“දූෂකයා ගෙවීමේ මූලධර්මය යටතේ වන්දි අයකරගන්න” – රසායනික නෞකාවේ විනාශයට එරෙහිව පෙත්සමක්

එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න වැනි මෑත කාලීන අත්දැකීම් පවා තිබියදීත්, ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

මෙවැනි තත්ත්වයන් හැසිරවීමට වගඋත්තරකරුවන්ට නිසි ක්‍රමවේදයක් නොවීම මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය කිරීමක් බව පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පෙත්සම්කරුවන් පවසති.

පරිසර යුක්ති කේන්ද්‍රය එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සහ ධීවරයන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වරාය කටයුතු භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, නාරා ආයතනය ඇතුළු ආයතන සහ පිරිසක් නම්කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ අදාළ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවී ඇති බවය.

මේ අතර කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පරීක්ෂා කිරීමට 04වන දින රජයේ රස පරීක්ෂකවරයා ගොස් තිබේ.

රජයේ රස පරීක්ෂකවරයා අද පෙරවරුවේ නැවට ඇතුළු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ද සමගිනි. මේ අතර නෞකාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවේ කපිතාන්වරයා ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ගින්න පාලනය කිරීමෙන් පසු නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් මතුවීම හේතුවෙන් එය ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යෑම ආරම්භ කළත් එය ගෙන යා හැකි වූයේ මීටර 500 ක දුරකට පමණි.

නැවේ පිටුපස කොටස මුහුදු ජලයෙන් යටවීම නිසා එම උත්සහාය අත්හැර දැමුණි. මේ වනවිට නැවේ පිටුපස කොටස මීටර 22ක් පමණ ගැඹුරින් ඇති මුහුදු පතුලේ ගැටී පවතී.

නෞකාවේ ඉන්ධන ටැංකි එහි පිටුපස කොටසේ පිහිටා තිබීම නිසා යම් ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් මහාපරිමාණ සමුද්‍ර දූෂණයක අවදානමක්ද මතුව තිබේ.

ඒ අනුව නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදුවන්නේද සහ වෙනත් හානි සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

දූෂකයා ගෙවීමේ මූලධර්මය
පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ, රටේ නීතියේ කොටසක් ලෙස සලකනු ලබන ‘දූෂකයා ගෙවීමේ මූලධර්මය’ චුන්නාකම් නඩුව ලෙස ප්‍රසිද්ධියට පත් රවීන්ද්‍ර ගුණවර්ධන කාරියවසම් එදිරිව මධ්‍යම පරිසර අධිකාරිය සහ තවත් 10 දෙනෙකු යන නඩුවේ (SC/FR/141/2015) සහ විල්පත්තු නඩුව එනම් පරිසර යුක්ති කේන්ද්‍රය එදිරිව වන සංරක්ෂණ ජනරාල් අනුර සතරසිංහ සහ තවත් 08 දෙනෙකු යන නඩුවේ (CA Writ/ 291/15) තීන්දුවලදී ද පිළිගෙන ඇති බවත්, පරිසරයට, රටේ ආර්ථිකයට මෙන්ම සාමාන්‍ය ජනතාවට, සංචාරක කර්මාන්තයේ නියුතු පුද්ගලයන්ට, පෙත්සම්කරුවන්ට සහ විශේෂයෙන් ධීවර ප්‍රජාවට සිදු වූ පෙර නොවූ විරූ හා ආපසු හැරවිය නොහැකි හානිවලට නැව් හිමිකරු මෙන්ම නැව් සමාගමේ දේශීය නියෝජිතයා වගකිව යුතු බවත් ය.
රසායනික කාන්දුවක් ඇති බව සහ ගින්නක් ඇතිවීමට ඉඩ ඇති බවට රටේ සමුද්‍රීය බලධාරීන්ට කල්තියා හෙළිදරව් කිරීමෙන් හිතාමතාම වැළකී සිටීමෙන් 11 වන සහ 12 වන වගඋත්තරකරුවන් නැව් කර්මාන්තයේ හා සමුද්‍රීය නීති රෙගුලාසිවලට අදාළ නීති-රීති උල්ලංඝනය කර ඇති බවත්, දේශීය නීතිවල කොටසක් ලෙස සැලකෙන පූර්වාරක්ෂාව පිළිබඳ මූලධර්මය යටතේ නීතියෙන් අපේක්ෂා කරන පරිදි පූර්වාරක්ෂාව ලබාගැනීමට අපොහොසත් වී ඇති බවත්, එම නිසා ඔවුන් වන්දි ගෙවීමට බැඳී සිටින බවත් පෙත්සම්කරුවන් තවදුරටත් කියා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *