වට්ටක්කා අස්වනු විශාල ප්‍රමාණයක් ලැබී ඇති නමුත් වෙළඳපොළට අලෙවි කිරීම පිළිබඳව ගැටළු…

යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තම කෘෂිකාර්මික නිෂ්පාදන සාර්ථක ලෙස නෙළාගෙන ඇති මොහොතක ඒවා වෙළඳපොළට අලෙවි කිරීමට නොහැකි තත්ත්වයකට ගොවීන් පත් වී ඇත.

නෙළාගත් වට්ටක්කා අස්වැන්න අලෙවි කිරීමට නොහැකි තත්ත්වයකට තමන් මුහුණ දී සිටින බව යාපනය දිස්ත්‍රික්කයේ සුලිපුරම් ප්‍රදේශයේ ගොවීන් පවසා ඇත.

යහපත් කාලගුණයක් පැවති හෙයින්, අධික අස්වැන්නක් මෙවර ලබා ඇති බව ගොවීන් ප්‍රකාශ කළහ.

තවද , සංචරණ සීමා සහ වෙළඳපොළවල් වසා ඇති නිසාත්, ආර්ථික මධ්‍යස්ථාන විටින් විට වසා දැමූ නිසාත්, අස්වනු අලෙවි කිරීමට නොහැකිව ගොවීන් කනස්සල්ලට පත් වී ඇත.

ඉල්ලුම පැවතියත් අලෙවි කිරීමට නොහැකි නිසා වට්ටක්කා කිලෝ එකක් රුපියල් 10ක් වැනි මිලකට අලෙවි කරන බවත් වර්තමාන තත්ත්වය මත එම මිලට අලෙවි කළ නොහැකි තත්ත්වයක් ඇති වී ඇති බවත් ගොවීන් පෙන්වා දුනි.

මුලතිව් දිස්ත්‍රික් ගොවීන් ද මෙම ගැටළුවටම මුහුණ පා ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටක්කා වගාවේ නියැලුණු ගොවීන් අස්වැන්න නෙළා ගැනීමට සහ නෙළාගත් වට්ටක්කා තොගය අලෙවි කිරීමට නොහැකි තත්ත්වයකට පත් වී සිටී.

රටේ සංචරණ සීමා පනවා ඇති මොහොතක, එළවළු වගා කරන්නන් තම නිෂ්පාදනයන් අලෙවි කර ගැනීමේ විශාල අපහසුතාවයන්ට මුහුණ දී ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඔට්ටුසුට්ටාන්, තණ්ඩුවාන්, ඕලුමඩු, මාන්කුලම් යන ප්‍රදේශවල නිවාසවල නිෂ්පාදන විශාල වශයෙන් ගොඩ ගැසී ඇති බව දක්නට ලැබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ කිලෝග්‍රෑම් 30 000ත් 45 000ත් අතර ප්‍රමාණයක අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් පීඩාවට පත් වී සිටිති.

මෙලෙසම, මඩකලපුව – බණ්ඩාරිමුලෙයි ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් වේරම් සහ වෙල්ලෙයිඅණ්ඩචේනෙයි කොමඩු වගා කරුවන්ද සංචරණ සීමාවන් හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

කොමඩු අස්වැන්න නෙළා ගන්නා කාලය ඉක්මවා තිබුණත් අස්වැනු නෙළා ගැනීමට නොහැකි තත්ත්වයකට ගොවීන් මුහුණ පා ඇත.

අධික මිල ගණන්වලට අමුද්‍රව්‍ය, පොහොර, කෘමිනාශක මිලට ගෙන තිබුණත් නිෂ්පාදනයන් අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *