රමාණයෙන් සහ විවිධාකාර කෑම වර්ගවලින් සමන්විත විය. එමගින් රසය ද විවිධාකාර විය.

එකී ආහාර වර්ග බොහෝ විට සකස් කෙරුණේ ජල වාෂ්පයෙන් තම්බා (steamed) ගැනීමෙනි. නැතහොත් තෙල් තාච්චියේ බැදගන්නවා වෙනුවට මදගින්නේ තම්බා ගෙනය. එමෙන්ම එම ආහාරවල රසය වැඩි කර ගැනීම සඳහා (ලුණු හෝ සීනි වැඩි ප්‍රමාණයක් යොදා ගැනීම වෙනුවට) යොදා ගත්තේ සම්ප්‍රදායික රස කාරක ස්වල්පයක් පමණි.

කෙටියෙන් කියනවා නම්, ජපනා දීර්ඝායුෂ ලබන්නේ මුහුදු පැලෑටියේ හෝ සෝයා සෝස් වල ඇති මැජික් බලයක් නිසා නොව; ඔවුන්ගේ ආහාර රටාව විවිධාකාර කෑම වර්ගවලින් සමන්විත වීම සහ ඒවා සෞඛ්‍ය සම්පන්න ආකාරයට පිළියෙළ කරගනිමින් අනුභව කිරීම නිසාය. ඔවුන්ගේ කෑම පිඟානට එළවලු සහ රනිල කුලයේ පලාවර්ග වැඩි වශයෙන් එකතු කර ගැනීම නිසාය.

ඒ කියන්නේ, මෙය ජපනාට පමණක් නොව, ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයකි.

නමුත් නවීන ජපන් වැසියන් වුවද මේ අවවාදය පිළිපදින බවක් පෙනෙන්නට නැත.

මෑත කාලය ඇතුළත ජපානයේ දියවැඩියා රෝගීන් බහුල විය. වයස්ගත ජනගහනය වැඩිවීම මෙන්ම ශරීර ස්ථුලභාවය ද ඊට හේතු වී තිබේ.

යහපත් ආහාර රටාවක් මගින් සියක් ආයු ලබන පිරිස වැඩි කරගන්නට ලොව ඕනෑම රටකට බැරි කමක් නැත.

(වෙරෝනික් ග්‍රීන්වුඩ් විසින් BBC Future අංශයට සපයන ලද ලිපියක් ඇසුරෙනි.)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *