සංචරණ සීමා සමයේ ආර්ථිකය කඩා නොවැටීමට ජනපතිගෙන් තීරණ රැසක්

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු - ජනපති නිලධාරීන්ට උපදෙස්

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු - ජනපති නිලධාරීන්ට උපදෙස්

කොවිඩ් පාලනය සඳහා 21වන දින රාත්‍රි 11. 00 සිට සංචරණ සීමා පැනවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසකට එළඹ ඇත.

සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යෑම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව කිරීම සහ බෙදා හැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදා හැරීමේ ආයතන (Shipping Line) විවෘතව තැබීමට පියවර ගත යුතුය. ප්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදා හැරීමටද ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ 21වන දින පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා ඇමැතිවරුන් සහ අදාළ නිලධාරීන් දැනුම්වත් කළේය. මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට දීමටත්, දිවයින පුරා ඇති සතොස ගබඩාවල කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමට රැකියා ලක්ෂය සඳහා බඳවා ගත් පිරිස යොදා ගැනීමටත් උපදෙස් දෙනු ලැබිණ.

අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමටත්, මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලිසිය සමඟ යුද හමුදාව යෙදවීමටත් තීරණය කෙරිණ.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කුණු කසළ ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදි කිරීම් කරගෙන යෑමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පීසීආර් පරීක්ෂණ සිදු කරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයකු හඳුනා ගතහොත් එම ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම්ද යොදා ගැනීමට තීරණය කෙරිණි.

මැයි මස 25 සහ 28 දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණද ජනතාවට නිවෙසින් බැහැර යෑමට අවසර හිමි වන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණි.

විදේශ රටවල් කිහිපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිතය. එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳ සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව රාජපක්ෂ මහතා පැවසීය.

මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බවද අවධාරණය කළේය.

සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ ඇමැතිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්වත් කළහ. වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැඳීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරුන්ද, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන රාජ්‍ය ඇමැතිවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *