පලස්තීන ජනතාව වෙනුවෙන් සහයෝගය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක්

පලස්තීන ජනතාව වෙනුවෙන් සහයෝගය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක්

පලස්තීන ජනතාව වෙනුවෙන් සහයෝගය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක්

පලස්තීන ජනතාව වෙනුවෙන් සහයෝගය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ, මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර අංශය විසින් (18) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

‘පලස්තීන ජනතාව වෙනුවෙන් සහයෝගය පළකරමු’ යන ශීර්ෂය යටතේ පළකළ නිවේදනයට යටතේ පවසා ඇත්තේ අල්-අක්සා මුස්ලිම් පල්ලිය, ගාසා තීරය සහ බටහිර ඉවුර ඇතුළු ප්‍රදේශවල ඉකුත් සඳුදා සිට තීව්‍ර කර ඇති ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාර මගින් පලස්තීන ජනතාවට එරෙහිව දිගින් දිගටම සිදුවන කුරිරු ඊශ්‍රායල ප්‍රහාර සහ ප්‍රකෝප කිරීම් තරයේ හෙළා දකින බවයි. මේ වන විට ළමයින් ඇතුළු පලස්තීන ජාතිකයන් සිය ගණනක් මිය ගොස් දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර දිනපතා දහස් ගණනක් අවතැන් වෙමින් සිටින බව ජවිපෙ පවසනවා. මේ වන විට මෙම ප්‍රහාර දෙවන සතියට ළඟා වී ඇති අතර දිගටම ප්‍රහාර පැවතුණහොත් මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි ඔවුන් කියන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ සම්පුර්ණ නිවේදනය මෙසේයි.

“පලස්තීන ජනතාව වෙනුවෙන් සහයෝගය පළකරමු!

අල්-අක්සා මුස්ලිම් පල්ලිය, ගාසා තීරය සහ බටහිර ඉවුර ඇතුළු ප්‍රදේශවල ඉකුත් සඳුදා සිට තීව්‍ර කර ඇති ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාර මගින් පලස්තීන ජනතාවට එරෙහිව දිගින් දිගටම සිදුවන කුරිරු ඊශ්‍රායල ප්‍රහාර සහ ප්‍රකෝප කිරීම් අපි තරයේ හෙළා දකිමු. මේ වන විට ළමයින් ඇතුළු පලස්තීන ජාතිකයන් සිය ගණනක් මිය ගොස් දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර දිනපතා දහස් ගණනක් අවතැන් වෙමින් සිටිති. මේ වන විට මෙම ප්‍රහාර දෙවන සතියට ළඟා වී ඇති අතර දිගටම ප්‍රහාර පැවතුණහොත් මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇත.

නක්බා සිදුවී වසර 73ක් ගත වී ඇති මුත් එතැන් පටන් පලස්තීන ජනතාවට ම්ලේච්ඡ ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක් වී ඇත. පලස්තීන ජනතාවගේ නිදහස, ස්වෛරීභාවය සහ මානව හිමිකම් උල්ලංඝනය කරන අධිරාජ්‍යවාදීන් සහ ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ම්ලේච්ඡ ප්‍රහාරයන්ට එරෙහිව පලස්තීන ජනතාව සිය මවුබිම නිදහස් කරගැනීමේ අරගලයක නිරතව සිටිති. මෙහිදී ඔවුනට අත්තනෝමතික සිරදඩුවම්, අත්අඩංගුවට ගැනීම් සහ වධහිංසාවලට මුහුණ දීමට සිදුවන අතර ඔවුන්ගේ අයිතිවාසිකම්, නිදහස මෙන්ම සුභසාධනයන් සියල්ලම ඔවුනට අහිමි කර ඇත. ඊශ්‍රායල හමුදා විසින් දිගින් දිගටම කරන මෙම ප්‍රහාරයන් පලස්තීනයට, ඊශ්‍රායලයට මෙන්ම අනෙකුත් මැදපෙරදිග රටවල අඛණ්ඩතාව සහ ආරක්ෂාව අනතුරේ හෙළීම එම රටවල වැඩ කරන ජනතාවගේ දුක්ගැහැටවලට හේතු වෙයි. එහිදී ජාත්‍යන්තරයෙන් කෙරෙන ඇමතුම් හා ඉල්ලීම් නොසලකා හරිමින් ප්‍රහාර දිගටම සිදුකරන බව ඊශ්‍රායල අගමැති පවසයි.

එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ ආරක්ෂක අයිතිය පිළිබඳව කතා කරන අතර පසුගිය වසර 73 පුරා ඊශ්‍රායලය කෙතරම් ආක්‍රමණශීලී වී ඇත්දැයි ලෝකය සාක්ෂි දරයි. ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇති මෙම අර්බුදය සඳහා 1967දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව පලස්තීනය සහ ඊශ්‍රායලය ස්වෛරී රාජ්‍යයන් දෙකක් පිහිටුවීමට යෝජනා කරන ලදී. “1967 දේශසීමා” සහිත මෙම රාජ්‍ය දෙකේ විසඳුම ලෙස ඊශ්‍රායල් රජය සමඟ පලස්තීනයේ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම මෙම ගැටුම් සඳහා විසඳුම ලෙස තවමත් පවති.වර්තමානයේදී මෙම විසඳුම රටවල් 140කට වැඩි සංඛ්‍යාවක් විසින් සහ වතිකානුව විසින් ද පිළිගෙන ඇත. කෙසේ වෙතත්, පලස්තීනය සහ ඊශ්‍රායලය අතර අර්බුදය මේ වන විට උත්සන්න වී ඇත්තේ ඊශ්‍රායල් රජය මෙම විසඳුම අනුගමනය නොකිරීම සහ එක්සත් ජනපද ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් එම ගැටුම් උසිගැන්වීම හේතුවෙනි. එබැවින් පලස්තීන ජනතාවට සිදු වූ දැවැන්ත දුක් වේදනාවලට හා හානිවලට වගේම ඊශ්‍රායල ජනතාවගේ දුක්ගැහැටවලට ඊශ්‍රායල් රජය සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් වගකිව යුතුය.

ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අපි පලස්තීන ජනතාවට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරවලට මෙන්ම එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් අධිරාජ්‍යවාදී මැදිහත්වීම් අප දැඩි ලෙස හෙළාදකින අතර පලස්තීනයේ ජනතාවට අපගේ සහයෝගය මෙන්ම සහයෝගීතාවය දන්වා සිටිමු. අප ලොව පුරා සිටින සියලුම ප්‍රගතිශීලී පක්ෂ හා සංවිධානවලින් ඉල්ලා සිටින්නේ පලස්තීනයට සහයෝගය දක්වන ලෙසත්, නිදහස් හා ස්වෛරී පලස්තීනය වෙනුවෙන් හඬ නඟන ලෙසත්ය. පලස්තීන භූමිය තුළ ඊශ්‍රායලයක් බිහිකිරීම පිළිබඳ වගකීම එක්සත් ජාතීන්ගේ වන බැවින් පලස්තීනයට එරෙහි ප්‍රහාර නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙසත්, නිදහස් හා ස්වෛරී පලස්තීනය ස්ථාපිත කිරීමට දැඩි පියවර ගන්නා ලෙසත් අපි එක්සත් ජාතීන්ගෙන් තරයේ ඉල්ලා සිටිමු. පලස්තීන ජනතාවට සුරක්‍ෂිත හා සාමකාමී ජීවිතයක් ගත කිරීම උදෙසා, පලස්තීනය පිළිබඳ දරන ආකල්ප අවසන් කරන මෙන් ඊශ්‍රායලයට බල කරන ලෙස අපි සාමයට කැමති ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ඒ වගේම අප පලස්තීනයේ හා ඊශ්‍රායලයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ජීවිත හා දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට ක්‍රියාත්මක වන අධිරාජ්‍යවාදී ව්‍යාපෘති පරාජය කිරීමට එක්සත් වන ලෙසයි.

පලස්තීනයට එරෙහි කුරිරු ප්‍රහාර වහාම නවත්වනු!
නීති විරෝධී මැදිහත්වීම් වහාම නතර කරනු!
නිදහස් හා ස්වෛරී පලස්තීනය වහාම ස්ථාපිත කරනු!
අධිරාජ්‍ය විරෝධී ජාත්‍යන්තර සහයෝගීතාව දිගු කල් දිනේවා!

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *