ඇමරිකාවට ප්‍රහාරයක්, නමුත් ප්‍රහාරකයා කවුද?

2016 අවුරුද්දේ හවානා නුවරදී ඇමරිකානු ඔත්තු සේවයේ සහ රාජතාන්ත්‍රික සේවයේ 16 දෙනෙක් එකවර අසනීප වීමක් සිදුවිය. මෙයට  හාවානා සින්ඩ්‍රෝමය යැයි නම වැටුණේ එතැන් සිටය. කන් ඇසීමේ දුබලතා, දැඩි හිසේ කැක්කුම, ශරීරයේ සමබරතාව ගිලීම, ඔක්කාරය, අමතක වීම යන ස්නායු සම්බන්ධ රෝග ලක්ෂණ සහිත හවානා සින්ඩ්‍රෝමය, විශාල ශබ්දයක් සමග තත්පරයක් තුල වින්දිතයන්ව රෝගී කරයි. ඉන්පසු මීට සමාන දෙයක් සිදු වුයේ 2018 අවුරුද්දේ දී චීනයේ දී යි. අවුරුදු කිහිපයක් ජාතික විද්‍යා ඇකඩමිය පරීක්ෂණය කිරීමෙන් පසු නිකුත් කළ වාර්තාව අනුව කියුබාව චීනය සහ වෙනත් තැන්වල ඉතා විශාල ලෙස CIA ඔත්තුකරුවන් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මීට සමාන ලෙස පැහැදිලි කළ නොහැකි රෝග ලක්ෂණ සහිත හවානා සින්ඩ්රෝමයට ලක් වී ඇති බව අනාවරණය වුණි. දැනට ඇති සාක්ෂි අනුව මෙය පටන් ගෙන ඇත්තේ 2016 අවුරුද්දේ දී නොව 1990 දශකයේ දී ය.

එක වාර්තාවකට අනුව, 1996 අවුරුද්දෙ සතුරු රාජ්‍යයක් යැයි සැලකෙන රටක, ඉදිකරමින් තිබුණු ඇමරිකානු ගොඩනැගිල්ලක ඔත්තු බැලීමේ යන්ත්‍ර ඇත්දැයි සොයා බැලීම සඳහා පැමිණි ඔත්තු අංශයේ පුද්ගලයින් දෙදෙනෙකු, ඔත්තු බැලීමේ යන්ත්‍ර සොයා ගැනීමෙන් දවසකට පසුව එකවර රෝග ලක්ෂණ පෙන්වීම සාමාන්‍ය දෙයක් යැයි ඔවුන් සිතුවේය. නමුත් 2012 අවුරුද්දේ ලැබුණු ඔත්තු තොරතුරු අනුව එම සතුරු රාජ්‍ය සතුව ක්ෂුද්‍ර තරංග (microwave) තාක්ෂණය සහිත අලුත් ආයුධයක් පරීක්ෂණ මට්ටමේ තිබෙන බවත් ඒ හරහා ඉලක්කගත පුද්ගලයින් ස්නායු සම්බන්ධ දුබලතා වලින් පෙළීමට ලක් කළ හැකි බව ද සොයා ගැනුණි.

තවත් වාර්තාවකට අනුව 2017 අවුරුද්දේ මොස්කොව් නුවර සී.අයි.ඒ (CIA ) ඔත්තු සේවයේ දෙවැනියා ලෙස ක්‍රියාත්මක වූ පුද්ගලයා එකවරම ස්නායු සම්බන්ධ රෝග ලක්ෂණ වලින් පෙළෙන්නට පටන් ගෙන ඇත. ඔහුගේ වචනවලින් ම කියන්නේ නම් “මහ රූ එකපාර මට ඇහැරුනා. මගෙ ඔලුව කැරකෙනවා වගේ දැනුනා. ඔක්කාරය දැනුනා. නාන කාමරයට ගිහින් වමන දාන්න ඕනේ වගේ හිතුනා. කණ් ඇතුලේ සද්දයක් දිගටම ඇහෙන්න ගත්තා. කැරකිල්ල තමයි ගොඩක්ම අමාරුවකට තිබුනේ. මට මොකක්ද වෙන්නේ කියලා මට හිතාගන්න බැරිවුනා. එදා ඉඳන් අවුරුදු තුනක්ම පැය 24 ම ඔලුව කැක්කුමක් තිබුණා. මානසික දුබලතා සෑහෙන්න තිබුණා. දවසෙකට උපරිමය පැය දෙකයි වැඩ කරන්න පුළුවන් වුණේ. ඊට පස්සේ සාමාන්‍ය සංවාදයක් වත් කරගෙන යන්න බැරි තරම් තෙහෙට්ටුවක් තිබුණා”. එම නිලධාරියාගේ මතය අනුව 1996 සිද්ධිය ද සිදුවී ඇත්තේ රුසියාවේ විය හැකිය. මොස්කව් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඔත්තු බැලීමේ උපකරණ රාශියක් තිබීම නිසා ඉහළ මාල දෙකක් කඩා බිඳ දමා, අලුතින් ආරක්ෂිත මහල් හතරක් නිර්මාණය කිරීමක් සිදු විණි.

2019 අවුරුද්දේ පමණක් හතළිස් දෙනකු හවානා සින්ඩ්රෝම රෝග ලක්ෂණ පෙන්වා ඇත. එම පුද්ගලයින්ගේ මොලයේ අසාමාන්‍ය වෙනස්කම් කිහිපයක් සොයාගෙන ඇත. 2019 අවුරුද්දේ සිදුවූ තවත් සිදුවීමකට අනුව ඇමරිකාවෙන් පිට සේවයේ යෙදී සිටි සී.අයි.ඒ ඔත්තුකරුවෙක් තම වාහනයේ අවුරුදු දෙකේ කුඩා දරුවෙක් ද සමග ගමන් කරද්දී, එක තැනකදී වාහනය නැවත්වූ අවස්ථාවක දැඩි හිසේ කැක්කුමක් ඇති වී තිබිණි. එම අවස්ථාවේදීම වාහනය සිටි කුඩා දරුවා හඬන්නට පටන්ගෙන ඇත. එතනින් වාහනය ඉදිරියට ගමන් කරද්දී ඔලුව කැක්කුම සමනය වී ඇති අතර කුඩා දරුවා ද හැඬීම නවතා දමා ඇත.

මේ වන තෙක් එකසිය තිහකට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් මේ රෝග ලක්ෂණ පෙන්වන අතර, මේ පිටුපස සිටින්නේ රුසියාව යැයි කීමට පැහැදිලි සාක්ෂි නොමැත.

මේ පිළිබඳව විමර්ශනය වේගවත් කර ඇත්තේ ඇමරිකාව තුළ දී මෙවැනි සිදුවීම් වාර්තා වීමට පටන් ගැනීමෙන් පසුවයි. එකම දිනයේ ධවල මන්දිරයට ඉතා ආසන්න බිම්කඩක මෙවැනි සිදුවීම් දෙකක් වාර්තා විණි.

ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Dr. David Relmen පවසන ආකාරයට මේ සියළු රෝග ලක්ෂණ දිශානුගත රේඩියෝ තරංග ප්‍රහාරයකට (directed radiofrequency energy attack) සමාන බවයි. ඔවුන්ට අනුව දුරකථන භාවිතා කිරීමෙන් හෝ මයික්‍රෝවේව් උදුන් පාවිච්චි කිරීමෙන් මෙවැන්නක් සිදුවිය නොහැක. ඔත්තු සේවා වලට සම්බන්ධ බොහෝ ආයතන මෙවැනි ප්‍රහාරක අවියක් හඳුනා ගැනීමේ ක්‍රමයක් ගැන සොයා බලමින් සිටී. එවැන්නක් සොයා ගත්තද, අවියක් සොයා ගැනීමට හැකිවන අතර ප්‍රහාර වැලැක්වීමට එය උපකාරී විය හැකි යැයි සිතිය නොහැක.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *