ජනපතිගේ සෙවණට මුවා වූ පරිසර ඝාතකයා – බ්‍රසීල පරිසර ඇමති රිකාඩෝ සාල්ලේස්

බ්‍රසීලයට සිටින්නේ, කෝවිඩ් වසංගතය ‘පුංචි හෙම්බිරිස්සාවක්‘ යැයි කී නලල්මලේ ජනපති කෙනෙකි. ඔහුගේ නම ජෙයර් බොල්සොනාරෝ වන අතර, ලෝකයේ ලොකුම පාරිසරික ඝාතකයාගේ නම බොල්සොනාරෝ බව දැන් පොඩි ළමයි පවා දනිති.

ඇමසන් වනය නොහොත් ‘ලෝකයේ පෙණහැල්ලේ‘ සිදුරු ඇති කළේ ඔහු ය. මේ අතර, ඔහුගේ දක්ෂිණාංශික විසකුරු ප්‍රතිපදාවටම හරියන නල්ලමලේ පරිසර ඇමති කෙනෙකු ද සිටියි. ඔහුගේ නම රිකාඩෝ සාල්ලේස් ය.

බොල්සොනාරෝට කෙසේ වෙතත් දැන් රිකාඩෝ සාල්ලේස් (Ricardo Salles)ට වැඩ වැරදෙමින් තිබේ. තවත් සරලව කියන්නේ නම්, කළකම් පළ දෙමින් තිබේ. බ්‍රසීලයේ ඉහළම අධිකරණය විසින්, ඔහුට විරුද්ධව දැන් දෙවන විමර්ශනයක් ද අරඹා තිබේ.

චෝදනාව, පොලිස් ක්‍රියාන්විතයකදී නීති විරෝධී දැව ජාවාරම්කරුවන්ගේ පැත්ත ගැනීම ය. ඔහු එසේ කළ බව පිළිගෙන ද තිබේ. ඒ, බේරීමක් නැති තරමටම තොණ්ඩුව ගෙළට සිරවෙන බව දැනුණු විට ය. ඔහුට විරුද්ධව පත්තු වූ පළමු වෙඩි මුරය වූ, ඇමරිකාවට සහ යුරෝපයට ඇමසන් වනය කපා ලී ලෙස අලෙවි කළ බවට වන චෝදනාව විමර්ශනය කළ පසුව ය.

බ්‍රසීලයේ ඉහළම අධිකරණය සුප්‍රීම් ෆෙඩරල් උසාවියයි. නීති විරෝධී ලෙස දැව අපනයනයට එරෙහිව ඔහු පිළිබඳ විමර්ශනයක් ඇරඹීමට නියම කර සති දෙකකට පසුව මහා රුකක් සේ සෘජුව ඒ උසාවියම ඔහුට එරෙහිව දෙවැනි පරීක්ෂණයක් ද ඇරඹීමට නියම කළේය.

සාල්ලේස්ගේ සුද්ද කිරීම – ඉතිහාසයේ ලොකුම වන හරණය

පරිසර ඇමතිගේ කාර්යභාරය, ගස් කැපීම බව සාල්ලේස් සිතාගෙන සිටි සෙයකි. බ්‍රසීලයේ ලොකුම වන සංහාරය සිදුවන්නේ ඔහු ධුරයට පත් වීමෙන් පසුව ය. නීති විරෝධී දැව ජාවාරම ද එයට අනුලෝම සමානුපාතික ලෙස ඉහළ ගියේය. ආදිවාසී බිම් සුද්ද කිරීම ගැනද ඔහු කුප්‍රකට ය. ලෝකයේ විශාලතම ටින් ලෝහ පතල වන පිටින්ගා (Pitinga )පතලෙන් නිකුත් වන විෂ සහිත ජලය ඇමසන් ගංගාවලට හැරවෙන්නට ඉඩ දී ආදිවාසී ජනපද පාළු කර දැමුවේය.

උදාහරණයක් ලෙස 2021 මාර්තු මාසය ගන්න. බ්‍රසීල ඉතිහාසයේ විශාලතම වන හරණය එහිදී සිදුවිය. ඇමසන් වනයේ සෙවණ සැදූ වනස්පතීන් කියුබික් අඩි මිලියන 8 ක කුට්ටි බවට පත් වී තිබියදී වටලනු ලැබිණි. එම දැව තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් විය. සාල්ලේස් මේ දැව කඳන් නරුම සිතින් නරඹමින් පරා සහ ඇමසන් ජනපද අතර සංචාරය කළේය. එපමණක් නොව, සමාජ මාධ්‍යවල ද සාඩම්බරයෙන් පින්තූර පළ කළේය. පසුව ඔහු මෙම පින්තූර යොදාගත්තේ මේවා කිසිම අයුකින් නීති විරෝධී දැව නොවන බව කියාපාන්නට ය. නමුත් එ් වන විටත් ඇරඹී තිබුණු පොලිස් පරීක්ෂණවලින් කියැවුණේ වෙනත් කතාවකි.

පොලිස් ප්‍රධානියාව ගෙදර යවයි

ඇමසන් ෆෙඩරල් පොලිසියේ ප්‍රධානී ඇලෙක්සැන්ඩ්‍රි සරයිවා සිය පිටු 38 කින් යුක්ත වාර්තාවේ මෙසේ කියයි.

‘‘ෆෙඩරල් පොලිසිය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනය නොතකා සාල්ලේස් සම්පූර්ණයෙන්ම පටහැණි ස්ථාවරයක් ගැනීමට තීරණය කළේය. ඒ අතර පාරිසරික උල්ලංඝනයන් 20කට වැඩි ප්‍රමාණයක් සිදුකළ, ඒ වෙනුවෙන් රීස් මිලියන 8.4 (ඩොලර් මිලියන 1.7)කට වැඩි ප්‍රමාණයක් වන්දි වශයෙන් ගෙවා ඇති සමාගම් හරහා මෙම ව්‍යාපාරය කරන බවටත්, ඒ අනුව කිසිවක් නීති විරෝධී නැති බවටත් ඔහු තර්ක කළේය….‘‘

ලංකාවේ මෙන්ම බ්‍රසීලයේ ද දේශපාලන ගතිකයන් විටෙක සමාන ය. පසුදිනම නිර්භය පොලිස් ප්‍රධානියා සරයිවා ව ධුරයෙන් පහ කෙරිණි. ‘‘මම මැරෙන්න බය නෑ. බ්‍රසීලය වෙනුවෙන් මට පරිසරය රැකගන්න ඕනෙ..‘‘ජාතික කොංග්‍රසය ඉදිරියේ පරීක්ෂණයකට ලක් වෙමින් ඔහු කීවේය. ඉන්පසු නියම පරිසර වීරයෙක් ලෙස ගෙදර ගියේය.

හෙංචයියෙකුට පොලිස් ප්‍රධානී තනතුර

සරයිවා වෙනුවට පොලිස් ප්‍රධානී තනතුර භාරදුන්නේ මාස 6 ක් පමණක් අත්දැකීම් ඇති පොලිස් නිලධාරියෙකු වූ තායිගේ ලියෝ බස්ටස් හට ය. ඔහු පරිසර ඇමතිගේ මිනිහෙක් විය. මෙම විමර්ශනය ‘අල කළ‘ ඔහු, මාස 2 ක් ඇතුළත එනම් මැයි මාසයේදී නීති විරෝධී දැව කොට, නැවතත් දැව ජාවාරම්කරුවන් වෙත ම යැව්වේය.

පරිසර ඇමති සාල්ලේස් පොලිස් විමර්ශනවලට අත පොවා පොලිස් ප්‍රධානියාගේ රස්සාව නැති කළා පමණක් නොව තමන් පරීක්ෂණවලට මැදිහත් වූ බව ද පිළිගත්තේය. නමුත් ඔහුගේ ස්ථාවරය මෙබඳු විය.

‘‘මම එහෙම කළේ මහජනතාවගෙ චිත්ත ධෛර්යය වැඩි කරන්න..‘‘

සාල්ලේස් ලංකාවේ ඉපදුණු අයෙක්දැයි සැක සිතෙන තරමටම ලංකාවේ දූෂිත දේශපාලකයන්ගේ ගතිගුණ ප්‍රකට කරයි. අදටත්, තමන් නීතිවිරෝධී කිසිවක්ම කළ බව ඔහු පිළිගන්නේ නැත. බ්‍රසීලයේ පරිසර අමාත්‍යාංශය මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යුත් තැපෑල හරහා ප්‍රකාශයක් නිකුත් කර තිබෙන අතර එහි මෙසේ සඳහන් වේ.

‘‘පොලිස් විමර්ශනයෙන් පැහැදිලිවම පෙනී යන්නේ කිසිදු අපරාධයක් පමණක් නොව, කිසිදු ආකාරයක වැරැද්දක් පවා සිදුවී නැති බව යි‘‘
– බ්‍රසීල පරිසර අමාත්‍යංශය

 

පරිසර විරෝධී ඇමති – “anti-environment minister”
සාල්ලේස්ට බ්‍රසීලයේ පරිසර ක්‍රියාකාරීන් අමතන්නේ ‘පරිසර ඇමති‘ කියා නොව ‘පරිසර විරෝධී ඇමති‘ (“anti-environment minister”) කියා ය. ග්‍රීන්පීස් සංවිධානයේ සේවය කරන බ්‍රසීල ජාතික නීතීඥවරයෙක් මෙසේ කියයි. ‘‘ඇමරිකානු තානාපති කාර්යාලයත් මේ දැව ගනුදෙනුව ගැන සැක පළ කර තිබෙනවා. අපේ රටේ ඉන්නේ දැව මාෆියාවට සම්බන්ධ පරිසර ඇමති කෙනෙක්..මේක මහා අපවාදයක්‘‘.

කෝවිඩ් ආශිර්වාදයක් කරගන්නලු!

2019 වසරේ ලොව පුරා අන්ත දක්ෂිණාංශික බලවේගවල හිස එසවීම සිදුවෙද්දී බ්‍රසීලයේ බලයට පත් වූයේ බොල්සොනාරෝ ය. එදා පටන් මේ දක්වා බ්‍රසීලයේ වන හරණය 50%කින් ඉහළ ගොස් තිබේ. එය 2008 වසරේ සිට වාර්තා වූ ඉහළම පරිසර ඝාතනයයි. බ්‍රසීල ඇමසන් වනය 2007 වසරේ පටන් මේ දක්වා වූ ඉහළම වන හරණය වාර්තා කරයි.

මේ වන විට බ්‍රසීල මාධ්‍ය වාර්තා කරන්නේ, කෝවිඩ් වසංගතය මධ්‍යයේ සියල්ල නිහැඬියාවක ගිලී තිබෙන අතරවාරයේ පරිසර නීති ලිහිල් කිරීම කළ යුතු යැයි සාල්ලේස් බොල්සොනාරෝට යෝජනා කර ඇති බවයි.

බ්‍රසීලයේ පරිසර ඇමති සිටින්නේ එරට කොංග්‍රසයටවත් වග නොකියන තැනක ය. ඔහුට තිබෙන විධායක බලතල ප්‍රකාරව කොංග්‍රසය බයිපාස් කර, ගතවූ වසර 2 ක් තුළ රටේ හැදුණු පරිසර ආරක්ෂණ නීති ආපස්සට හැරවීමට පවා පුළුවන.

සාල්ලේස් හිරබත් කන හැඩ?

දැන්, බ්‍රසීල ජනතාවගේ අවසන් බලාපොරොත්තුව සුප්‍රීම් ෆෙඩරල් උසාවියයි. 2021 ලෝක පරිසර දිනයට දවසකට පෙර, එනම් ජූනි 4 වැනිදා එරට නීතිපති දෙපාර්තමේන්තුවට විශේෂ නියෝගයක් කළේය. එයට අනුව ඔවුන් විසින් නීතියට බාධා කළ සාල්ලේස් අත්අඩංගුවට ගැනීමට හෝ සිරගත කිරීමට ඇති හැකියාව ගැන අගැයීමක් කළ යුතුව තිබේ. ඒ අනුව බ්‍රසීලයේ සහ ඇමසන් වනයේ අනාගතය තීරණය වනු ඇත්තේ, දේශපාලකයන් විසින් කොතරම් දුරකට අධිකරණයට අත නොතබාවිද යන්න මත ය. ලබ්බට තැබූ අත පුහුලටත් තැබීම ප්‍රතිගාමී දේශපාලකයන්ගේ උපන් ගතියකි. එය මෙවරත් – බ්‍රසීලයේදීත් එසේම වුවහොත් ඇමසන් වනය මුඩු බිමක් බවට පත් වීමේ පුවත හෝ සාල්ලේස් ට අධිකරණ නියෝගය මත නැවත ගස් සිටුවීමට සිදුවූ පුවතක් ඉදිරි වසර කිහිපය තුළම අපට අසන්නට ලැබෙනවා ඇත.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *