චීන එන්නත අනුමත කළ හැටි ප්‍රසිද්ධ කිරීම ඖෂධ නියාමන අධිකාරිය ප්‍රතික්ශේප කරයි; Sinopharm ආවේ අනුමැතියක් නැතිව- වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු

චීන එන්නත ලංකාවේදීම හදන්න යයි

චීන එන්නත ලංකාවේදීම හදන්න යයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර නැති Sinopharm සයිනොපර්ම් නම් චීනයේ නිපදවන ලද කොව්ඩ් වැක්සීනය ශ්‍රී ලංකාවේ භාවිතයට අවසර දුන් අන්දම හෙළ කළ නොහැකි යැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එම එන්නත අනුමත කරන ලෙස ඇතිවූ බලපෑම් හමුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදු වූ අතර මෙම අනුමත කිරීම සිදුව ඇත්තේ ඉන් පසුව එම තනතුරුවලට ආන්ඩුව විසින් පත් කරන ලද වෛද්‍යවරුන් විසිනි.‍

චීන කොවිඩ් – 19 එන්නත සඳහා අනුමැතිය ලබා දුන් ආකාරය ප්‍රසිද්ධියට පත් කරන්නැයි ඉල්ලමින් TISL ආයතනය ගොනු කළ තොරතුරු ඉල්ලීම (RTI) ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කියයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ (RTI) වගන්ති කිහිපයක් යටතේ එම තොරතුරු ලබා නොදී සිටීමට හැකි බැවින් අදාළ තොරතුරු නිකුත් කිරීමට ඔවුන්ට හැකියාවක් නැති බවයි.
චීන කොවිඩ් – 19 එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් TISL ආයතනය නැවත වතාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත තොරතුරු ඉල්ලීමේ අභියාචනයක් ගොනු කරනු ලැබ තිබේ.

අවශ්‍ය තොරතුරු චීන රජය විසින් ලබා දුන්හොත් මේ සතිය අගවන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සයිනොපර්ම් එන්නත අනුමත කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. රුසියානු ස්පුට්නික් එන්නත ලබන පූ්ලි මාසය දක්වා අනුමත නොකෙරනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
සයිනොපර්ම් එන්නතනිශ්පාදනය කර ඇත්තේ බරබතල රෝග ලක්ෂන නොමැතිව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට නිරාවරණය කිරීම සඳහා උක්‍රීය කරන ලද වෛරස් අංශු භාවිතා කිරීමෙනි. එය මේ කතාක් දුරට බොහෝ එන්නත් නිශ්පාදනය කරන ලද ක්‍රමය වේ.

සංසන්දනය කිරීමේදී බටහිර රටවල නිශ්පාදනය කර ඇති මෝඩර්නා සහ ෆයිසර් එන්නත් mRNA නම් නව ක්‍රමවේදය අනුව සකස් කැරේ. මෙයින් අදහස් කරන්නේ සමස්ත වෛරසයම නොවන කොරෝනා වයිරසයේ ජාන කේතයේ කොටසක් ශරීරයට එන්නත් කර ශරීරයෙහි වෛරස් ප්‍රෝටීන සෑදීම ආරම්භ කරවීමයි.

Sinopharm චීන එන්නතට බාධා කළේ කවුද? – වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු

එන්නත් හිඟයකින් පෙනෙන අප රටේ, Sinopharm එන්නත මේ අවස්ථාවේ ලබාදීමට විවිධ බලපෑම් කරමින් අවහිර කරන්නේ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වන මා බව web පුවත්පත් දෙකක ඊයේ සහ පෙරේදා සඳහන් කර තිබුණි. lankacnews නැමැති මුල් වෙබ් පුවත් පතේ සඳහන් කර තිබුණේ මේ පිළිබඳව සටහනක් ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය සිසිර සිරිබද්ධන මහතා ඔහුගේ මුහුණ පොතේ දමා ඇති බවයි. මෙම සාවද්‍ය, නොමඟ යවන සුළු පුවත් වලට පිළිතුරු වශයෙන් කරුණු පැහැදිලි කිරීමට මේ ලිපිය ලියමි.

එන්නත් ලියාපදිංචි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලීමක් ලැබුණ විට අනුගමනය කළ ක්‍රමවේදය වූයේ විද්වත් උපදේශක මණ්ඩලයක් හරහා එන්නතට අදාළ ඉදිරිපත් කර ඇති තොරතුරු සොයා බලා එම විද්වත් මණ්ඩලයේ නිර්දේශයට අනුව අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමයි. (බෝවන රෝග පිළිබඳව අපගේ දැනුම අනුව මමත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රමත් 2017 සිටම මෙම උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළා.)

මේ සඳහා වූ ස්වාධීන උපදේශක මණ්ඩලය මෙහිදී කරන්නේ ඒ එන්නතේ අතුරු ආබාධ සහ ප්‍රයෝජන ගැන, (risk-benefit) තුලනාත්මකව කරුණු පරික්ෂා කිරීමයි. මේ සඳහා සෑම විටම අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ තුන්වැනි අදියරේ සායනික පරීක්ෂණ වල සියලු දත්තයි. එවැනි දත්ත නොමැතිව එන්නතක් අනුමත කරනවා නම් එය අනුමත කළ හැකි අනිකුත් විදියනම් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එම සංවිධානය විසින් “දැඩි නියාමන අධිකාරියක්” ලෙස නම් කරන ලද රටක අනුමත වී තිබීමයි.

දැනට කොරොනා සඳහා ලංකාවේ අනුමත කර ඇත්තේ Covishield සහ Sputnik නැමති එන්නත් දෙක පමණි. මෙම එන්නත් දෙකම සඳහා තුන්වැනි අදියරේ සියලුම දත්ත එන්නත් නිපදවන්නන් විසින් ඉදිරිපත් කර තිබුණි. මීට අමතරව Covishield එන්නත සඳහා දැඩි නියාමන අධිකාරියක් සේ සලකන ‍බ්‍රිතාන්‍යය විසින් astra zeneca එන්නතට දී තිබූ අනුමැතියද ඉවහල් විය. අනුමත කරන ලද දෙවැනි එන්නත වන ස්පුට්නික් එන්නත තුන්වැනි අදියරේ සියලු දත්ත අපට ලබා දීමට අමතරව ඒවා පිළිගත් වෛද්‍ය සඟරාවකද පළ කර තිබිණ. කරුණු තවත් පැහැදිලි කර ගැනීම අවශ්‍ය අවස්ථාවලදී දෙවතාවක්ම zoom තාක්ෂණය ඔස්සේ සියල්ලට පිළිතුරු ද sputnik වෙතින් ලැබිණ. අප මෙම එන්නත් දෙකම අනුමත කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමට කලිනි. ඒ මේ රටේ එන්නත් කරන වැඩසටහනට උදව් කරන්නට තිබුණු උනන්දුව නිසයි.

තුන්වන අදියරේ දත්ත දුන්නේ නෑ.. සාකච්ඡාවකට ආවෙත් නෑ..
ඉල්ලුම්පත්‍රයක් ලැබුණු විට Sinopharm එන්නත, අනුමත කිරීමට අපි උත්සාහ ගත්තේ පෙබරවාරි මාසයේ ස්පුට්නික් එන්නතටත් කලින් වන අතර නැවත නැවත ඉල්ලා සිටියත් තුන් වෙනි අදියරයේ දත්ත සියල්ල ඔවුන් අපට ලබා දුන්නේ නැත. online zoom මීටිමකටද ඔවුන් පැමිණියේ නැත. එම දත්ත වෙනුවට ඔවුන් කියා සිටියේ මෙම එන්නත රටවල් ගණනාවක් පාවිච්චි කරන බවයි. මෙම පාවිච්චි කරන සියලුම රටවල් එන්නත ප්‍රදානයක් ලෙස ලැබුණු රටවල් පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා Sinopharm එන්නත අයදුම් කර තිබුණේ මාස කීපයකට කලින්. එහි අනුමැතිය මුල දී දෙනවා කිව්වේ මාර්තු මුල, පසුව එය අප්‍රේල් අග ලෙස සටහන් කළ ද තවමත් ඒ අනුමැතිය ලැබිලා නෑ. අපට මෙම එන්නතේ වාසි අවාසි ගැන තුලනාත්මකව පරීක්ෂා කර වාර්තාවක් දීමට නොහැකි බැවින් එම දත්ත ලැබෙනතුරු එන්නත අනුමත කිරීම නිර්දේශ කළ නොහැකි බව 08 දෙනෙකුගෙන් යුතු ස්වාධීන උපදේශක මණ්ඩලය ඒකමතිකව ඖෂධ අධිකාරියට නිල වාර්තාවක් මගින් දැන්වූයේ මාර්තු මස 17 වන දිනයි. මෙය අනුමත නොකෙළේ මා පමණක් බව පැවසීම කිසිසේත්ම නිවැරදි නොවේ. උපදේශක මණ්ඩලයේ මා සමග මහාචාර්ය නීලිකා මලවිගේ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය චන්න රණසිංහ මහාචාර්ය පත්මෙෂ්වරන් , විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා සහ කානිති නානායක්කාර යන අය ද මෙම ඒකමතික තීරණයට ඇතුළු වුණා.

ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට බලතල තිබෙනවා උපදේශක මණ්ඩලය කුමන අදහසක් දැරුවත් එම උපදෙස් සලකා බලා හෝ ඉවත දමා හෝ එන්නතක් අනුමත කිරීමට. මමත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාත් ඒ වන විට ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේද සිටියා.

මාර්තු මස 19 වැනිදා මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතාගේ සභාපතිත්වයෙන් ඖෂධ නියාමන අධිකාරිය රැස්වූ විට Sinopharm එන්නත සාකච්ඡාවට ගැනුණා. එහි සාමාජිකයන් 13 දෙනාගෙන් මමත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රමත්, පෙන්වා දුන්නා විද්වත් උපදේශක මණ්ඩලය මගින් මෙය නිර්දේශ කළ නොහැකි බව දන්නවා ඇති බව.

අන්තිමට Sinopharm ආවේ අනුමැතියක් නැතිවයි..
ඒ අනුව අප දෙදෙනා එම අනුමැතියට එකඟ වෙන්න අකමැති වුණා. එහෙත් එහි ඉතුරු අයගෙන් 06 දෙනෙකුම මාහාචාර්ය සිරිබද්දන ඇතුළුව ඊට සතියකට කලින් අලුතෙන් රජය පත් කළ අය වන අතර, 03 දෙනෙක්, නිල බලයෙන් අධිකාරියේ සමාජිකයන් වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසයි. ඡන්දයක් ගෙන වැඩිදෙනාගේ කැමැත්ත අනුව එය අනුමත කළ හැකි බව වැඩබලන සභාපති ලෙස එවකට කටයුතු කළ මහාචාර්ය සිරිබද්දන මහතාට මා පෙන්වා දුන්නත් ඔහු හැම විටම උත්සාහ කළේ එහි වගකීම ඔහු නොගෙන සියළු දෙනාම කැමති නම් පමණක් එන්නතට අවසර දීමයි. ඒ අනුව අවසානයේ එන්නත ලංකාවට ගෙනාවේ චීන ජාතිකයන්ට පමණක් එන්නත් කිරීමේ තීරණයක් මත ලියාපදිංචියක් නැතුවයි.

මාගේ අප්‍රසාදය සහ පිළිකුල..
මාර්තු මස 17 වැනිදායින් පසුව එවකට සිටි උපදේශක මණ්ඩලයට Sinopharm එන්නත පිළිබඳ කටයුතු ලබා නොදීමට තීරණය කළ වැඩබලන සභාපති තුමා මෙම එන්නත සඳහා අලුතින් ඔහු විසින් තෝරාගත් උපදේශක මණ්ඩලයක් ද පත් කළා. එම උපදෙස් මණ්ඩලයේ මා සිටියේ නැතත් එම උපදේශක මණ්ඩලය ද මෙම එන්නත අනුමත කළේ නෑ. අප්‍රේල් පළමුවෙනිදා මාව ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබුවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ 13 දෙනාගෙන් 10 දෙනෙකුම සභාපතිතුමාගේ ඉල්ලීමට එකඟ වී අනුමැතිය දෙන්නට ලෙහෙසියෙන්ම හැකි අයවුවත් මාර්තු 17 සිට මාස එක හමාරක කාලයක් තුළ ඖෂධ නියාමන අධිකාරිය එය කළේ නැහැ. මේ සඳහා ඒකමතික අනුමැතියක් අවශ්‍ය නොවේ. එය අද වුවත් කළ හැකිව තිබෙද්දී එසේ නොකර එය මාගේ පිටින් යැවීමට උත්සාහ කිරීම ගැන මාගේ අප්‍රසාදයත් පිළිකුලත් ප්‍රකාශ කිරීමට සිදුවේ. මා කිසිදු දේශපාලන පක්ෂයකට විශේෂ පක්ෂපාතී ආයෙක්ද නොවේ. මා කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට මෙම එන්නතට අනුමැතිය දීමට එරෙහිව බලපෑම් කර නැති බව තරයේ ප්‍රකාශ කරමි. තවද නඩු දමන බවට කිසිදිනක තර්ජනය කර නැති බවත් පැහැදිලිව කියමි.

චීනය ඉතා හොඳ එන්නත් අතීතයේ නිපදවා ඇති බවත්, දැනට ලංකාවේ භාවිතා වන japanese encephalitis හොඳ උදාහරණයක් බවත් පෙන්වා දෙමි. චීනය වෛද්‍ය විද්‍යාවත් තාක්ෂණයත් අතින් ඉතා ඉහළ තැනක සිටිද්දී චීනය හදන එන්නත් වලට විරුද්ධ වෙන්න හේතුවක් ද මට නැත. මේවා පළ කරන වෙබ් පුවත්පත් ද කටයුතු කර ඇත්තේ වගකීම් විරහිතව බව කණගාටුවෙන් ප්‍රකාශ කරමි. ලංකාවේ ඉන්න පුරවැසියන්ට Sinopharm එන්නත ලබා දෙන්නේ එයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණායින් පසුව බව ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති තුමා පැවසූ බව ඊයේ (03) ඩේලිමිරර් පත්තරයේ දුටිමි. එය රජයේ සහ මා සමාජිකයෙකු නොවන වත්මන් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රතිපත්තිය බව ද ඒ අනුව පෙන්වා දෙමි.

වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු
MBBS, DCH, MD(Paed), MRCP(UK), MRCPCH(UK), FRCP(London), FSLCP
ජ්‍යෙෂ්ඨ ළමා රෝග විශේෂඥ
සභාපති-විශේෂඥ වෛද්‍ය සංගමය

– Srilanka Brief

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *