Type to search

ලෝක පරිසර දිනය 2021 : පරිකල්පනය, ප්‍රතිනිර්මානය, ප්‍රතිස්තාපනය

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ලෝක පරිසර දිනය (05.06.2021), මේ සැරේ පරිසර දින තේමාව වෙලා තියෙන්නෙ “Reimagine, Recreate, Restore” (පරිකල්පනය, ප්‍රතිනිර්මානය, ප්‍රතිස්තාපනය). උද්ගත වෙලා තියෙන covid වසංගතයත් එක්ක මේ වචන 3 තුල ලොකු තේරුමක් සහ වැදගත්කමක් තියෙනවා.

කොවිඩ් ලොක්ඩවුන් එකේ ගෙවල්වලට වෙලා ඉන්න අපිට පරිසරය රැකගන්න facebook වීරයෝ වෙනවාට එහා ගිහිල්ලා යමක් කරන්න පුලුවන් කියන එක කල්පනා කරන්න මේක හොද අවස්තාවක්. අපේ අනුදැනුම ඇතිව හෝ නැතිව පරිසර විනාශය කියන එක ගොඩක් බරපතල විදිහට වෙනවා. අපේ, විශේෂයෙන්ම අපේ දරුමල්ලන්ගේ අනාගතය සුවදායක වෙයිද නැද්ද කියන එක තීරනය කිරීම අපේ අතේ තියෙන්නෙ. මේ සැරේ පරිසර දින තේමාවට අදාලව අපට ගෙදර ඉදන් කරන්න පුලුවන් දේවල් කීපයක් කතා කරන්න සහ අත්දැකීම් බෙදාගන්න මම උත්සාහ කරනවා.

මුලින්ම එක ඉල්ලීමක් තියෙනවා, ඒ තමයි, අපි පාරිසරික ගැටලුවකට ආගම්, ජාති, පක්ශ ආදී සියලු පාට කන්නාඩි ගලවලා පරිසරය අනාගත පරපුරට ආරක්ශා කරලා දෙන්නේ කොහොමද කියන අරමුන ඔස්සේ විතරයි කල්පනා කරන්න ඕනේ. මොකද රට, ජාතිය, ආගම මේ සියල්ල ආරක්ශා කරගන්න අපට ජීවත්වන්න ලෝකයක් ඉතුරුවෙලා තියෙන්න ඕනේ. මේ ප්‍රශ්නයේදී පක්ශ, ජාති, ආගම් පටලවා ගත්තම කතා කලයුතු ඇත්ත ප්‍රශ්නය යට යනවා. මේක අවංක කාරුනික ඉල්ලීමක්.

Restoration / ප්‍රතිස්තාපනය

දැන් Subject එකට. ප්‍රතිස්තාපනය කියන්නේ හානි වුන දෙයක් නැවත තිබුනු තත්ත්වයට පත්කිරීම. මේක අහද්දි අපට මතක් වෙන්නෙ නැවත කැලයක් හිටවන එක. නමුත් අපිට පරිකල්පනය පාවිච්චි කරොත් අපේ මට්ටමේ කරන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා.
ඒකෙන් එකක් තමයි අපේ ගෙදර අවට මිදුල සහ වත්ත අපට ආර්තික වටිනාකමක් ඇති භෝග හිටවන ගමන් ඒකෙන් ජෛව විවිධත්වයටත් යම් ප්‍රයෝජනයක් වෙන විදිහට භෝග සංකලනය තෝරා ගැනීම.

උදාහරණයක් විදිහට කැලේක ගොඩක් උස ගස් / වියන් ස්තරය, යටි වියන, පදුරු ශාක, වැල් වර්ග යනාදී අංශ කීපයක් තියෙනවා. අපි ගස් හිටවද්දී වියන් ස්තරයට සුදුසු උස පලතුරු හා වෙනත් ආර්තික වටිනාකමක් ඇති ගස් හිටෙව්වොත් අපි නොදැනුවත්වම අපේ ඉඩම ආශ්‍රිතව පොඩි වනාන්තර structure එකක් හැදෙනවා. ඊට පස්සෙ උප වියන, යටි රෝපනය යනාදියට සුදුසු උස අඩු පලතුරු, කුලුබඩු ගස් වර්ග, වැල් වර්ග (ගම්මිරිස්, වැනිලා, වැල් අල වර්ග) හිටවපුවාම අපි කැලේක structure එක ඉබේම අපේ වත්ත වටේ හදාගෙන . මේකට කියන්නේ සදෘශ්‍ය වන වගාව කියලා. (වනාන්තරයකට සමාන වගාව, මේ ගැන විස්තර දැනගන්න analog forestry කියලා google search කරන්න)

Habitat restoration / වාසස්ථාන ප්‍රතිස්තාපනය

අපේ ගෙවත්තේ ජෛව විවිධත්වය වැඩි දියුණු කරන්න අපට කරන්න පුලුවන් දේවල් කීපයක් තියෙනව. අපි උඩින් කතා කරපු විදිහට අපේ ගෙවත්ත දියුනු කරන ගමන් සතුන්ට, උරගයින්ට, සමනලුන්ට, කෘමීන්ට සුදුසු පරිසරයක් පොඩිවට හදන්න පුලුවන්. සතුන්ට වාසස්තාන වන පොඩි පොකුනක්, දිරාගිය කොටයක්, ගලක්, ඉඩමේ සුදුසු තැන්වල තියෙන එක. (මේක චායාරූප වල පැහැදිලිව විස්තර කෙරෙනවා) ඉඩමේ ගස් හිටවන්න ඉඩ නැත්නම් තියෙන මල් පැල වලින් උනත් මේකට දායකත්වයක් දෙන්න පුලුවන්. කෘමි හා සමනල ගෝචර ශාක සිටවන්න පුලුවන්. එතකොට අවට පරිසරය ආරක්ශා වෙන්න අපෙනුත් සුලු හරි දායකත්වයක් දෙන්න පුලුවන්.

Bio diversity corridor / ජෛව විවිධත්ව කොරිඩෝව

අපි එක එක්කෙනා තමන්ගෙ වත්ත පරිසර හිතකාමී විදිහට හදාගත්තම මේක අපි නොදැනුවත්ව ජෛව විවිධත්ව සංරක්ෂණයට විශාල දායකත්වයක් දෙනවා.
අපේ ඉඩමේ වනාන්තරක මූලික ලක්ශන තිබුනාම ඇහැට පේන නොපෙනෙන සතුන් විශාල ප්‍රමානයක් අපේ ඉඩම හරහා වෙනත් ස්තාන වලට ගමන් කරන්න මාර්ගයක් හදාගන්නවා. මේකෙන් ඒ සතුන්ට ආහාර, වාසස්ථාන වගේම ප්‍රජනක ක්‍රියාවලිය සදහා සහකරුවන් සොයා යාමත් පහසු වෙනවා. ජෛව විවිධත්වය ආරක්ශා කරන්න මේක ලොකු පිටුවහලක් වෙනවා. මේකට ජෛව විවිධත්ව කොරිඩෝව කියලා කියන්නේ. අපේ ගම්මාන අවට, නගර අවට (කොලඹ පවා) ගස් පිරුනු පොඩි වනාන්තර patch තියෙනවා. මේවාගේ අතුලේ විශාල සත්ව ඝනත්වයක් ඉන්නවා කොටුවෙලා. මොවුන් අර ජෛව විවිධත්ව කොරිඩෝව තමයි රාත්‍රි කාලයෙ තමන්ගෙ පැවැත්ම පවත්වාගන්න පාවිච්චි කරන්නෙ. යම් කිසි තැනක ගස් නැති කොන්ක්‍රීට් ගෙවත්තක් අහු උනාම කොරිඩෝව කැඩිලා සතුන්ගේ වපසරියට ලොකු බලපෑමක් ඇතිවෙන්න පුලුවන්. අපි හැමෝම අපේ ගෙවත්ත ලස්සන මල් හිටවීම පමනක් නෙවෙයි, එතැනින් එහාට ගිහිල්ලා පරිසර සංරක්ෂණයේ කොටස්කරුවකු බවටත් පත්කරන්න පුලුවන් නම් මේ ලෝකෙ ප්‍රශ්නවලට විසදුම් සෙවීමේ කොටස්කරුවකු වශයෙන් අපිටත් ආඩම්බර වෙන්න පුලුවන්.

(මේ ගැන තව විස්තර ඇතිව පින්තූර එක්ක කතා වෙනවා)


සදෘශ්‍ය වන වගාව Analog forestry: වානිජ භෝග වගාවට එහා ගිය ස්වභාවික පරිසරයට ලගින්ම යන වගා ක්‍රමයක්. ස්වභාවික කැලයක ස්තර වල ගස් වෙනුවට වලට ආර්තික භෝග ගස් ආදේශ කිරීම සිදුවෙනව. ගෙවතු හිමියාට ආර්ථික භෝග වල අස්වැන්න ලැබෙන අතර වක්‍රාකාරව පරිසර සංරක්ෂණයක්ද සිදුවෙනව.


ගෙවතු වල කුඩා ඉඩ ප්‍රමානයක උනත් විවිධ ස්තර ආවරනය වන ආකාරයට ගස් හා වැල් සිටවීම මගින් වනාන්තරයක හැඩය ඇති හරස්කඩක් ඇති කරන්න පුලුවන්. කෘමීන්ට, කටුස්සන් ඇතුලු උරගයින්ට, ගෙම්බන් ඇතුලු උභයජීවීන්ට, පක්ශීන්ට, වෙනත් ක්ශීරපායි සතුන්ට මේක එක්තරා ආහාර ප්‍රභවයක් සහ ගමන් මාර්ගයක. ඔවුන් මේ හරහා වෙනත් විශාල ප්‍රදේශයකට ගමන් කරන්න පුලුවන්. ඔවුන්ගේ ආහාර ලබාගන්නා වපසරිය විශාල ලෙස වැඩි වෙනවා.


කුඩා වනාන්තර ඛන්ඩ දෙකක් මැදින් ජනාවාසයක් ඇති උනාම ජෛව විවිධත්වය හුවමාරු වීම කැඩෙනවා. නිල් පාටින් තියෙන්නෙ වනාන්තර ඛන්ඩය. කලු පාටින් තියෙන්නෙ ප්‍රේරන කලාපය (buffer zone). ප්‍රේරන කලාපය කියන්නෙ වනාන්තරය අවට කුඩා සතුන්ට ගමන් කල හැකි කලාපය.


දැන් අපි මේ ජනාවාසය අවට ගෙවත්ත කලින් කතා කරපු විදිහට ගස් හිටවලා දියුනු කරොත් ඒ ගෙවල් වටෙත් ප්‍රේරන කලාපයක් ඇතිවෙනවා. මේ ප්‍රේරන කලාපය හරහා කුඩා සතුන්ට ඊලග වනාන්තර කොටසට ගමන් කරන්න පුලුවන්. අපි හිතමු එක කොටසක කටුස්සන් 100 ඉන්නවා කියලා. එතකොට වැඩුනු සතුන් 60 විතර ඇති. එයින් 30 ක් ගෑනු, 30 ක් පිරිමි. පිරිමි 30 ට ප්‍රජනක ක්‍රියාවලිය සදහා සහකරුවන් 30යි. නමුත් මෙහෙම කොරිඩෝවකින් කොටස් දෙකක් යාවුනාම සහකරුවන් ප්‍රමානය 60ක් වෙනවා. ජෛව විවිධත්ව සංරක්ෂණයට සහ ජාන සංරක්ෂණයට තියෙන අවස්තාව 100% වැඩිවෙනවා. ආහාර, වාසස්තාන ලබාගැනීමේ හැකියාවත් ඉතා ඉහල ලෙස වැඩිවෙනවා. වනාන්තර කුට්ටිවීම හරහා ජෛව විවිධත්වය අඩුවෙන එක අවම කරන්න මේ කොරිඩෝව ගොඩක් වැදගත්.


මේ මගේ මිදුලේ මල් පැල තියෙන හරිය. පැල එක ගොන්නට හිටවලා තියෙන්නෙ පොඩි සතුන්ට ඉන්න පුලුවන් ඉඩක් හැදෙන විදිහට. දිරාගිය කොටයක්, ගල් වැනි දේවල් තියලා තියෙන්නේ වාසස්තාන හැදෙන්න. මෙතනම pond එකත් තියෙනවා. සමනල ගෝචර මල් හිටවලා තියෙනවා. (මේ photo එකට පේන්නෑ, නමුත් ලස්සන සහ ජෛව විවිධත්ව වැදගත්කම කියන දෙකම ලැබෙනව). මේක කොරිඩෝවක හොදම කොටසක්. හැමදාම උදේට මේක හරහා කටුස්සො, ගෙම්බො යනවා බලන්න පුලුවන්. මගේ garden එක හරිම සජීවී. නිතරම සත්තු පිරිලා. ඒක සල්ලි වියදම් කරලා ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයි.


කන මී මැස්සන් මේකෙ කූඩු හදලා තියෙනවා. පරාගනය කරන්න මොවුන්ගෙන් support එකක් ලැබෙනවා. ඊලග අත්තෙ තියෙන ඕකිඩ් පැලය දවසක් පාර අයිනෙ කපාදාල තිබුනු අත්තක තිබුනු ඕකිඩ් එකක්. මම අරන් ඇවිත් rescue කරා. මේක අපේ මට්ටමින් කරන්න පුලුවන් පරිභාහිර සංරක්ෂණයක් (ex-situ conservation). කැලේට රිංගලා කැලේ මල් ගස් අපේ ගෙදර හදන එක නෙවෙයි, පාර අයිනෙ ගහක් කැපෙනවානම් ඒකෙ තියෙන අපිශාක අපට පුලුවන් තවත් තැනක සංරක්ෂණය කරන්න. මේවා ජෛව විවිධත්ව සංරක්ෂණයට වැදගත් වෙනවා.


මේ මගේ ගෙවත්තේ පිටිපස්ස කෑල්ල. ලොකු ඉඩක් නෑ. පර්චස් 20 ක තමයි ගේ සහ ඉඩම. මම කියපු වනාන්තරයක ලක්ශන මේකේ තියෙනවා.සදෘශ්‍ය වන වගාවක හරස්කඩක්. මෙතන ගඩුගුඩා, පොල්, කිතුල්, කොස්, අට්ටික්කා, නෙල්ලි, කාමරංගා, අනෝදා, අඹ කියන ගස් තියෙනවා. යට හරියෙ කහ, ඉගුරු, බතල එහෙම හදාගන්නවා.
මේක කලින් ඉදලා තිබුනු ජෛව විවිධත්ව කොරිඩෝවක කොටසක්. පොඩි කැලෑ කොටසක් තියෙන්නෙ කිලෝ මීටර් භාගයකට එහා පැත්තෙ. ඒකත් අතඇරිච්ච රබර් ඉඩම්. නමුත් ඌරා, ඉත්තෑවා විතරක් නෙමෙයි, මීමින්නා පවා සමහර වෙලාවට පාන්දර 5.30 ට කලින් දකින්න පුලුවන්.
පක්ශීන් ගත්තම විවිදත්වය අති විශාලයි. ලංකාවට ආවේනික අලු කෑදැත්තා නිතරම අට්ටික්කා ගහේ ගෙඩි කන්න එනවා.


මේ මගේ ගේ පිටිපස්සෙ කෑල්ලෙ ගස් වියන් මගේ slab එක උඩ ඉදන් පේන විදිහ.


මේ මගේ ගේ ඉස්සරහා තියෙන තේක්ක ගහ. මේකෙ වැල් වර්ග සහ අපිශාක වර්ග 9 කට වැඩිය තියෙනවා. ඒ අතින් ගත්තම මේ ගහ වෙනම පරිසර පද්ධතියක්. අපි මූලික සැකැස්ම හදල ආරක්ශා කරලා දුන්නම පරිසරය ඉතුරු ටික ගොඩනගා ගන්නවා කියන්න මේක හොද උදාහරනයක්. මේ ගහ ආශ්‍රිතව ලොකු සත්ව ගහනයක් ඉන්නවා. නගරබද අපට පරිසරය ආරක්ශා කරන්න ගන්න පුලුවන් ක්‍රියාමාර්ග වලින් එක උදාහරණයක්. තියෙන එක ගහ උනත් වැල් වර්ග, අපිශාක එකතුකරලා ඒ ගහ සාරවත් පරිසර පද්ධතියක් කරන්න පුලුවන්.


මේ තේක්ක ගහේ මතුපිට මගේ slab එකේ ඉදන් පේන විදිහ. ලේන්නු, කුරුල්ලන, කටුස්සන් , ගස් ගෙම්බන් විතරක් නෙවෙයි කුඩා කෘමි සතුන් අතිවිශාල ප්‍රමානයක් මේ එක ගහේ ඉන්නවා.


මේ, තේක්ක ගහේ ස්වභාවිකව හැදුනු ඕකිඩ් එකක්.


මම අල්ලන් ඉන්නෙ හිටවලා අවුරුදු 1 මාස 2ක් වන කුබුක් පැලයක්. හිටවද්දී අඩි 1.5 නමුත් දැන් අඩි 7. ස්වභාවික තත්ව හදුනාගෙන හිටවනවානම්, ලේසියෙන් පැලේ හදාගන්න පුලුවන්.


මේ අපේ වන වගාවට ගොචර ශාකයක් ලෙස හිටවපු කුරුදු පැලයක්. සමනල විශේෂ මේවාගේ බිත්තර දාලා දළබුවන් හැදිලා. මේක Habitat restoration යටතේ කල දෙයක්.


අපි වන වගා වැඩසටහනේ උභයජීවී වාසස්ථාන ඇතිකිරීම සදහා හදපු පොකුනක්. මේක හැදුවෙ ආනා( Anand Vijaya Velauthem.) මේක හදද්දී ගෙම්බො බිත්තර දැමීම පහසු කරන්න ජලය ගලාගෙන යන වේගය අඩු කරන්න පොකුනේ වලවල් හැදුවා. ඊට පස්සේ ගස් ගෙම්බන්ගෙ බිත්තර කැදලි රදවන්න සුදුසු මීවන වර්ග, දිරාගිය කදන් තිබ්බා. තවත් වැදගත් වැඩක් කරා. ඒක තමයි ගෙම්බන්ට ප්‍රජනන ක්‍රියාවලිය කරන්න සහ බිත්තර දාන්න සුදුසු පරිසරයක් තියෙනවා කියලා අගවන්න ක්‍රමයක් හැදුවා. පොකුනට වැටෙන වතුර ටික උල්පතකින් බටයක් දාලා පොකුනට සද්දෙට වැටෙන්න සැලස්සුවා. මේ සද්දෙට ගෑනු සහ පිරිමි ගෙම්බො ඇදිලා එනවා. සියලු සාධක හොදයි නම් බිත්තර දානවා. අපේ උපක්‍රමය කොච්චර සාර්තකද කියනවා නම්, පහුවෙනි දවසේ උදේ යද්දි බිත්තර දාලා. මේ තියෙන්නෙ පොකුන හදලා පහුවෙනිද ගත්තු බිත්තර කැදලි සහිත චායාරූය.


පොකුනට වතුර වැටෙන්න සැලැස්වීම


පොකුනේ video එක

ෆස්ලි මොහමඩ්
2021.06.05

-via Fazly Mohamed FB

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *