අවුරුදු 12 කට පසු ඊශ්‍රායෙලයට නව අගමැතිවරයෙක් – යුදෙව් ජාතිකයින් පමණයි සංකල්පයට පිටින් ගිය ආණ්ඩුවක්

2009 අවුරුද්දේ සිට එක දිගට ඊශ්‍රායෙල අගමැතිවරයා ලෙස සිටී බෙන්ජමින් නෙතන්යාහු වෙනුවට නව අගමැතිවරයෙක් පත්වී සිටී.

2019 අවුරුද්දේ සිට පැහැදිලි ජනවරමක් නැතිව ආණ්ඩුවක් පිහිටුවීමට බැරිව අවුරුදු දෙකක් තුළ පැවැත්වූ සිව්වන ඡන්දය ද එවැනිම ප්‍රතිඵලයක් ලබා දී ඇත. ආසන 120 ක් සහිත ඊශ්‍රායෙල පාර්ලිමේන්තුව වන Knesset (හීබෲ උච්චාරණය අනුව “කනැසත්”) සභාවේ ආසන තිහක් ලබාගෙන නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය තවමත් ලොකුම පක්ෂය ලෙස සිටී.

නමුත් අනෙකුත් පක්ෂ රැසක් එකතු වී ආසන 61 ක සන්ධානයක් ඇතිකර ගැනීමට සමත්ව ඇත. ඡන්දය අවසන් වී මාස දෙකහමාරක් පමණ තිබුණු භාරකාර ආණ්ඩුව මෙයින් අවසන් වේ යැයි බලාපොරොත්තු වේ. නෙතන්යාහු සමග සිටි අන්ත දක්ෂිණාංශික කුඩා පක්ෂයකට පළමු අවුරුදු දෙක සඳහා වූ අගමැති ධූරය සහ වත් වරප්‍රසාද කිහිපයක් ලබාදීමට සන්ධානය එකග වී ඇත. ප්‍රථම වතාවට අරාබි පක්ෂයක් ද ආණ්ඩුපක්ෂ සන්ධානයට එකතු වී සිටීම විශේෂ පුවතක්.

යුරෝපයෙන් පලස්තීනයට පැමිණි යුදෙව් සරණාගතයන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් වූ ඉර්ගුන් සහ හගානා විසින් පලස්තීනයේ විශාල ප්‍රදේශයක් අල්ලාගෙන 1948 දී ඊශ්‍රායෙල රාජ්‍යය ඇති කෙරිණි. එම අවස්ථාවේ විශාල ප්‍රමාණයක වැසියන් සරණාගතයින් ලෙස පලාගොස් තවත් පිරිසක් මරණයට පත්ව ඉතිරි වූ කණ්ඩායම් 1971 දක්වා හමුදා නීතිය යටතේ තැබීමෙන් පසු ඔවුන්ට චන්ද බලය හිමි විය.

ඊශ්‍රායෙලය විසින් 1967 අවුරුද්දේ අල්ලාගත් පලස්තීන කොටසේ ජීවත්වන පලස්තීනුවන්ට ඡන්ද බලය ලබා දී නැත. දැනට ඡන්ද බලය සහිත මුස්ලිම් ක්‍රිස්තියානි සහ ඩ්රූස් අරාබිවරුන්ගේ ප්‍රතිශතය සම්පූර්ණ ඡන්ද දායකයන්ගෙන් 20%. පාර්ලිමේන්තුවේ අරාබිවරුන්ගේ සන්ධානයක් ආසන හයක් ලබා ඇති අතර ‘රඅම්’ යන නමින් හඳුන්වන තවත් අරාබි පක්ෂයක් ආසන හතරක් ලබා සිටී.

අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් සමග එකට එකතු වී ආණ්ඩුවක් පිහිට වීම පිළිබඳව අරාබි සන්ධානය රඅම් පක්ෂයට දොස් කියන අතර, රඅම් පක්ෂයට දරන්නේ ඊට වඩා වෙනස්ම මතයකි. ආක්‍රමණිකයාට බැන බැන සිටීමෙන් පමණක් තම ජනතාව ට ප්‍රයෝජනයක් නොවන බවත් සන්ධාන එකගතාවය හරහා අරාබිවරුන් ජීවත්වන ප්‍රදේශයෙන් වලට ශෙකෙල් බිලියන 53 ක (16 billion USD) පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීමටත්, එම ප්‍රදේශවලට පිටින් එන යුදෙව්වන්ගෙන් ප්‍රහාර එල්ල කිරීම නැවැත්වීමට ක්‍රමවේදයක් සකස් කිරීමටත් සන්ධානය එකතු කරගෙන ඇති බව එම පක්ෂය කියයි. කෙසේ නමුත් ඊශ්‍රායෙලයේ යුදෙව් ජාතිකයින් පමණයි යන සංකල්පයට පිටින් ගිය ප්‍රථම ආණ්ඩුව ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *