ගැසට් රිවස් කළාට මේ ආණ්ඩුව පෝට් සිටි පනත සම්මත කළොත් රිවස් කරන්න බැහැ – ටිල්වින් සිල්වා

මේ ආණ්ඩුව ගැසට් රිවස් කරන ආණ්ඩුවක් බව ජනතාව දන්නා නමුත් පොට් සිටි පනත සම්මත කරනු ලැබුවහොත් එය රිවස් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ජනතාව භීතියටත්, පීඩාවටත් පත්ව සිටින පසුබිමක ආණ්ඩුව කඩිමුඩියේ තක්කඩි විදියට පෝට් සිටි පනත සම්මත කරගැනීමට ආණ්ඩුව උත්සාහ නිරත වෙමින් ඇතැයි ඔහු පවසනවා. පෝටි සිටි පනත සම්මත කර ගැනීමේ ආණ්ඩුවේ උත්සාහයට විරෝධය පළකරමින් අද (16) දින එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ අදහස් පළකරනු ලැබීය. එම මාධ්‍ය හමුවේදී ඔහු දැක්වූ සම්පූර්ණ අදහස් මෙසේය….

” කොරෝනා පිළිබඳව අපි හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙන වෙලාවක ආණ්ඩුව කඩිමුඩියේ වරාය නගර ආර්ථික සංවර්ධන පනත සම්මත කරගන්න උත්සාහ කරනවා. මේ පනත ඉදිරිපත් කළ මොහොතේම ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපිත්, තවත් සංවිධාන ගණනාවක් සහ පුද්ගලයන් මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අධිකරණයේ තීන්දුව කථානායකතුමාට එවලා තියෙන්නේ. 18වැනිදා කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම් දෙනවා. 19 සහ 20 දෙදින තුළ මේ පිළිබඳව විවාදයක් පවත්වා සම්මත කරගන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. රට ඇතුළේ විශාල ව්‍යසනයක් තියෙද්දී ඒ තත්වය පාවිච්චි කරලා තක්කඩිකමට මේ පනත සම්මත කරගන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ආණ්ඩුවට මේ ගැන කොච්චර හදිසියක් තියෙනවාද කියනවා නම් අධිකරණයේ තීන්දුව ලැබෙන්නත් කලින් දින දා ගෙන පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උත්සාහ කළා. ජනතාව තුළ සංවාදයකට ලක්වෙන්න කලින් මේක සම්මත කරගන්න දැනුත් උත්සාහ කරන්නේ.

පෝට් සිටි පනත ගේන්නේ මේ වගේ පසුබිමක් තුළ. මේ භූමිය අපිට අයිති නැති චීනයට අයිති රාජ්‍යයක් බවට පත්වෙනවා. ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වෙනවා. කලාපීය බල අරගලයේ ගොදුරක් බවටත් පත් කෙරෙනවා. මේ බරපතළ හාණි වළක්වා ගන්න එක රටේ පුරවැසියන්ගේ වගකීමක්. ඒ වෙනුවෙන් ජනතාවගේ ජනමතය ප්‍රකාශ කරන්න තිබෙන මාර්ග සියල්ලක්ම ඇහිරිලා තියෙන වෙලාවක ආණ්ඩුව තක්කඩි විදිහට මේ පනත සම්මත කරගන්න යනවා. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මේ තක්කඩි වැඩේ කරන්න එපා කියලා. අපි ජනතාවට අවධාරණය කරනවා මේ පනතට එරෙහි වෙන්න කියලා. ආණ්ඩුව මේ වැඩේ නවත්වන්නේ නැත්නම් ආණ්ඩුව පරාජය කිරීම දක්වා යන සාමූහික ක්‍රියාවලියකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ආණ්ඩුව මේ කරමින් යන්නේ අපේ මාතෘභූමියට කරන්න පුළුවන් ලොකුම අපරාධය. ඒනිසා පෝට් සිටි පනත සම්මත කිරීම වළක්වන්න කියලා නැවතත් පාර්ලිමේන්තුවේ ඉන්න සැබෑ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *