Type to search

ඊශ්‍රායල – පලස්තීන මහා නස්පැත්තිය

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ඊශ්‍රායල-පලස්තීන මහා නස්පැත්තිය
ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම අළුත් වටයකින් ආරම්භ වෙලා තිබෙනවා. මේ වන විට ගාසා තීරයේ මියගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 120ටත් වැඩියි. මැදපෙරදිග කලාපයේ මහා පරිමාණ යුද්ධයක් ඇති වන ලකුණු පහල වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ගාසාහි ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි තට්ටු 14 ක ගොඩනැගිල්ලක් ඊශ්‍රායල රොකට් ප්‍රහාර වලින් බිමට සමතලා වෙන හැටි දුටු විට කලාපයේ යුද්ධයක් ඇතිවුණොත් සිවිල් වැසියන්ට කෙතරම් භයානක ප්‍රථිපල අත්කර දෙනු ඇතිදැයි අනුමාන කළ හැකියි.

වර්ෂ 1948 දී ඊශ්‍රායලය බිහිවූ දා පටන්ම මේ කලාපය තිබෙන්නේ ගිණිමැලයක් අසළ තිබෙන පැට්‍රෝල් ටැංකියක් වගේ. පලස්තීනුවන් හා ඊශ්‍රායල ජාතිකයන් අතර ඇති වන බහින් බස් වීමක් පවා ලෝක යුද්ධයක් දක්වා දිග්ගැස්සෙන්න පුළුවන් තරමට මේ කලාපය උණුසුම්. නමුත් පලස්තීනය හා ඊශ්‍රායලය අතර අර්බුදය විග්‍රහ කිරීම ආවාට ගියාට කරන්න බැහැ.

ඊශ්‍රායලයට එල්ල වූ පලස්තීන රොකට් ප්‍රහාර ඩොම් ආරක්ෂන පද්ධතිය විසින් ගුවනේදීම විනාශ කරන අයුරු උපුටා දක්වමින් හමාස් නායකයන්ට හොම්බෙන් යන්න පහර දීමක් ගැන සමාජ මාධ්‍ය වල උජාරුවෙන් ලියපු ලිපි කියවන්න ලැබුණා. දෙපැත්තේම ප්‍රහාර මෙහේ ඉඳන් බැලුවමනම් මල් වෙඩි වගේ. අනිත් අතට ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් විසින් මේ අර්බුදය නිර්මාණය කර ඇති බවත් තවත් සමහරු ලියා තිබුණා. නමුත් ඊශ්‍රායල-පලස්තීන අර්බුදය එහෙම වර්තමානයට ලඝුකර දක්වන්න පුළුවන් ප්‍රශ්ණයක් නෙවෙයි. අපේ දේශපාලන දෘෂ්ඨිකෝණයට අනුව හෝ ආගමික කෝවකට දමා කිරා මැන බලන්න පුළුවන් අර්බුදයකුත් නෙවෙයි.

දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් දිනුවානම් දැන් ඊශ්‍රායලය කියා රටක් නැහැ. ඒ වගේම යුදෙව් යනුවෙන් ජාතියකුත් නැහැ. හිට්ලර්ගේ උවමනාව තිබුණේ යුදෙව්වන් සමූලඝාතනය කරන්න. Holocaust යනුවෙන් හැඳින්වූ මේ ක්‍රියාන්විතයේදී යුරෝපයේ ජීවත් වූ යුදෙව්වන් මිලියන 6ක් ඝාතනය කෙරුණා. නමුත් මෑත කාලීන විශ්ලේෂකකයන්ට අනුව ඝාතනය කළ යුදෙව්වන්ගේ ප්‍රමාණය ඊට බොහෝ සෙයින් වැඩි බවයි පැවසෙන්නේ.

මධ්‍යධරණී මුහුදට මායිම්ව තිබෙන සීනායි අර්ධද්වීපය යනු අප්‍රිකානු මහාද්වීපයත් ආසියානු මහාද්වීපයත් මායිම් වන භූගෝලීය වශයෙන් ඉතා වැදගත් භූමියක්. එක් පසෙකින් ඊජිත්තුවට අයත් සීනායි අර්ධද්වීපයට මායිම්ව හා අනෙක් පසින් ජෝර්දානය, සිරියාව හා ලෙබනනය යන අරාබි රටවල් වලට මායිම්ව තමයි ඊශ්‍රායලය බිහිවන්නේ.

වර්තමාන ඊශ්‍රායලය බිහිවෙන්න කළින් ඒ ප්‍රදේශයේ වාසය කළේ පලස්තීන අරාබි වරුන්. දෙවන ලෝක යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් විදියට බලහත් කාරයෙන් මතු වූ රාජ්‍යයක් වුවත් යුදෙව්වන්ට ඒ කලාපයේ ඓතිහාසික උරුමයක් තිබෙනවා. ඒ කතාව ක්‍රි.පූ. 1800 පමණ දක්වා දිවයනවා. යුදෙව් ධර්මය අනුව ඔවුන් අනුගමනය කරන්නේ බයිබලයේ පැරණි තෙස්තමේන්තුව. ඔවුන් ජේසුස් වහන්සේගේ ආගමනය පිළිගන්නේ නැහැ. යුදෙව් ආගමට අනුව ගැලවුම්කාරයා තවම පැමිණ නැහැ. ඒ කෙසේ වෙතත් විශේෂත්වය තමයි යුදෙව්වන් බොහෝ විට අනෙකුත් ආගම් වලටත් ගරු කිරීම.

මේ ගැන ලියන විට ප්‍රවේසම් වෙන්න ඕන කාරණයක් තිබෙනවා. මේ ජනවර්ග දෙකම එකම මූලයකින් පැවත එන කණ්ඩායම් දෙකක් බව කියන්න පුළුවන්. ඉතිහාසයට උඩින් අතුරා ඇති දේවකතා නම් අයිසින් තට්ටුව ඉවත්කළාම ඒ බව පෙනීයනවා. ඒබ්‍රහම් නම් ඉඩම් හිමියෙකුගේ පුතුන් දෙදෙනක්ගෙන් තමයි මේ යුදෙව් හා පලස්තීන ජනවර්ග දෙක බෙදී යන්නේ. දරුවන් දෙදනා මව් වරුන් දෙදෙනෙකුගේ නිසා දේපල බෙදා ගැනීමේදී ඇතිවූ විරසකය මෙසේ ජන කොටස් දෙකක් ලෙස වෙන්ව යෑමට හේතු වී තිබෙනවා. අපි නොදන්නවා වුණාට දැනටත් සංහිදියාවෙන් ජීවත් වෙන ඊශ්‍රායල් හා පලස්තීන මිනිසුන් ඉන්නවා. ඔවුන් අතර නයි-මුගටි වෛරයක් නැහැ. ඒක හරියට යුද්ධ කාලේ අපේ සිංහල-දෙමළ ජාතීන් අතර තිබුණූ සම්බන්ධතාව වැනි එකක්. මේ ගාල ගෝට්ටිය අතරෙත් ඊශ්‍රායලයට රැකියාවට ගොස් හවසට තමන්ගේ නිවසට පැමිණෙන පලස්තීනුවන් ඕනෑ තරම් ඉන්නවා.

ඊශ්‍රායලය බිහිවීමට කළින් ඔවුන් සැම විටම වෙනස් ජන කොටසක් ලෙස තමයි ඒ ඒ රටවල් වල ජීවත් වුණේ. ඒ නිසා ඔවුන් සැම විටම වෙනස් හා විකල්ප මතධාරීන් වුණා. යුදෙව්වන්ට ඕනෑ වුනේම ඉතා බුද්ධිමත් ජන කණ්ඩායමක් ලෙස ජීවත් වෙන්න. ඔවුන් උත්සාහ කළේ ඇඟපත ලොකු කරගන්නවාට වඩා මොළය හදා ගන්න. කාල් මාක්ස්, ලියොන් ට්‍රොස්කි, ඇල්බට් අයින්ස්ටයින් හෝ සිග්මන් ප්‍රොයිඩ් වැනි මහා යුදෙව් ජාතික ප්‍රාඥ්ඥයන් හා දාර්ශනිකයන් ඔබ අසා තිබුණාට ලෝක ප්‍රසිද්ධ යුදෙව් ජාතික ක්‍රීඩකයන් ගැන අසන්නට නොලැබෙන්නේ ඒ නිසයි.

රටක් අහිමි යුදෙව්වන්ට තමන්ගේම රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ඇතිවූ සංකල්පයට තමයි සයන්වාදය කියන්නේ. සයන්වාදී ඉගැන්වීම් වලට අනුව ක්‍රි.පූ.500 දී පමණ රෝමන් වරුන් පලස්තීනය ආක්‍රමණය කිරීමත් සමඟ එතෙක් ඒ ප්‍රදේශයේ ජීවත් වූ යුදෙව්වන් පළවා හැරුණ බවත් කියවෙනවා. නමුත් ඇත්තටම ක්‍රිස්තු වර්ෂ 500න් පසු ඉස්ලාම් ආගම ඒ ප්‍රදේශයේ පැතිරීමත් සමග යුදෙව්වන්ට පලස්තීනයෙන් පලා යෑමට සිදු වූ බව තමයි වර්තමාන යුදෙව් ජාතිකයන්ගේ මතය.

ඊශ්‍රායලය බිහිවීමේ මෑත කාලීන ඉතිහාසය ගත්තොත් 1917 දී සකස් කරන ලද බැල්ෆෝර් ප්‍රකාශනය මඟින් ඊට ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්. ඒ අනුව එවකට බ්‍රිතාන්‍ය අගමැති ආතර් බැල්ෆෝර්ගේ පලස්තීනය තුළ යුදෙව් රාජ්‍යයක් නිර්මාණය කිරීමට සහාය වීමේ යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කළා.

පළමු ලෝක යුද්ධයේ අවසාන කාලයේදී තමයි බැල්ෆෝර් ප්‍රකාශනය සම්මත වෙන්නේ. ඒ යුගය වෙන විට පලස්තීනය ඇතුලත් මැදපෙරදිග කලාපයේ තිබුණූ ඔටෝමාන් පාලනය පරාජයට පත්වෙමින් තිබුණා. පලස්තීන කලාපයේ පාලනය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය විසින් අත්පත් කරගෙන තිබුණා.
මේ ප්‍රදේශයේ ඒ වන විට අරාබි බහුතරයක් හා යුදෙව් සුළුතරයක් වාසය කළා. ජෙරුසෙලම ඇතුළත් පලස්තීනය සමඟ මුස්ලිම්, යුදෙව් මෙන්ම ක්‍රිස්තියානි ආගමිකයන්ටත් තිබුණේ අත්හළ නොහැකි බැඳීමක්. ඒ සියළු ආගමිකයන්ට ජෙරුසෙලම ශුද්ධ භූමියක්.

ජාත්‍යන්තර ප්‍රජාව යුදෙව්වන් සඳහා ජාතික රාජ්‍යයක් නිර්මාණය කිරීමේ කාර්යය ඒ වෙන විට එහි පාලකයා වූ බ්‍රිතාන්‍යයට පැවරුවා. ඒත් එක්කම අරාබි ජාතිකයන් හා යුදෙව් ජාතිකයන් අතර ආතතිය වර්ධනය වුණා. මේ ජනවර්ග දෙකම පලස්තීන නිජභූමියට අයිතිවාසිකම් කියා පෑවා. පළමු ලෝක යුද්ධයත් දෙවන ලෝක යුද්ධයත් අතර දශක 3 ක පමණ කාලයේ එහි පැමිණි යුදෙව්වන්ගේ සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් වැඩි වුණා. ලෝකය පුරා විසිරී සිටි සයන්වාදී ඩයස්පෝරාව මේ වෙනුවෙන් මතවාදීමය අනුග්‍රහය ලබා දුන්නා. පසුව දෙවන ලෝක යුද්ධයේදී අත්විඳින්නට සිදු වූ හිංසා පීඩාවලින් ආරක්ෂා වීමට යුරෝපයේ ජීවත් වූ යුදෙව්වන් මහා පරිමාණයෙන් පලස්තීනයට පලා ආවා. මේ ජනගහන සංයුතියේ වෙනසත් සමඟම යුදෙව්වන් සහ අරාබිවරුන් අතර ප්‍රචණ්ඩත්වය වැඩිවුණා.

සිදුවීම් මෙසේ පෙළගැසෙද්දී දෙවන ලෝක යුද්ධයත් නිමාවට පත්වුණා. යුද්ධයේ ප්‍රධානම වින්දිතයා බවට පත් ව සිටි යුදෙව් ජාතිය ගැන විශේෂ අනුකම්පාවක් ජාත්‍යන්තර ප්‍රජාව අතර පැතිරුණා. 1947 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස් වී පලස්තීනය වෙන වෙනම යුදෙව් සහ අරාබි රාජ්‍යයන් ලෙස දෙකට බෙදීමට ඡන්දය දුන්නා. ජෙරුසලමේ ඇති ‍ඓතිහාසික තත්ත්වය සළකා එය කිසිවෙකුට අයිති නැති ජාත්‍යන්තර නගරයක් බවට පත්කළා. මේ සැළසුම යුදෙව් නායකයන් විසින් පිළිගත්තත් අරාබි නායකයන් ඊට අනුගත වුණේ නැහැ. කොහොම නමුත් ඊශ්‍රායලය නම් කුඩා දුබල රාජ්‍ය්‍යක් අරාබි යෝධයන් මැද බිහිවුණා.

1948 දී පලස්තීන ගැටලුව විසඳීමට නොහැකි වූ බ්‍රිතාන්‍ය පාලකයින් ඉන් ඉවත්ව ගියා. යුදෙව් නායකයින් ඊශ්‍රායල රාජ්‍යය ප්‍රකාශයට පත් කළා. ඔවුන්ට දීර්ඝකාලීන සැළසුම් තිබුණා. ඒ අනුව මුලින් ඊශ්‍රායලය බිහිවුණේ වර්ග කිලෝ මීටර් 15 ක පමණ කුඩා ප්‍රදේශයක් තුළ. එය අපේ ශ්‍රී ජයවර්ධන පුර-කෝට්ටේ නගරය තරම්වත් විශාල නැහැ. බහුතරය වූ පලස්තීනුවන් කිසිසේත්ම ඊට එකඟ වුණේ නැහැ. ජනවර්ග දෙක අතර යුද්ධයක් ඇතිවුණා. ඊජිප්තුව හා ජෝර්දානය වැනි අසල්වැසි අරාබි රටවල හමුදා පලස්තීන අරාබිවරුන් වෙනුවෙන් සටනට පැමිණියා. නමුත් යුදෙව් නිජභූමි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය අනුගමනය කළේ දැඩි අමානුෂික ක්‍රියාන්විතයක්. ඒකත් හරියට යුරෝපයේදී නාසි හමුදා යුදෙව්වන් වෙත මුදා හැරි Holocaust බලහත්කාරය වගේ. අල් නක්බා එහෙමත් නැත්නම් The Catastrophe (මහා නස්පැත්තිය) යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රියාවලිය තුළින් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් තම ගම් බිම් වලින් පළවා හැරියා. සමහර ගම් වල ඉවත් වීම ප්‍රතික්ෂේප කළ පලස්තීන තරුණයන් එක පෙළට තබා වෙඩි තබා මරා දැමුණා. සයන්වාදී අන්තවාදී කණ්ඩායම් මේ ප්‍රචණ්ඩ ක්‍රියාවල මූලිකත්වය ගත්තා. ඔවුන්ට රජයේ නායකයන්ගේ අනුග්‍රහය නොඅඩුව ලැබුණා.

මුලින් ලොව බොහෝ රටවල් ඊශ්‍රායලය ස්ථාවර රාජ්‍යයක් ලෙස පිළිගත්තේ නැහැ. එය තාවකාලික රජයක් ලෙස තමයි පිළිගත්තේ. ඊශ්‍රායල රාජ්‍යය සඳහා ලබා දී තිබූ එක්සත් ජාතීන්ගේ නිර්දේශ අමු අමුවේ උල්ලංඝණය වුණා. මැදිහත්කරුවකු ලෙස පලස්තීනයට යැවූ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වූ බෙල්ජියම් ජාතික ෆොල්ක් බර්නඩොට් කුමාරයා පවා සයන්වාදීන් අතින් ඝාතනය වුණා. නමුත් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය යුදෙව් නායකයන්ගේ නාහෙට නාහන වැඩ ගැන නෑසූ කන්ව සිටියේ මැද පෙරදිග කලාපයේ තමන්ගේ නියෝජිතයා ලෙස ළදරු ඊශ්‍රායලය ඒ වන විටත් තෝරාගෙන තිබුණු නිසා. අරාබි රටවල නිල නොලත් නායකයා ලෙස ඒ වන විට කටයුතු කළ ඊජිප්තුව මතවාදීව සෝවියට් දේශය සමඟ හිටපු නිසා ඒ ආසන්නයේ බිහිවන යුදකාමී යුදෙව් රාජ්‍යයක අවශ්‍යතාවය බටහිර බලවතුන්ගේ මූලෝපායික උපක්‍රමයක් වුණා.

කොහොම නමුත් අල් නක්බා ක්‍රියාන්විතය තුළින් අල්ලා ගත් ගම්බිම් වල යුදෙව්වන් පදිංචි කිරීමට ආණ්ඩුව කටයුතු කළා. පලස්තීනුවන්ගෙන් අත්පත් කරගත් ව්‍යාපාර යුදෙව්වන්ට ලබා දුන්නා. සයන්වාදී ඩයස්පෝරාව ඊශ්‍රායලය තුල සිදුවන ගැටුම හඳුන්වා තිබුණේ විමුක්ති අරගලයක් විදියට. නමුත් කිසිසේත්ම පීඩාවට පත් වූවන්ට විමුක්තිය උදාවූ සටනක් ඊශ්‍රායලයේ සිදුවුණේ නැහැ. එහි පුරවැසියන්ට තමන්ගේම නිජභූමි තුළ විදේශිකයන් ලෙස ජීවත් වීමට සිදුවුණා. ඊශ්‍රායලය යුදෙව්වන්ගේ රාජ්‍යයක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගන්තියක් පවා ඇතුළුවුණා.

යුදෙව්වන් පරාජය කළ නොහැකි ජාතියක් ලෙස ලෝකය පුරා නමක් ඇති කර ගත්තේත් මේ යුද්ධයෙන් පසුවයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ විඳින්නට සිදු වූ නොසළකා හැරීම් නිසා යුදෙව්වන් උපක්‍රමශීලී ජාතියක් ලෙස නැගී සිටි බව ඇත්ත. මේ සදහා බුද්ධිමය මැදිහත් වීම කරන්නේ මොසාට් සංවිධානය. දෙවන ලෝක යුද්ධයේදී යුදෙව්වන් තලාපෙළා දැමූ ඉතිරි වී සිටි නාසි නායකයන් පසුපස පවා ඔවුන් හඹා ගියා. Holocaust සංහාරයට වගකිව යුතු ඇඩොල්ෆ් අයික්මාන් ඈත ආජන්ටිනාවේ වෙනත් පුද්ගලයකු ලෙස ජීවත් වුණා. ඔහුව සොයා ගොස් කාටත් හොරා ජීවග්‍රහයෙන් අල්ලා ගෙන ඊශ්‍රායලයට ගෙන ඒමටත් ඔහුට මරණ දඩුවම් ලබා දීමටත් මොසාට් සංවිධානයට හැකි වුණා.

‍එක්සත් ජාතීන් මැදිහත් වී ඇති කර ගන්නා සටන් විරාමයක ප්‍රථිපලයක් ලෙස මුල්ම සයන්වාදී යුද්ධය වසරකින් නිමා වුණා. නමුත් ඒ වන විට ඊජිත්තුවට අයත් ගාසා තීරයත් ජෝරදානයට අයත් බටහිර ඉවුරත් ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන තිබුණා.

ඊශ්‍රායලයේ නැගී ඒම ගැන මුළු අරාබිකරයම නොසන්සුන් වී තිබුණා. යුද්ධයෙන් ලැබූ පරාජය අරාබියේ බලවත් රාජ්‍යයන්ට මහා අවමානයක් ගෙන දුන්නත් ඔවුන්ට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇමෙරිකාවේ අනුග්‍රහය යටතේ ඊශ්‍රායලය බලවත් රාජ්‍යයක් ලෙස ඉදිරියට එමින් තිබුණා. ඇත්තටම ඊශ්‍රායලයට තව තවත් යුද්ධ ඕනෑ වුණා. අවට පිහිටි බලවත් අරාබි රටවල් යුද්ධයට ඈඳාගෙන ඔවුන්ගේ භූමි අත්පත් කර ගැනීම ඔවුන්ගේ සැළසුම වුණා.
1967 දී ඇති වූ සය දින යුද්ධය කියන්නේ අරාබි රටවල් ඊශ්‍රායලයේ ගැටයට අහුවුණු අවස්ථාව. එයින් අරාබි රටවල් ඉල්ලාගෙන කෑවා කිව්වොත් නිවැරදියි.
“යුද්ධයට ගතවුණේ දින හයක් වුණත් දශකයක් තිස්සේ අපි සැළසුම් හැදුවා. කිසිම පියවරක් දශමයකින්වත් වරද්දන්න අපට ඕනෑ වුණේ නැහැ. අපි කෑවෙ බීවෙ නිදා ගත්තේ මේ සැළසුමත් එක්ක.”
සයදින යුද්ධයේ මහා මොළකරු වූ එවකට ඊශ්‍රායල ආරක්ෂක ඇමති මොෂේ දයාන් පසුව පැවසුවේ එහෙමයි.
සය දින යුද්ධය ගැන කෙටියෙන්ම කිවුවොත් ඒ වන විට සිරියාවට අයිති ගෝලාන් කඳුකරය තිබුණේ යුද මුක්ත කලාපයක් ලෙස. උපක්‍රමයක් ලෙස ඒ ප්‍රදේශයට ඊශ්‍රායල හමුදාව යැවුණා. ඊශ්‍රායල රජය පැවසුවේ නිසරු බිම් වල වගා කිරීමට ඔවුන් යැවූ බව. ඒ වන විට සිරියාව සමඟ ආරක්ෂක සන්ධානයකට එළඹ තිබූ ඊජිප්තුව මෙයින් කළබල වුණා. ඒ වන විට අරාබිකරයේ මහේසාක්‍ය නායකයා විදියට වැජඹීඹට ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දූල් නසාර්ට තිබුණේ දැඩි උනන්දුවක්. ඒ නිසා අනෙකුත් අරාබි රටවල දුක්ගන්නාරාළ ලෙස කටයුතු කළේ නසාර් ජනාධිපතිවරයායි. මුලින් රතු මුහුද ඔස්සේ ඊශ්‍රායල නැව් වලට යාත්‍රාකිරීම තහනම් කළ නසාර් කලාපයේ ස්ථාපිත කර තිබුණු සාම හමුදාඛණ්ඩ කිහිපයක් ඉවත් කර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දුන්නා. ඒත් එවකට එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඌ තාන් කිව්වේ එසේ කෑල්ලෙන් කෑල්ලට තම හමුදා ඉවත් කරගැනීමට තමන් සූදානම් නැති බවත් අවශ්‍ය නැත්නම් ඊජිත්තු- ඊශ්‍රායල දේශසීමාවේ රදවා සියළුම මුළු සාම හමුදා භටයන් ඉවත් කර ගන්නා බව. කොහොම නමුත් අන්තිමට එක්සත් ජාතීන්ගේ හමුදාව එසේ ඉවත් කරගන්නා ලෙස පැවසීමට නසාර්ට සිදුවුණා.

එක්සත් ජාතීන්ගේ හමුදා වල ඉවත් වීමත් සමඟ නසාර් සීනායි අර්ධද්වීපයට තමන්ගේ හමුදා යැව්වා. ඊශ්‍රායලය මෙය තමන්ගේ රට සමඟ යුද ප්‍රකාශ කිරීමක් ලෙස අර්ථකතනය කළා. ඇත්තටම ඔවුන්ට උවමනාව වී තිබුණේත් ඒකමයි. අරාබි රටවල් තුෂ්ණීම්භූත කරමින් එදින රාත්‍රියේ අහසට නැඟුණු ඊශ්‍රායල යුද ගුවන් යානා ඊජිප්තුව සතු ප්‍රහාරක යානා 340න් 300ක්ම විනාශ කර දැම්මා. කොහොම නමුත් දින හයේ යුද්ධය නිමා වන විට ශ්‍රායලය නැගෙනහිර ජෙරුසලම ,සිරියානු ගෝලාන් කඳුකරය මෙන්ම ඊජිප්තුවට අයත් දැවැන්ත සීනයි අර්ධද්වීපය ද අත්පත් කරගෙන තිබුණා.

ඉන්පසුව සාම ගිවිසුම් යටතේ තමන් අත්පත් කරගත් සමහර ප්‍රදේශ ඒ රටවල් වලට ආපසු ලබාදෙන්න ඊශ්‍රායලය කටයුතු කළා. ඔවුන්ට ඕනෑ වුණෙත් බලය පෙන්වා සාම ගිවිසුම් වලට එළැඹෙන්න. පලස්තීනුවන් බහුතරය වෙසෙන ගාසා තීරයත් බටහිර ඉවුරත් එක්කර පලස්තීනය නම් රාජ්‍යය නිර්මාණය කර ගැනීමට පසු කාලයක හැකිවුණා. ඒ සඳහා යසර් අර්ඝත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය නොහොත් ෆටා සංවිධානය බොහෝ කලක් සටන් කළා. 1993දී හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ මූලිකත්වයෙන් කලාපයේ යම් සාමකාමී වාතාවරණයක් උදාවුණා. නව පලස්තීනයේ මුල්ම නායකයා ලෙස කටයුතු කළේත් යසර් අර්ෆත්. මේ වන විට පලස්තීන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ මොහමඩ් අබ්බාස්.

නමුත් පලස්තීනයට අයත් බටහිර ඉවුර හා ගාසා තීරය තිබෙන්නේ වෙන වෙනම. ඒ දෙක අතර ප්‍රවේශ මාර්ගයක් නැහැ. පලස්තීනුවන්ට තමන්ගේම රටේ කොටසකට ගමන් කිරීමටත් වෙනත් රටවල් හරහා යැමට සිදුව තිබෙනවා.

දැන් ගැටුම් ඇති වී තිබෙන්නේ මධ්‍යධරණී මුහුදට මායිම්ව ඇති ගාසා තීරයේ. මේ කොටස පාලනය කරන්නේ පලස්තීන නිල ආණ්ඩුවෙන් නෙවෙයි. සන්නද්ධ අන්තවාදී සංවිධානයක් වන හමාස් සංවිධානය විසින්. ෆටා සංවිධානයේ නිල පාලනය බටහිර ඉවුරට සීමා වි තිබෙනවා. බටහිර ඉවුරේ පලස්තීන රජයක් පැවතියත් ඊශ්‍රායලය එය තමන් විසින් අල්ලා ගත් ඕනෑම මොහොතක තමන්ගේ බලයට යටත් විය යුතු කලාපයක් ලෙස තමයි සළකන්නේ. බටහිර ඉවුරේ පලස්තීන ආණ්ඩුව මෙන් හමාස් සංවිධානය මධ්‍යස්ථව කටයුතු කරන්නේ නැහැ. ඔවුන් 1993 සිට ඇතිකර,ගත් ඊශ්‍රායල් -පලස්තීන සාම ගිවිසුම් කිසිවක් පිළිගන්නේ නැහැ. හමාස් වරුන්ගේ අරමුණ පලස්තීයෙන් කවදා හෝ යුදෙව්වන් පළවා හැරීමයි. ෂියා මුස්ලිම් සංවිධානයක් වන හමාස් සංවිධානයට ෂියා මුස්ලිම් ලෝකයේ නායකත්වය උසුලන ඉරානය විසින් ආධාර, උපකාර කරන බව නොරහසක්.

ඊශ්‍රායලය අගනුවර ටෙල් අවිව්හි පිහිටියත් ඔවුන් මූලෝපායික අගනුවර විදියට ස්ථාපිත කරන්න උත්සාහ කරන්නේ ජෙරුසෙලම. පලස්තීනුවනුත් නැගෙනහිර ජෙරුසෙලම තමන්ගේ අනාගත රාජ්‍යයේ අගනුවර ලෙස පවසනවා.
ඊශ්‍රායල-පලස්තීන අර්බුදය ගැන පුළුවන් තරම් කෙටි සටහනක් තමයි මේ ලිව්වේ. අපේ ලාංකියන්ට මේ වන විට විශාල වැටුපකට ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිවෙලා තිබෙනවා. දැනටමත් විශාල පිරිසක් එහි සේවය කරනවා. අනිත් අතට පලස්තීනය මෑත කාලයේදී අපේ රට වෙනුවෙන් බොහෝ දුරට පෙනී සිට තිබෙනවා. ඒ රට තුළ අපේ රටේ රාජ්‍ය නායකයකුගේ නමින් පාරක් පවා නම් කර තිබෙනවා. රොකට් ප්‍රහාර වලින් ඇස් නිලංකාර කරගන්නේ නැතිව බැලුවොත් ඊශ්‍රායල රාජ්‍යයක් පවත්වා ගැනීමට ඓතිහාසික අයිතියක් යුදෙව්වන්ට තිබෙන බව ඇත්ත. ඒත් ඒ පැවැත්ම වෙනුවෙන් පලස්තීනයේ ජීවත් වෙන යුදෙව් ප්‍රශ්ණයට කිසිම සම්බන්ධයක් නැති ළමා ළපටින් ඇතුළු පීඩිත පලස්තීනුවන් ඝාතනය කිරීමනම් අනුමත කරන්න බැහැ.

-ලෝකය එකම යායක් FB Group

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *