රටවල් කිහිපයක් ප්‍රතික්ෂේප කළ නැව ලංකාවට ආවේ කොහොමද? නෞකාව හිමි සමාගම් ප්‍රධානිගෙන් විශේෂ හෙළිදරව්වක්

කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර වෙනත් වරායන් දෙකකට ඇතුල්වීමට අවසර ඉල්ලා තිබුනත් එම වරායන් දෙකෙන්ම මෙම නෞකාවට ඇතුළු වීම සඳහා අවසර හිමිවී නැති බව එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ටීම් හාර්ට්නොල් ප්‍රකාශ කර සිටිනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුල ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය කාන්දුවක් බවයි.

ගිනි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රැගෙන යමින් තිබූ කන්ටේනර් 1486 ක් අතරේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු කන්ටේනර් කීපයක් ද ඇතුළත්ව තිබුණා. මෙම රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇතිවූ බවයි එම සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත්තේ.

” නෞකාවේ ඇසුරුම් කර තිබු කන්ටේනර් බහාලුම් වල තිබෙන රසායනික ද්‍රව්‍ය කාන්දුවෙමින් තිබෙන බවට එහි සිටි සේවකයින් පළමුව දැක තිබුනේ ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහසකට ඈතින් පිහිටි අරාබි මුහුදේදී. ඒ ගැන දැනගත් විගස නෞකාවේ කපිතාන්වරයා ඉන්දියාවේ හසීරා වරායෙන් සහ කටාර් හි හමාඩ් වරායට ඇතුල් වීමට අවසර ඉල්ලා තිබුණා. ඒ එම නෞකාවේ තිබු බහාලුම් බෑමටයි. නමුත් අවසර හිමිවුයේ නැහැ. ඒ අනුවයි නෞකාව ආසන්නතම වරාය වන ශ්‍රී ලංකාවට පැමිණියේ” නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

කෙසේ වෙතත් ඒ වන විටත් නෞකාව තුළ ගින්නක් ඇති වීමේ අවදානමක් මතුව තිබූ බව සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා පිළිගෙන ඇත්තේ.

” ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකෙන් අපට අවස්ථාව ලබාදුන්නා නම් මෙම බහාලුම් ගොඩබෑමට මෙවැනි ඛේදවාචකයක් ඇතිවීමට ඉඩ නොතිබෙන්න තිබුණා” ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කොළඹ වරායට සැතපුම් 9.5ක් දුරින් ගිනි ගනිමින් තිබෙන MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වන විට දකුණු දෙසට ඇලවී ඇති බවත් ඉදිරි පැය කිහිපයේදී නෞකාව මුහුදුබත් වීමට ඇති ඉඩකඩ වැඩි බවයි සාගර විශේෂඥයින් සඳහන් කරන්නේ.

කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී X-Press Pearl නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරද කාගේ දැයි, සෙවීම තමාගේ කාර්යයක් නොවන බව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

27 වන දින මීගමු වෙරළ තීරයේ පවිත්‍රා කටයුතු නිරීක්ෂණය කිරීමට පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, එය ඊට අදාළ අමාත්‍යංශය විසින් සොයා බලනු ඇති බවයි.

නැව මෙරට මුහුදට පැමිණීමට පෙර ජාත්‍යන්තර වරායන් 2ක් එය ප්‍රතිකේෂප කර ඇති බවට වන වාර්තා සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුවත්ව නොසිටියේ දැයි, මාධ්‍යවේදියා එහිදී විමසා සිටියේ ය.

ඊට රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, නිත්‍යනුකූල ගමනක් ගිය නැව ගැන සමාජ මාධ්‍යන්හි පළවන වාර්තා එකවර විශ්වාස කළ නොහැකි බවයි.

තව ද මේ අවස්ථාවේ වෙරළ ආරක්ෂා කර ගැනීම ගැන සිය අවධානය යොමු වී ඇති බව සහ ඉතිරි කටයුතු අනෙකුත් ආයතන විසින් සොයා බලනු ඇති බව ද ඔහු අවධාරණය කර සඳහන් කර සිටියේ ය.

”සොයා බැලීම අදාළ වෙන්නේ වරාය අධිකාරියට අපිට තියෙන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට වෙරළ ආරක්ෂා කර ගනන එක, ඒකට සම්බන්ධ අමාත්‍යංශය ඒ ගැන සොයා බලාවි’

ශ්‍රී ලංකා සමුද්‍රීය කලාපයට බලපෑමක් වන ආකාරයේ මෙවැනි සිදුවීම් කිහිපයක් මෑත කාලීනව සිදුවීම පිළිබඳව එහිදී රාජ්‍ය ආමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ආවේගශීලි ලෙස මාධ්‍යව්දියාට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

”හැම තිසේසෙම වරදක් හොයන්න උත්සාහ කරන්න එපා. මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට කියන්න වැදගත් ප්‍රවෘත්ති තියෙනවා. කියන්න මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න කියලා. කියන්න මිනිස්සුන්ට මේ වා අතපත ගාන්න එපා කියලා, අහිතකර බව කියන්න ජනතාවට වැදගත්වෙන්නේ ඒවා අපේ අරමුණ ජනතාව වෙුනවෙන් වෙරළ ආරක්ෂා කර ගැනීම. ඒ සදහා විශාල වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන්න‍ෙ, වරද හොයන එක මගේ කාර්ය නොවෙයි.. අදාළ අය හොයලා බලාවි”

නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගත් අවස්ථාවේ නෞකාවෙන් ලංකාව වන්දිලබා ගැනීමට කටයුතු කළ ආකාරයට ම මෙහිදී ද නිසි ලෙස වගකිව යුත්තන්ගෙන් වන්දි ලබා ගැනීම සඳහා මීට දින 3කට පෙර සිටම සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය නීති කටයුතු ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *