උද්ඝෝෂණකරුවන් නිරෝධායනයට යොමුකිරීම PHI උපදෙස් මත – සරත් වීරසේකර: එවැනි නිර්දේශ ලබා දීමට PHIලා සූදානම් නෑ

උද්ඝෝෂණකරුවන් නිරෝධායනයට යොමුකිරීම PHI උපදෙස් මත - සරත් වීරසේකර; එවැනි නිර්දේශ ලබා දීමට PHIලා සූදානම් නැත - උපුල් රෝහණ

උද්ඝෝෂණකරුවන් නිරෝධායනයට යොමුකිරීම PHI උපදෙස් මත - සරත් වීරසේකර; එවැනි නිර්දේශ ලබා දීමට PHIලා සූදානම් නැත - උපුල් රෝහණ

නීති විරෝධී උද්ඝෝෂණවල නිරතවූ බව කියමින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිරෝධායනයට යොමුකිරීම සෞඛ්‍ය අංශවල උපදෙස් මත සිදුවූවක් බවයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසන්නේ. මේ නිසා අදාළ ක්‍රියාවලියේ දී පොලිස් නිලධාරින්ගේ වරදක් නොමැති බව අමාත්‍යවරයා කියනවා.

“පොලීසිය කවදාවත් තමන්ට අවශ්‍ය කරන විදියට නීතිය නවලා හිතුමතේ වැඩ කළේ නෑ. පොලීසිය වැඩ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග පිට. නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග නිකුත් කරන්න පුළුවන්. ඔහු නියෝගයක් නිකුත් කරලා තිබුණා පොලිස්පතිතුමා ට සියලූම උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි ඒක රෝග ව්‍යාප්තියට බලපාන නිසා කියලා. අපි එදා උද්ඝෝෂණයට සහභාගී වෙන අයට උදේ ඉදලා ම කිව්වා. අපි බැනර් දැම්මා. අපි ස්පීකර්වලින් කිව්වා. එන්න එපා කිව්වා. මෙහෙම නියෝගයක් තියෙනවා කියලා කිව්වා. ඒ සියලු දේම අහන්නේ නැතුව තමයි ඔවුන් ඒ උද්ඝෝෂණයට සහභාගී වුණේ නිරෝධායන නීති කඩමින්. ඒ අනුව තමයි පොලීසිය ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ. අපි නිරෝධායනයට යැව්වේ පොලීසියට ඕන නිසා නෙමෙයි. ඒකටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගේ ලිඛිත ලේඛනයක් අපිට තියෙනවා වහාම නිරෝධායනයට ලක්කළ යුතුයි කියලා. ඒ අනුව තමයි අපි කටයුතු කළේ. ඒ නිසා ඒකට පොලීසියට කාටවත් දොස් කියන්න බෑ.”යි අමාත්‍යවරයා පවසනවා.

විරෝධතාවයන්ට සම්බන්ධ වන පිරිස් නිරෝධායනයට යැවීම සඳහා නිර්දේශ ලබා දීමට මහජන පරීක්ෂකවරුන් සූදානම් නැත – උපුල් රෝහණ

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහි විරෝධතාකරුවන් නිරෝධායනය සඳහා යොමු කරනු ලැබූවේ PHI නිර්දේශ මත යැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ඇමතිවරයා පවසා තිබුණා. එහෙත් එවැනි නිරේදේශ ලබා දී තිබේ නම් ප්‍රසිද්ධ කරන ලෙසට විවිධ පාර්ශවයන්ගෙන් ආණ්ඩුවට අභියූගයන් එල්ල කළා.

විශේෂ ප්‍රකාශයක් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ උද්ඝෝෂකයින් නිරෝධායනය කිරීමට නිර්දේශ දෙන්න තමුන් සූදානම් නැති බවයි. නිරෝධායන ආඥා පනත යටතේ ඇති ප්‍රධාන කණ්ඩායම් තුන සඳහා පමණක් නිරෝධායනය කිරීම හෝ අධිකරණයට ඉදිරිපත් කිරීම යන කාරණා සම්බන්ධයෙන් පමණක් තමන් නිර්දේශ ලබා දෙන බවයි ඔහු පවසන්නේ.

පසුගිය දිනවල පැවති ප්‍රධාන උද්ඝෝෂණ දෙකකට පැමිණි පිරිස නිරෝධායනයට යොමු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිර්දේශ නිකුත් නොකළ බවත් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පසුගියදා පැවැත්වූ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ සංවිධාන වල උද්ඝෝෂණයට සහභාගී වූ පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා නිර්දේශ ලබා දී ඇත්තේ කොම්පඤ්ඤවීදිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් වන අතර ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සම්බන්ධයක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *